මිනිසුන් රැකගෙන අලිත් බේරාගැනීමට දැවැන්ත විදුලි වැටක්

  • සමාරම්භක උත්සවය අද උහනදී
  • මිනිසුන් රැකගෙන අලිත් බේරාගැනීම අපේ අරමුණයි

අලි-මිනිස් ගැටුම පාලනය කරලීම පිණිස කිලෝ මීටර් 1500ක විදුලි වැට ඉදි කිරීමේ සමාරම්භක උත්සවය අද (16) අම්පාර උහන නවගිරියාව ප්‍රදේශයේදී පැවැත්වේ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහභාගි වන අතර අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද ඊට එක් වෙති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අලි-මිනිස් ගැටුම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එය අනාදිමත් කාලයක පටන් පැවත එන්නකි. සංවර්ධන කාර්යයන් සහ ගොවිතැන් කටයුතු ස‍ඳහා වනාන්තර එළි කිරීම ජනාවාසකරණය ආදී කටයුතු මෙන්ම වන සංහාරකයන් විසින් සිදු කරනු ලබන විනාශයන් ද අලි මිනිස් ගැටුමට ප්‍රමුඛ හේතු ය. යටත් විජිත සමයේ තේ කෝපි වැනි වගාවන් සඳහා කඳුකරය හෙළි පෙහෙළි කිරීමත් මෙරට වන අලි ප්‍රශ්නයට බලපෑමක් ඇති කර තිබුණේ බොහෝ ඈත කාලයකදී ය.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයකි. මුහුදු ඛාදනය මඟින් මේ දූපත ක්ෂය වී යනු හැරෙන්නට ස්වාභාවිකව මෙහි ඉඩම් ප්‍රමාණය වැඩි වන්නේ නැත. මේ නිසා අලි මිනිස් ගැටුම සදාතනිකව විසඳීම කෙසේ වෙතත් මෙය යම් ආකාරයකට පාලනයක් සිදු කර ගැනීමට අවශ්‍ය පියවර වනජීවී අමාත්‍යාංශය මගින් ගනු ලබමින් සිටියි.

වන අලීන්ගේ ක්‍රියාකාරකම් නිසා නිවාස දේපොළ පමණක් නොව මිනිස් ජීවිත ද විනාශ වීම කනගාටුවට කරුණකි. මෙරට ගොවීන් වගා කරනු ලබන වගාවන්හී වන අලින් විසින් හානි කරනු ලබන අස්වනු හානිය සියයට 6කි. සියයට 46ක් විනාශ කරනු ලබන්නේ වල් ඌරන් සහ රිළව් වැනි සතුන් විසිනි. කුරුල්ලන්ගෙන් සියයට 34ක වගා විනාශයක් සිදු වේ. මේ සියලු අභියෝග ජයගන්නට සිදුව තිබෙන්නේ වනජීවී අමාත්‍යාංශයටයි.

අලි මිනිස් ගැටුම අවම කරන්නට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙහෙසකර ව්‍යායාමයක නිරත වී සිටියි. වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නිසි මඟ පෙන්වීම යටතේ අමාත්‍යාංශයත් වන ජීවී දෙපාර්තමේන්තුවත් නිසි පරිදි මෙම අලි මිනිස් ගැටුම අවම කරලන්නට දැඩි ප්‍රතයත්නයක යෙදේ.

එදා මෙදා තුර පත් වූ කිසිදු රජයකට මෙම අලි මිනිස් ගැටුම අවම කර ගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැත. ඒ වෙනුවට දවසින් දවස මෙය උග්‍ර තත්ත්වයට පත් විය. පෙර පැවති කිසිම රජයකට මෙම අලි මිනිස් ගැටුම කළමනාකරණය කර ගත නොහැකි වීම එයට හේතුවයි. නමුත් වත්මන් වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටලුව නිසි පරිදි අවබෝධ කරගෙන ඇති අතර එය විසදීමට කැප වී සිටින බවක් පෙනෙන්නට තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා බලයට පත් වීමෙන් පසුව වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඒ වෙනුවෙන්ම නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරනු ලැබුවේ මෙම ගැටුමේ ඇති බැරෑරුම්කම නිසා ය. තවදුරටත් දිගින් දිගටම මිනිසුන් මෙන්ම අලින්ද මිය යෑම වළක්වාලීමත් වගා බිම් ආරක්ෂා කර ගැනීමත් මෙම අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් බවට පත් වී ඇත්තේය. වන අලි මිනිස් ගැටුම අවම කරලනු පමණක් නොව වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම අමාත්‍යාංශයේ මෙන්ම දෙපාර්තමේන්තුවේ ද බැරෑරුම් වගකීමකි. මෙම වගකීම ජනාධිපතිතුමන් භාරකරනු ලැබුවේ වනජීවී සම්පත් සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වෙත ය. ඈත බිම්තැන්නේත් පානම්පත්තුවේත් මෑත වැව් ගම්පත්තුවේත් ගොවියාගේ මෙන්ම සාමාන්‍ය ජනයාගේත් දුක්ඛ දෝමනස්සයන් හොඳින් හඳුනන දිසානායක අමාත්‍යවරයා දැන් කර උර දී සිටින්නේ අතිශය බැරෑරුම් කාර්යයකටය. ඒ වෙනුවෙන් එතුමන් විසින් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන ආකාරය අතිශයෝක්තියක් නොවේ.

අලි මිනිස් ගැටුම අවම කරලනු වස් විවිධ සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග මෙන්ම නව ක්‍රමෝපායන්ද දැන් දැන් අත් හදා බලමින් පවතී. මෑත කාලයේ අත්හදා බලමින් පවතින එල්ලෙන විදුලි වැට ඉන් එකකි. මේ හැරුණු විට අගල් කැපීමේ කටයුත්ත ද දැන් සක්‍රීය වෙමින් පවතී. අලි වෙඩි මඟින් අලින් පලවා හැරීමේ කටයුත්ත ද තවමත් සිදු වෙමින් පවතී. ලංකාවේ අලි මිනිස් ගැටුම ඉතාමත් තදින්ම පවතින සියලු ම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි පෙර කී ක්‍රියාමාර්ග සක්‍රීයව ගනිමින් සිටිති.

අලි මිනිස් ගැටුම අවම කරලනු වස් අම්පාර දිස්ත්‍රික්කය පුරාම අගල් කැපීම විදුලි වැට ඉදි කිරීම ආදිය දැන් ආරම්භ වී ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් කි.ම. 522.64 ක දුර ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් ආවරණය වෙන පරිදි විදුලි වැට ඉදි කිරීම් සිදු වෙමින් පවතින අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කි.මී. 155.2 ක දුර ප්‍රමාණයක් විදුලි වැට ඉදි කිරීම් සිදු වෙමින් පවතී. මෙම වැඩපිළිවෙළ යටතේ විදුලි කුටි 23 ක් සහ මුර කුටි 23 ක් ඉදි වේ. මෙම වැඩපිළිවෙළ තුළ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ලැබෙන අතර දිගින් දිගටම සිදුවෙන අලි මිනිස් ගැටුම අවම කරලනු වස් ප්‍රජාව දැනුවත් කිරීම ද සිදු කෙරේ.

ඉතා සංකීර්ණ කටයුත්තක් ව ඇති අලි මිනිස් ගැටුම අවම කරලනු වස් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය ලෙස ගන්නා වූ ක්‍රියා මාර්ග සහ වත්මන් තත්ත්වය පිළිබඳ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා දක්වන අදහස් මෙසේය.

‘‘අලි මිනිස් ගැටුම අද ඊයේ ඇති වුණ දෙයක් නොවෙයි. මේ නිසාම මේක දිගින් දිගටම සංකීර්ණ වී තිබෙනවා. මිනිස්සුත් මැරෙනවා අලිත් මැරෙනවා. වර්තමානයේ මේ රටේ පවතින කොරෝනා උවදුරට පමණක් දෙවැනි වෙන්නේ අලි මිනිස් ගැටුමයි. අලි මිනිස් ගැටුම නිසා ඈත ගම් දනව්වල මිනිසුන්ට මෙන්ම වගාවන්ට සිදු වෙන හානිය විශාලයි. අපි මිනිස්සු රැක ගන්නත් ඕන අලි රැක ගන්නත් ඕන. ඒ තුළම මේ විෂයයේ ඇති වගකීම් සහිත බව සහ බැරෑරුම් කම ඕනම කෙනෙකුට තේරෙනවා. වසර 70 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ කිසිම රජයකට කිසිම නායකයෙකුට විසඳන්න බැරි ප්‍රශ්නයක් තමයි අද මා ඉදිරියේ තිබෙන්නේ. එයට විසඳුම් ලබා දීම සඳහා අපේ අමාත්‍යංශය දැඩි කැපවීමකින් කටයුතු කරනවා. මේ සඳහා ලංකාව පුරාම අපි වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනටමත් ඒවා සක්‍රිය වෙමින් පවතිනවා.

ඇත්තෙන්ම අපි මුලින්ම මේ ගැටලුව අධ්‍යයනය කළා. ඉන් පසුව ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි අලි මිනිස් ගැටුම අවම කරන්න මෙන්න මේ වගේ වැඩපිළිවෙළ සුදුසුයි කියලා මේ ප්‍රජාවගෙන් බොහෝ දෙනෙක් අපට යෝජනාවන් ගෙනාවා. අපි ඒවා පිළිබඳවත් සලකා බැලුවා. මේ ගැටුම අවම කරන්නට නම් ප්‍රජා සහයෝගයත් අත්‍යවශ්‍යයි. මෙහිදි නව නිපැයුම් සංවිධාන ගණනාවක් අපි සමඟ සාකච්ඡා කළා. සමහර ඒවා අත්හදා බැලුවා. සමහර ඒවා අත්හදා බලමින් සිටිනවා. ඇත්තෙන්ම අපි අත්හදා බලමින් සිටින සමහර ක්‍රම යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා. ඉතිහාසයේ අලි මිනිස් ගැටුමට තිබෙන එකම විසදුම විදිහට විදුලි වැට පමණක් බවයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ. නමුත් ඒක එක් ක්‍රමයක් පමණයි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන අලි වැට කිලෝ මීටර් 4750 ක් තියෙනවා. ඒවා රැක ගැනීමට සිවිල් ආරක්ෂක භටයන් 4500ක් පමණ යොදවලා තියෙනවා. මීට අමතරව අපේ වන ජීවී නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා යොමු වී සිටිනවා.

අලි මිනිස් ගැටුම අවම කරන්නට ක්‍රියාත්මක කරන අලුත් වැඩසටහන් මොනවද ?

අපි නියමු ව්‍යාපෘතියක් විදිට අම්පාර අට්ඨාලචේන කුණු වළ වටා අගලක් කැපීමේ කටයුත්ත සිදු කළා. දැන් අලින්ට එම අගල තරණය කරලා එන්න අපහසුයි. ඉදිරි කාලය තුළ මෙහි සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ අපට මැනීමක් කරන්න පුළුවන්. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. ඌ විවිධ දේවල් කරලා අපි යොදන බාධකය විනාශ කරන්න බලනවා. මේ නිසා නිරන්තරවම අපේ අමාත්‍යාංශය වන ජීවී දෙපාර්තමේන්තුව සහ සේවකයන් අවධානයෙන් ඉන්නවා.

මීට අමතරව අපි පදියතලාව මුඩගල ප්‍රදේශයේ එල්ලෙන විදුලි වැටක් අත්හදා බලමින් සිටිනවා. එහි ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදි කිරීම් සිදු කෙරී ඇති තැන්වලින් අලියා ගම් වදින්නේ නැහැ. මෙහි සාර්ථක අසාර්ථක භාවය දැන ගැනීමට ටික කාලයක් ගත වේවි. අපි ඒ පිළිබඳත් සොයා බලන්න විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මෙයට අමතරව ජාතික විදුලි වැට පද්ධතිය අනුව ලංකාවේ අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල මෙම ගැටුම් අවම කරලීම සඳහා තමයි අද සිට කිලෝ මීටර් 1500ක දුර ප්‍රමාණයක් ආවරණය වෙන පරිදි විදුලි වැටවල් ඉදි කරන්නට සමාරම්භය ගන්නේ. එම ඉදි කිරීම් සඳහා අවශ්‍ය තැන් සියල්ල හඳුනාගෙන අවසානයි. මෙම වැඩසටහන අපි මීට කලින් ආරම්භ කරන්න සූදානම් කරලා තිබුණේ. නමුත් කොරෝනා වසංගතයත් සමඟ ඊට අවශ්‍ය උපකරන විශේෂයේ ජී. අයි. බට හිඟයක් ලංකාවේ තිබුණා. දැන් එය විසදී තිබෙනවා. මෙම විදුලි වැට ඉදි කිරීමේ දි විශාල ප්‍රමාණයක් ඉදි කිරීම් කරන්නේ යුද හමුදාව සහ ගුවන් හමුදාව මගින්. නාවික හමුදාව. ඒ නිසා වැඩි කාලයක් යන්නට කලින් මෙම ඉදි කිරීම් අවසන් කර අලි මිනිස් ගැටුම යම් ප්‍රමාණයකට පාලනය කරන්න හැකි වෙන බව මම විශ්වාස කරනවා.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ලංකාවේ ඉංජිනේරු මහතෙකු විසින් නවීකරණය කරන ලද තාක්ෂණික වශයෙන් උසස් එල්ලෙන විදුලි වැටක් නිර්මාණය කරලා තියෙනවා. ඔහු එම අලි වැට වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශීය සභා කුණුවළ වටා ඉදි කරලා තියෙනවා. මාස 10 ට වඩා වැඩි කාලයක් ගත වෙලත් තවම ඒකට අලි එන්නේ නෑ. ඒ වගේ පර්යේෂණාත්මක අලි වැටක් අම්පාර සමනබැද්ද සිට වීරගොඩ දක්වා ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරලා තියෙනවා.

විදුලි වැට තුළින් පමණක් මෙම අලි මිනිස් ගැටුමට විසදුම් සෙවිය හැකිද?

ඒ තුළින් පමණක් විසදුම් සොයන්න බැහැ . මේ ගැටලුවට මේ රටේ ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි. දැනටමත් ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලැබෙමින් පවතිනවා. තව දුරටත් එම සහයෝගය වැඩි විය යුතුයි. මේ රටේ සමහර ප්‍රදේශවල අසීමිතව සිදු කෙරෙන හේන් වගාව නිසා අලියා ගැවසෙන කැලෑ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ඒක නිසා තමයි වන අලින් ගම් වදින්නේ. අලි විශේෂයෙන්ම ප්‍රිය කරන බොරු වැනි තෘණ වර්ග කැලෑ ඇතුළේ වැව්වල ව්‍යාප්ත කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ හේන් ගොවීන් විශාල පිරිසක් කියනවා හේන් වටා වැට ගහන්න කියලා. නමුත් එහෙම කරපු කිසිම තැනක අලි වැටක් සාර්ථක වෙලා නෑ. ඒ වැටවල් අලියා විසින්ම කඩලා හේන වල ඉතිරි වෙලා තියෙන නිරි වගාව භුක්ති විදිනවා. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා. නිවෙස් අසලින් වැට ගැසීමට හේන් ගොවියාගේ වගාව ආරක්ෂා කිරීමත් අපේ වග කීමක් ලෙස දකිනවා එයට අපි වගා කරන කාලය තුල දි සංරක්ෂණ වැටක් ගැසීමට අවස්ථාව ලබා දෙනවා. වගාව අවසන් වූ පසු ඒ වැට ඉවත් කළ යුතුයි. නැවතත් වගාව කරද්දි වැට සවි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙනවා. අපේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ගොවි සමිති මඟින් ඒ වැටවල් ඉදි කර ගත යුතුයි.

මෙයට අමතරව අද බොහෝ ස්ථානවල අලිමංකඩවල් හරස් කරලා සංවර්ධනය කරලා තියෙනවා. ඒ පැරණි අලිමංකඩවල් හරස් කරලා සංවර්ධන ව්‍යාපාර ඇති කරලා තියෙනවා. ඒ පැරණි අලිමංකඩවල් නැවත විවෘත කරන්න කටයුතු කල යුතුයි. දැනටමත් අපි මහියංගණයේ ගිරාදුරු කෝට්ටේ ප්‍රදේශයේ එවැනි අලිමංකඩක් නැවත විවෘත කරන්නට කටයුතු යොදමින් ඉන්නවා. ඒ සඳහා අපට මහවැලි අධිකාරියේ සහයෝගය අවශ්‍යයි.

මෙවැනි සංකීර්ණ වැඩ කටයුතු රාශියක් අපට කරන්නට තියෙනවා. මේ සියලු කටයුතු සඳහා අපිට ඉන්න සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ ඒ නිසා තමයි අපි අලි මිනිස් ගැටුම නැවැත්වීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 5000ක් විතර වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගෙන තියෙන්නේ. මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මම කරන ලද ඉල්ලීමකට අනුව බහුකාර්ය රැකියාලාභීන් 5000ක් බඳවා ගන්න අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. එයින් 3000ක පිරිසක් දැනට අපි බඳවාගෙන තියෙනවා. ඒ පිරිස දැනට පුහුණු කර වනජීවී කාර්යාලවලට මෙන්ම අලි වැට සංරක්ෂණ කටයුතු වලට යොදවා තිබෙනවා.

ඒ වගේම මේ අමාත්‍යාංශය විසින් අලි ප්‍රහාරවලින් මිය යන අය වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් පවා අපි වැඩි කරලා තියෙනවා. වාර්ෂිකව ඒ සඳහාත් මුදල් වෙන් කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා නිවාසවලට වෙන දීමනා වැඩි කරලා තියෙනවා. මෙම ගැටලුව විසඳීමට හෝ එය පාලනය කිරීමට අපට තනිව කරන්න බෑ. රජයේ අනිත් ආයතන වගේම පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා. කොරෝනා උවදුර නිසා මෙම වැඩ කටයුතු සූදානම් කිරීම යම් මන්දගාමී බවක් පෙන්නුවත් දැන් නැවතත් එය සක්‍රීයවී තිබෙනවා. අද ආරම්භ කරන විදුලි වැටවල් ඉදි වෙන්නේ සුදුසු අත්‍යවශ්‍ය ස්ථානවල බව කිව යුතුයි.

ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කරලීම සඳහා මෙම නව විදුලි වැට ස්ථාපිත කිරීම විශාල මෙහෙයක් බව මට විශ්වාසයක් තියෙනවා. අද ඉදිකරන ජාතික විදුලි වැට පද්ධතිය කඩිනමින් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මට විශාල සහායක් දුන්නා. රටේ කිසිම තැනක අද රජයේ රැකියා දෙන්නේ නැහැ. නමුත් මේ වැඩේ තියෙන බරෑරුම්කම දැකලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බහු කාර්ය අංශයෙන් රැකියා අවස්ථා 5000ක් ලබාදීම මෙම ගැටලුව අවම කිරිමට විශාල සහායක් වී තිබෙනවා. ඒ වගේම වනජීවී කැබිනට් අමාත්‍ය සී. බී. රත්නායක මහතා ද නිරන්තරයෙන් සහාය දුන්නා. ආරක්ෂක හමුදාව සම්බන්ධ කර ගනිමින් අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා විශාල මෙහෙයක් සිදුකළා. ඒ වගේම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බංඩාර මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් කරන ලද කැපවීම මා ඉතා අගය කොට සලකනවා. ලබන වසරේ අගොස්තු මාසය වන විට අලි වැට සහ අගල් කැපීම මගින් අලි මිනිස් ගැටුම සියයට පනහකින් අවම කිරීමට අපි උත්සාහ කරනවා. ඒ ගමන් ම වනාන්තර තුළ අලින්ට අවශ්‍ය තෘණ වර්ග වගා කිරීමට හා පැරැණි වැව් පිළිසකර කිරීමට ද අපි කටයුතු කරනවා.”

සන්ත චන්ද්‍රපාල – මාධ්‍ය ලේකම් – වනජීවී රැකවරණ – වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය

Recommended For You

About the Author: Thusal