මේක සාමාන්‍ය ජනයා ගැන අබමල් රේණුවක අනුකම්පාවක් නැති මෝඩ උද්දච්ච ආණ්ඩුවක්

අලුත් අවුරුද්දක් උදාවෙද්දී වෙනදා තිබෙන සතුට අද ජනතා සිත් සතන් තුළ නොමැති බව 43 සේනාංකය පවසයි. එහි සම්බන්ධීකාරක හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කළ ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් පාන් ගෙඩියක ප්ලේන්ටියක මිල මෙන්ම බස් ගාස්තුව ඇතුළු සියළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් හි මිල ඉහළ යනු ඇති බවට ජනතාව තුළ බියක් ජනිත වී ඇති බවය.

“හැබැයි අපිට දෙසැම්බර් 31 වෙනිදා  රෑ නැත්නම් ජනවාරි පළවෙනිදා උදේ මේ නායකයෝ කිරිබත් කමින් අපට එවයි සුපුරුදු අලුත් අවුරුදු පණිවිඩය. ලබන්නා වූ නව වසර සුවෙන් පිරි සෞභාග්‍යය පිරි සතුට සම්පත පිරි අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අමාරු කාලයක්. නමුත් විඳ දරාගෙන ඉන්න, ඉක්මනටම සතුට, සැපත උදා වෙනවා කියලා. ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, ඔය නායකකාරකාදීයෝ ඔක්කොම සුබපැතුම් එහෙම එවන්න. දැන් ඒවා හදනවා ඇති ඒ කාර්යාලවල, මාධ්‍ය අංශවල අය. හොඳයි ඒවා එවන්න. ඔය අපට කියන්න තියෙන්නේ, ඊළඟ අවුරුද්ද මහා උතුරා යන ප්‍රීතිය කෙසේ වෙතත් අඩු අඩුම ගණනේ කුසගින්නේ නොසිටින අවුරුද්දක් බවට පත් කරන්නවත් මේ ආණ්ඩුව කරන්න පුළුවන් අවම දේවත් කරලා නෑ. කරන්න පුළුවන් ඉතාම සුළු දේවත් කරන්නේ නැතුව සාමාන්‍ය ජනයා ගැන අබමල් රේණුවක සහනුකම්පාවක්, හැඟීමක් දුකක් නැතුව ඒගොල්ලෝ අනුගමනය කරන මෝඩ උද්දච්ච ප්‍රතිපත්ති දිගටම අරගෙන යනවා.”

මෙවන් විපතක් වී තිබියදීත් ආණ්ඩුව අනුගමනය කරන මෝඩ ප්‍රතිපත්ති ආපසු හැරවීමක් සිදු නොකරයි. මීට උනන්දුවක් දක්වන විද්වතුන්, ආගමික නායකයන්, සිවිල් නායකයන් මේ හැසිරීම සම්බන්ධයෙන් පුදුමය පළ කරයි.

“ඉතින් මම මේක ප්‍රජාතන්ත්‍රවාදය නම් කීයටවත් වෙන්න විදිහක් නෑ. මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න බෑ. මේක ඉතින් ජාතිකවාදය වෙන්ඩත් බෑනේ. එහෙම එහෙකුත් නෑ. මේ අර කවුරු කිව්වා වගේ ඒකාධිපතිවාදය. මට වෙලාවකට හිතෙනවා ඒක එහෙමත් නෙමෙයි. මේකට කියන්න පුළුවන් මේක කියන්න පුළුවන් ජනප්‍රිය අතාර්කික වාදය කියලා. ඒකෙ තමයි මේ ආණ්ඩුව හැමදාම මෙහෙයුවේ. මේ හැම පියවරක්ම ආණ්ඩුකරණයේදී ගත්ත හැම පියවරක්ම මේගොල්ලෝ ඇරගෙන තියෙන්නේ මේ ජනප්‍රිය අතාර්කිකවාදයේ ඉදලයි.”

කොරෝනා වසංගතයට ගොඩ වෙදකම් කරලා සනීප කරන්න පුළුවන් යනුවෙන් ජනප්‍රිය මතයක් මුලින්ම පැමිණි අතර, මෙම ජනප්‍රිය අතාර්කිකවාදය සෑහෙන දුරක් ගොස් රටටම කොරෝනා බෝ කළේය. ඊළඟට රටේ බඩු මිල පාලනය කිරීම හමුදාවට පුළුවන් යන අතාර්කික ජනප්‍රිය අදහසකට ගිය අතර එය අසාර්ථක වූයේ ඉන් හමුදාවේ ගෞරවය පවා අහිමි කරමිනි.

“ඒ වගේම තමයි, මේ විශ්වවිද්‍යාලවල විනය ප්‍රශ්න තියෙනවා. ළමයි කෑකෝ ගහගන්නවා, පෝස්ටර් ගහනවා, රැග් කරනවා, පෙළපාලි යනවා. ඒ හින්දා මේ විශ්වවිද්‍යාල හමුදාවට භාරදෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි අර කොතලාවල හමුදාවට දෙන්න තීන්දු කරගත්තේ. අවසාන වශයෙන්, හොට බිම ඇනගත්තා. ඒ අතාර්කික මතවලින් ජනාධිපතිවරයා ගැලවිලා නෑ. කියාගෙන කියාගෙන යනවා. විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද් යාල බවට පත්කරගන්න ඕනේ කියලා. අධ්‍යාපනය කියන්නේ මූල්‍ය නොවන වටිනාකමක් ය කියන ඉතාමත්ම තාර්කික වැදගත්, සබුද්ධික මතයට පයින් ගහලා ඉවරවෙලා, මේක අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න ඕනේ කියලා, අර ජනප්‍රිය අතාර්කික මතය තමයි, ජනාධිපතිවරයා ඉන්නේ.”

තව කට්ටියක් ලෑස්ති වුණා. හෝඩියේ පන්තියේ ඉදලාම ඉංග්‍රීසි භාෂාව උගන්නන්න. මේ ඉංග්‍රීසි දන්නැති හින්දා තමයි මේ රටේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ හින්දා හෝඩියේ පන්ති වල ඉංග්‍රීසි උගන්නන්න කියලා කමිටුවක් එහෙම පත් කළා. ඒකට විවේචන ආපු හින්දා ඒ අතාර්කික මතය අහකට ගියා. ඒවායේ ඉතින් සමහර ඒවා ක්‍රියාත්මකයි. මේ අතාර්කික වැඩ සමහර ඒවා ලත් තැනම ලොප් වෙලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාව අති විශාල විපතකට ඇදලා දාපු, මෝඩ, අතාර්කික ක්‍රියාමාර්ගය ජනප්‍රියවාදය තමයි, මෙන්න මේ කාබනික පොහොර වැඩේ. රටේ රසායනික පොහොර හොඳ නෑ, රසායනික පොහොර වලින් රෝග බෝවෙනවා, පිළිකා හැදෙනවා, වකුගඩු රෝග හැදෙනවා කියලා මේ රටේ හැදුන අතාර්කික මතයක්. බොරු මතයක්. නිකම්ම නිකම් මතයක් ඒක. ඒ මතය කරගහගෙන ගිහිල්ලා ජනාධිපතිවරයා තීන්දු කළා, ගිය, ගිය කන්නේ ඇතුළත වහාම, කාබනික පොහොර ගොවිතැනට මුළු රට මාරු වෙන්න ඕන කියලා, ගුටි කකා හරි මේ කාබනික පොහොර රටේ ක්‍රියාත්මක කරන්ඩ කියලා රසායනික පොහොර තහනමක් දාලා ගොවිතැන විශාල අර්බුදයකට ඇදලා දැම්මා. ඒකෙ ප්‍රතිඵල අද වෙනකොට මෙච්චර කාලයක් සහලින් ස්වයංපෝෂිත වෙලා තිබිච්චි රට මේ අවුරුදු විස්සක්, තිහක් සහලින් ස්වයංපෝෂිත වෙලා මොනවා නැතත් අපේ රටේ කන්ඩ බත අපි හදාගත්ත අපේ රටේ දැන් මියන්මාරයෙන් හාල් ගේන්ඩ වෙලා තිබෙනවා.”

“ගම්මන්පිල අමාත්‍යතුමා කිව්වා තෙල් මිල වැඩි වෙනවයි කියන එක බොරු කතාවක්. එහෙම එකක් වෙන්නේ නෑ කියලා. එහෙම කියලා කට ගත්තේ නෑ. ඊයේ රෑ අති විශාල විදිහට පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කළා. යහපාලන ආණ්ඩුව අරගෙන හරියට ජනවාරි අට වෙනිදා ගත්තේ ජනවාරි 19 වෙනිදා පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රසිද්ධ සාකච්ඡාවක් ඉතා දැවැන්ත සහනයක් ඛනිජ තෙල්වල භූමිතෙල් පෙට්‍රල්, ඩීසල්, ගෑස් වලට ලබාදීපු හැටි නිවේදනය කළා. ඒක රුපියලකින් හෝ දෙකකින් ඒ ආණ්ඩු කාලේ වැඩි වුණාට පස්සේ මේගොල්ලෝ බර කරත්ත වලින් කරත්තවලින්, බයිසිකල් වලින් පෙළපාලි ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමා එහෙම. දැන් අද ගත්තාම පස්සේ, ඛනිජ තෙල් ඇමති කියනවා මිල වැඩි වෙන්නේ නෑ කියලා ඇමති දන්නෙත් නෑ,”

විශාල ආහාර හිඟයකට රට පත්වෙලා තියෙනවා. මේක ඇමතිවරුන්ට නොතේරෙනවා නෙවේ. අර අතාර්කිකවාදය හිර වෙලා නැති ඇමතිවරුන්ට තේරෙනවා. මහින්ද අමරවීර හිටපු කෘෂිකර්ම ඇමතිතුමා, වර්තමාන පරිසර ඇමතිතුමා කියලා තියෙනවා විශාල සාගතයක් එනවා මහා වගා සංග්‍රාමයකට යමු. නැත්නම් මේ සාගතයෙන් ගැලවෙන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒක. නමුත් මොනවයින් කරන්නද? මොනවයින් වගා කරන්නද? කුඹුරු පාළු වෙලා. ඔය නුවරඑළිය අල වගා කරන, ළූණු වගා කරන, එළවළු වගා කරන, ඒ පාත්ති, බිම්කඩවල්, දෙණිමංකඩ, හැම දෙයක්ම පාළුවෙන් පාළුවට ගිහිල්ලා. ඒ වගේම රජරට පැත්තේ මිනිස්සු ගොවිතැන අතහැරලා දාලා තියෙනවා.”

රටක් විශාල වශයෙන් මේ ආකාරයට කඩා වැටීමකට ලක්වූ වෙලාවක, විනිමය හිඟය ප්‍රශ්නයක් ඇතිවුණු වෙලාවක ආර්ථික වර්ධනය ඇනහිට ඇති මොහොතක රටේ මුදල් නොමැතිව ලෝකයෙන් ආධාර උපකාර නොලැබෙන වෙලාවක අඩුම තරමින් ආණ්ඩුව කළ යුත්තේ මං තීරු හදන එක නොවේ.

“ඉස්සෙල්ලම බලන්න ඕනේ රටේ මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතුව ඉන්න. හැම මිනිහෙකුටම අත් දෙකක් තියෙනවා. ඒත් එක කටයි තියෙන්නේ. ජනගහනය වේගයෙන් වැඩි වෙනවා. රටේ සම්පත් එහෙම වැඩි වෙන්නේ නැහැ. එම නිසා අනුකම්පාවක් තියෙන මිනිස්සු ගැන වේදනාවක් තියෙන, කැක්කුමක් තියෙන, දුප්පත් මිනිහගේ බඩගින්න ගැන හැඟීමක් තියෙන පාලකයෝ ඉන්නවා නම් මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් දෙන ප්‍රමුඛතාව තමයි මේ රටේ මේ පුරන් වෙච්ච කුඹුර අස්වද්දන්න. ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න. අපේ ආහාර සුරක්ෂිතතාව වැඩි කරන්න වැඩ කරන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ මි

දැන් ඩොලර් නෑ කිය කියා මැරෙන්න හදනවා. නමුත් ඩොලර් ටික උපයගන්න තියෙන්නේ මේ තේ නිෂ්පාදනය වැඩි කරලනේ. දැන් ඒක භාගයක් විතර අඩු කරගන්නවා. රුපියල් අච්චු ගහන්න පුළුවන් කබ්රාල් මහත්තයට. නමුත් ඩොලර් අච්චු ගහන්න බෑනේ. එම නිසා ඩොලරයක් අද උපයාගන්න පුළුවන් විදිහ තමයි අපේ මේ අපනයන අපනයන බෝග ටික වැඩි කරගන්නේ. මේ නිෂ්පාදනය වැඩි කරගන්නේ. ඒ වැඩි කරගන්න නම් මේ ප්‍රමිතියෙන් යුක්ත පොහොර ගොවියන්ට මේ වෙලාවේ සහන මිලට ලැබෙන්න ඕන.” පරණවිතාන මහතා අවධාරණය කළේය.

