පේරාදෙණිය මල්වත්තේ ආපනශාලාවක ‘මිනිසත්කමට නිගා දෙන‘ ඇත්ත කතාවක්

පේරාදෙණිය උද්භිත උද්දානය  හෙවත් පේරාදෙණිය මල්වත්තේ මල් තරම් සුන්දර නැති ආපන ශාලාවක දුක්බර කතාවකට සවන් දෙන්නට අප පව් කර තිබිණි.

දිනය 2021 .12 .16 දාය. වේලාව පස්වරු එක පසුවී තිබිණි.

මුරුගසන් වරුසාවක් එක වරම පේරාදෙණිය මල්වත්තට කඩා වැටෙන්නට විය. තැන තැන සිටිය උන්  හිසට සෙවණ සොයා හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී මද දුරක් පැමිණි මවක – පියෙකු හා දියණියක  වහා ප්‍රධාන  පපිවිසුම ආසන්නයේ ම පිහිටි ආපනශාලාවට ගොඩවී මද වේලාවකට පසුව පුටුවක වාඩිවී සිටියහ.

එම් තිදෙනා කුමන හෝ කටයුත්තකට මහනුවරට පැමිණ හෝටලයකින් ආහාර පැකට්  තුනක් මිලදීගෙන ප්‍රවේශ පත්‍ර ලබාගෙන  මල් වත්තට ඇතුළු වී ඇත්තේ එය ආහාරයට ගැනීම සඳහා බව ඔවුන්ගේ කතාවෙන් කියැවිණි.

එම පියා ආපනශාලාවේ සේවකයෙකුගෙන් විමසා සිටියේ ඔවුන් බොහෝ දුර බැහැර සිට මහනුවර රෝහලට පැමිණි බවයි.

‘දොස්තර මහත්තයාට දරුවා පෙන්වන්න තියෙන්නේ හවස. ඒනිසා අපි දවල්ට කන්න කෑම පාර්සල් තුනක් ගත්තා. ඒවා කන්න කියලා තමයි මල්වත්තට අවේ. ඒත් වැස්ස නිසා අපි මෙතැනට ආවා. මම දරුවට මේ කෑම මෙතැන තියන් කවන්නද ?‘ පියා සුපුරුදු දුක්මුසු ස්වරයෙන් විමසුවේය.

අසරණ පියාගේ ඉල්ලීම ක්ෂණිකව ප්‍රතික්ෂේප කරමින් හෝටල් සේවකයා කියා සිටියේ, ‘පිටතැන්වලින් ගෙනාව කෑම මෙතැන කන්න දෙන්න බැහැ‘

හෝටල් සේවකයාගේ එම පිළිතුරෙන් පියා අසරණ වූ බවක් පෙනී ගියේය. ඔහු තම දරුවා ළඟට ගොස් මෙම ස්ථානයේ ආහාර ගැනීමට නොහැකි බව පවසා ඒ මේ අත බලමින් වර්ෂාව පායන්නයි අහස් දෙවියන්ගෙන් ඉල්ලා සිටි ස්වරය  අපටද  ඇසුණේය.

මව ද දියණිය ගේ ගිලන්ව තිබු දෙඇස් දෙස බලා දැඩි සුසුමක් හෙළා වැසි බිදු අතරින් අහස දෙස දහස් වාරයක්  බලමින් සිටින්නට වූවාය.

මෙම පිරිස් ළඟට කිට්ටු වූ අප ප්‍රශ්නය කුමක් දැයි විසීමු. එවිට පියා කියා සිටියේ තම දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බවත් එම  වෛද්‍යවරයාට දරුවා පෙන්වීම්ට ඇත්තේ  පස්වරු පහට බවයි.

තමන් බොහෝ ඈත ප්‍රදේශයක සිට  පැමිණි බවත් කොරෝනා තත්ත්වය නිසා ආහාර පැකට් තුන්ක් රැගෙන එය කෑමට මල් වත්තට ඇතුළු වූ බවත් ඔහු පැවසුවේය.

‘‘වැස්ස නිසා කන්න තැනක් නැහැ. ඒකයි අපි මෙතැනට ආවේ. දුවට උදේ ඉදන් මොනවත් කන්න දෙන්න බැරි වුණා. එයා බඩගින්නේ‘‘

නැවත ආපනශාලා හිමිකරුට පවසා දරුවාට ආහාර ටික ලබා දීමට උත්සාහ කරන්නැයි අප මේ අයට උපදෙස් ලබා දී මදක් ඈතට වීමු. නැවත නැවත මේ පියා  ආපන ශාලා හිමිකරුට දියණියද පමණක් ආහාර ටික ලබා ගැනීමට අවසර දෙන්නැයි දැඩිසේ ආයාචනා කළේය.

සුන්දර මල්වත්තේ පිහිටි මේ ආපනශාලා හිමිකරුට සුන්දර හදවතක් තියා මනුස්සකමවත් නොමැති බව යළිත් තහවුරු වූයේ ඔහු මේ අසරණ පියාගේ ඉල්ලීම යළිත් දැඩිව ප්‍රතික්ෂේප කළ නිසාය.

‘‘එක පාරක් කිව්වනේ. පිටින් ගෙනාපු කෑම මෙතැන කන්න දෙන්න බැහැ‘ ඔහු දැඩි ස්වරයෙන් කීවේය.

මෙය පෞද්ගලික ආපනශාලාවක් බවත් පිටතින් රැගෙන එන ආහාරයක් මෙහිදී ආහාරයට ගැනීමට ඉඩදුනහොත් එයින් තමන්ගේ වෙළඳාමට ගැටලු  සහගත තත්ත්වයන් උදාවන බවත් ඔහු දැඩි ස්වරයෙන් කියන්නට වූයේ වර්ෂාවේ දියුණු  ශබ්දයට ද ඉහළින්ය.

දරුවාට පමණක්  අහාර ටික කවා ගැනීමට අවසරයක් දෙන ලෙසත් තම දරුවා අසනීපෙන් සිටින බවත් පියා යළි යළි පැවසුව ද ඊට කන් දීමක් ඔවුන්ගෙන් නොවීය. මෙම ආපනශාලාවෙන් ආහාරයක් ලබා ගැනීමට හැකිනම් අවස්ථාව ලබා දීමට හැකි බව ඔහු පැවසුවේය.

සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ ” රයිස් ”  එළවළු බත්  එකක මිල කීයද යි පියා  ආපනශාලා හිමිකරුගෙන් විමසීය.

‘රයිස් එකක් රුපියල් 797යි‘‘ ඔහු ගත් කටටම කීවේය.

ඒ උච්ච හඩත් සමඟ වැස්සේ තෙමි තෙමි  මෙම අහිංසකයින් තිදෙනා මල්වත්තෙන් එළියට යන්නට ගියේය.

සුන්දර පේරාදෙණිය මල්වත්තේ මෙවැනි අසුන්දර මිනිසුන් විසින් ආපනශාලා පවත්වා ගෙන යන බවක් අප මීට පෙර දැක තිබුණේ නැත. ඔබත් පේරාදෙණිය මල්වත්තට යන්නේ නම් මෙම ආපනශාලාව සහ එහි හිමිකරු ඇතුළු සේවකයින් ගැන සැලකිලිමත් වන්න. ඔවුන් මිනිසත්කමට නිගාදෙන, සිල්ලට මුදල් මත ගණනය කරන ‘අමනයින්‘ බව අපි පිළිකුළෙන් යුතුව පවසමු.

‘සල්ලි කියන්නේ ජීවිතයම නෙවෙයි‘ !

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal