කාබනික පොහොරින් සරු වන මාතෘභූමිය මතු පරපුරට වාසනාවන් !

ස්වාභාවික කෘෂි තාක්ෂණය කාබනික භෝග වගාව ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. මෙම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හෝ රටින් රට වෙනස් වුව ද සමස්තයක් වශයෙන් රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර වීම විශේෂ ලක්ෂණයකි. මෙම කාබනික භෝග වගාව නිසා අතීතයේ සිටි (එනම් දැනට අඩසිය වසකට පෙර දී ) අපගේ වැඩිහිටි පරම්පරාවන් ඉතාමත් නීරෝගිමත් ජීවිතයක් ගත කළ බව රහසක් නොවේ.

එහෙත් නූතන ගොවි සමාජය නවීන වගා ක්‍රම හා ඉහළ අස්වැන්නක් ගැනීමේ අටියෙන් රසායනික පොහොර සහ බෙහෙත් යොදා වගා කරනු ලබන දෙමුහුන් බීජ වර්ග වගා කිරිම තුළින් විවිධ රෝගවලට සමාජය ලක් වන අයුරු අසන්න දකින්න ලැබේ.

අතීත ගොවියා කාබනික වගාවට සත්ව පොහොර, දිරාපත් වන පැළෑටි කොටස්, ගොවිපොළ පොහොර, කොම්පෝස්ට්, අමු කොළ, පිදුරු, මුහුදු ලිහිණි අපද්‍රව්‍ය, වවුල් අපද්‍රව්‍ය භාවිත කළ බව රහසක් නොවේ. කෘමි හානි මර්දනය කර ගැනීමට කොහොඹ, ගොඩකදුරු ආදියේ සාරයන් ද භාවිතා කරන ලදී. මෙයට අමතරව වගාවට අහිතකර කෘමින් මැඬලීමට කුරුල්ලන් වැනි හිතකර සතුන් තම වගා භූමියට කැඳවා ගැනීමට විවිධ උපක්‍රම ද භාවිත කර තිබේ. මෙම කාබනික භෝග වගාව සොබා දහමට එකඟ වූ බැවින් මිනිසාට මෙන්ම පරිසරයටත් යහපතක් ගෙන දෙන ලදී.

එහෙත් එදා තම පවුල් ඒකකයේ අවශ්‍යතාවය උදෙසා ගොවිතැන් කළත් ජනගහනය වැඩිවීම හා වගා බිම් ප්‍රමාණය කුඩාවීමත් සමඟම වගා අවශ්‍යතා ඉහළ තලයකට පත් විය. මෙම හේතු සාධක නිසා ඉහළ අස්වැන්නක් ගැනීම හා ආර්ථික භෝග වගාවක් බවට පත් වීම නිසා වැඩි අස්වනු සපයා ගත හැකි දෙමුහුන් බීජ නිෂ්පාදනයට සරිලන රසායනික පොහොර , බෙහෙත් භාවිතයට ගොවියෝ යොමු වූහ. කෙටි කාලයක් තුළ වගාවෙන් ඉහළ

අස්වැන්නක් ලබා ගැනීමට යොමු වීම නිසාත් රජයන් විසින් රසායනික පොහොර වෙනුවෙන් සහන මිලක් නියම කිරීමත් සමඟම විශාල ප්‍රමාණයෙන් යෙදුම් වගාවට යොදන ලදී. මෙයින් සිදු වූයේ භෝගයට අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා ගැනීමත් වැඩිවශයෙන් යෙදු පොහොර බෙහෙත් වගා බිමේ පසට එක්විමත්ය.

වස විසෙන් පිරි අාහාර පරිභෝජනයෙන් නොදැනීම රෝගි සමාජයක් නිර්මාණය විම මේ නිසා සිදුවිණි. එසේම වගාවන්ට හිතකර සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල විය. මෙයට අමතරව වගා බිම් පසේ පැවතිය යුතු පොස්ෆරස් ප්‍රමාණය නොසිතූ ලෙසින් ඉහළයෑම සිදු වේ. එයින් පස ද රෝගි බවට පත්ව ඇති බව පර්යේෂණවලින් තහවුරු වි තිබේ. තම වගා භෝගයට අධික පෝෂණයක් සපයා දීමට යෑම නිසා ගොවියාට තම වගා වියදම ඉහළ යෑමෙන් ආර්ථික පාඩුවක් සිදුවේ. එහෙත් වගාකරු මෙය වටහා නොගෙන වගා කන්නයෙන් වගා කන්නයට තව තවත් රසායනික පොහොර බෙහෙත් වැඩි වශයෙන් වගාවට යෙදවිම සිදු කරයි. ඉන්පසු තම වියදමට සරිලන ආදායමක් නැතැයි ගොවියෝ මැසිවිලි නඟති. එයට එකම විසඳුම නම් වගාවකට අවශ්‍ය පොහොර, බෙහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වගා උපදෙස් අනුව අවශ්‍ය ප්‍රමාණයට යෙදවිමයි.

එහෙත් කාබනික භෝග වගාවට එතරම් මුදලක් වැය නොවේ. එසේම හිතකර භෝග වගා ක්‍රමයක් නිසා ගුණාත්මක බවින් හා රසයෙන් ද ඉහළ තත්ත්වයකට පත් විම නිසා පාරිභෝගික ඉල්ලුම වැඩි විමට ඉඩ කඩ වැඩිය. කාබනික වගා අස්වනු අඩුවෙතැයි යන ගැටලුවට විසඳුම වනුයේ ඉහළ මිලකට අලෙවි කර ගත හැකිවීම මත ලබන ආදායම ද වැඩිවීමක් සිදු වේ. එමඟින් අඩු අස්වැන්නක් ලැබීමෙන් අත් වන පාඩුව ද මඟහැරේ.

කාබනික භෝග වගාව සඳහා ජලවහනය හොඳින් සිදු වන බිමක් තෝරා ගැනීම වැදගත් කරුණකි. හොඳින් සකසා ගත් වගා බිමට භෝග වගාවට සතියකට පමණ පෙර කාබනිකෙ පොහොර යෙදිය හැකිය. (කාබනික පොහොර ලෙසින් භාවිතයට ගත හැකි වර්ග කිහිපයක් ඉහතින් සඳහන් කර ඇත.)

මෙයින් තම නිවෙසේ ඇති කරන ගවයාගේ ගොම හොඳ පොහොරකි. ගව ගාලේ ගව මුත්‍ර මිශ්‍ර ජලය ද වගාවට ඉතාමත් කදිම කාබනික පොහොරකි. එසේම වගා බිමේ තෙතමනය ද ඉතා හොඳින් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇති නිසා ගොවියාට ඉන් අතිරේක වාසියක් ද ලැබේ. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවියා ගොම පොහොර ගැන එතරම් තැකීමක් නොමැති බව ප්‍රසිද්ධ කරුණකි. එයට එක් හේතුවක් වනුයේ වගාවට අවශ්‍ය පෝෂණය ප්‍රමාදව ලැබිමයි. එසේම වගාව තුළ තණකොළ පාලනයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිම පෙන්වා දිය

හැකිය. එනිසාම තමන් සතු පෝෂණයෙන් වැඩි ගොම පොහොර ටික අඩු මිලකට බාහිර පිරිස්වලට විකුණා වැඩි මුදලක් ගෙවා රසායනික පොහොර වගාවට ගොවියෝ කැමැත්තක් දක්වති. එ‍හෙත් නුවරඑළිය ගොවින් ගොම පොහොර තම වගා බිමට එක් කිරීමට මහත් කැමැත්තක් දක්වයි. එනිසාම ඔවුන්ට ගොම පොහොර සැපයීමට වෙනම ව්‍යාපාරික පිරිසක් ද නිර්මාණය වි සිටිති. බදුල්ල ගොවියා ගොම පොහොර ප්‍රතික්ශේප කිරීම නිසා එම ව්‍යාපාරික පිරිස් බදුල්ල දිසාවේ ගව පට්ටිවල ගොම පොහොර අඩු මිලකට මිල දී ගෙන නුවරඑළිය ගොවින්ට අධික මිලකට අලෙවි කරන බව රහසක් නොවේ. එසේ බදුල්ල දිසාවේ ගොවීන් ගොම පොහොර වගා බිමට එතරම් ගැඹුරට නොයෙදීමත් වගාවට යොදන ජලයත් නිසා කඩිනමින් තණකොළ බීජ පැළවීම පාලනය කිරීමට දුෂ්කර වීම මෙම ප්‍රතික්ෂේප

කිරීමට හේතුවයි. නුවරඑළියේ ගොවින් වගා බිමේ යම් ගැඹුරකට ගොම පොහොර දැමිම නිසා එහි ඇති තෘණ බීජ ඇට සක්‍රිය වීම ඉතාමත් අඩු මට්ටමක පවතී. මෙසේ නුවරඑළිය ගොම පොහොර භාවිත කරන අන්දම පිළිබඳව ගොවින් දැනුම්වත් කිරීම කෘෂිකර්ම නිලධාරීන් කාලය එළැඹ තිබේ.

හැකි සෑමවිටම දේශීය දේශගුණයට හා භුමියට ගැළපෙන බීජ හෝ රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරිම තුළින් වඩාත් වාසියක් ගෙන දේ. දේශගුණයට හා පසට ගැළපෙන, පළිබෝධකයන්ට

ඔරොත්තු දීමට හැකියාවක් ඇති වේ. එසේම කන්නයෙන් කන්නයට භෝග මාරුවක් සිදු කිරීම ඉතා වැදගත් කරුණකි. එමඟින් පළිබෝධ කළමනාකරණයක් ද සිදු වේ. කෙටි කාලීන හා දිගුකාලීන ශාක වගා කිරීමෙන් පසේ සරු බව ද වැඩි වේ.

එකම ක්ෂේත්‍රයේ භෝග දෙකක් හෝ කිහිපයක් පේළි ආකාරයෙන් මාරුවෙන් මාරුවට වගා කිරීම අන්තර භෝග වගාව ලෙසින් හැඳින්විය හැකිය. මෙමඟින් ජෛව විවිධත්වය වැඩි වීමෙන් පළිබෝධ පාලනයක් ද සිදු වේ. උදාහරණයක් ලෙස ගෝවා සමඟ මිංචි වගා කිරිමෙන් ගෝවාවල වගාවට ඇගුල්වන පළිබෝධකයින් හා කූඩිත්තන් මර්දනය වේ. බැසිල් ඇට සමඟ තක්කාලි වගා කිරිමෙන් තක්කාලි වගාවට හානි ගෙන දෙන පළිබෝධකයන් හා කුඩිත්තන්, මදුරුවන් හා මයිටාවන් පාලනය කර ගත හැකිය.

මෙම කාබනික වගාවේ දී තෘණ ඉවත් කිරීම අතින් සිදු කිරීම නිසා පසට විසක් එක් නොවේ. වගාවට හා පරිසරයට හිතකර සතුන් ආරක්ෂා වේ. කෘමි පාලනයට කොහොඹ නිස්සාරණය, කපුරු, සුදුලුනු, වගා කිරීම, ගම්මිරිස් දියරය, සබන් දියරය, පහන් උගුල වැනි ක්‍රම පළිබෝධ පාලනය සඳහා භාවිතා කළ හැකිය.

රසායනික පොහොර බෙහෙත් බහුලව වගාවට යෙදීම නිසා රෝගීව සිටින ජන සමාජය නීරෝගිමත් කිරීමට කාලය එළැඹ තිබේ. එසේ කළ හැක්කේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයෙන් පමණි. ඒ සඳහා යොමු වන මෙම කාලයේ අනාගත නීරෝගි පරපුරක් සැකසීමට ගොම පොහොර ඇතුළු කාබනික පොහොර වගාවට ගොවියන් වැඩි වශයෙන් නැඹුරු වීම සතුටුදායක කරුණකි.

කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී

Recommended For You

About the Author: Thusal