43 සේනාංකය හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය, නීතීඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ

43 සේනාංකය විදිහටත් මේ රටේ බත් කාලා හැදුණු, මේ රටට බත සපයපු ගොවියෙක්ගේ දරුවෙක් විදියටත් මේ අමනෝඥ තීරණය මේ වර්තමාන පාලකයින් විසින් ලබා ගන්නා මොහොතේ ඉඳලම මේ ගැටලුව පිළිබඳව බොහොම විද්‍යාත්මකව ඒ වගේම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කරුණු තොරතුරු අපිට ඉඩ ලැබෙන විදියට ප්‍රධාන මාධ්‍ය ජාලාවල මාධ්‍ය හිතවතුන් අපිට ඉඩ ලැබෙන විදිහටත් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහාත් ඉදිරිපත් කරා. ඒ වගේම අපි ගොවිබිම් වලට ගියා. අපි ගොවින් එක්ක කතා බහ කරා. මේ බිමේ ගැටලුව අපි සමාජයට ගෙනාවා. විශේෂයෙන්ම නාගරික ජනතාවට. දැන් මම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ මගේ පියා මම කලිනුත් කියලා තියෙනවා අඳ ගොවියෙක්. ඔහු අදටත්කුඹුරු අක්කර දෙකක් කරනවා.  අඳ කුඹුරු අක්කර දෙකක්. ඒ නිසා අපි මේ කෘෂිකර්මාන්තය ගැන බිමේ ඉඳලා දන්න උදවිය, දැන්වත් මේ නිදහස් අධ්‍යාපනය නිසා ඔබගේ දක්ෂතාවයත්, ඒ වගේම මේ රටේ තියෙන ඒ විශිෂ්ට නිදහස් අධ්‍යාපනය නිසා ඉදිරියට ආපු පුද්ගලයෙක් වුණාට, අපි ගොවිතැන ගැන, දන්නේ භූමියේ ඉඳලා. දැන් මේ රසායනික පොහොර, එහෙම නැත්නම් රසායනික යෙදවුම් ගොවිතැනට නවත්තන තීන්දුව ගත්තේ ඩොලර් ඉතුරු කරගැනීමේ චේතනාවෙන්. ඒක තමයි ඒකේ පිටුපස තිබුණු හේතුව. නමුත් සමාජගත කරේ, ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන්. මේ රටේ ජනතාව වස කනවා ඒ වස විස කන නිසා ඒකෙන් ජනතාව බේරගන්න තමයි මේක කරන්නේ කියලා. මේක අමූලික පට්ටපල් බොරුවක් බව. මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, විද්‍යාත්මකව මේ වන විට පෙන්වලා දීලා තියෙනවා.”

43 සේනාංකය විදිහට අපි පැහැදිලිවම කිව්වා රසායනික පොහොර කියන්නේ වස නෙවෙයි. කාබනික වගාවට 100% ක් අපේ රට කවදාවත් ගෙනියන්න බැහැ විශේෂයෙන්ම සීඝ්‍රයෙන් ගෙනියන්න බෑ. ඒ නිසා කෙටි කාලයකින් මේක කරන්නැතුව යම්කිසි දීර්ඝකාලීන වැඩසටහනකින් යම්කිසි ප්‍රතිශතයක් කාබනික වගාවට මේ රටේ ක්‍රමිකව යන්න. මේ හදිස්සියේ මේක කරන්න එපා. ලොකු විනාශයක් වෙන්න නියමිතයි කියලා. දැන් ඒක නෙමෙයිද වෙමින් පවතින්නේ කියලා. අපි අහනවා අපි ඒක අහන්නේ සතුටෙන් නෙමෙයි. අපි ඒක අහන්නේ කණගාටුවෙන්. මොකද මේ පිස්සෝ ටිකක් එකතු වෙලා වැඩක් කරාට මේක විදවන්න වෙන්නේ මුළු මහත් ටටම ජාතියටම සහ අපේ දරු පරම්පරාවට.”

43 සේනාංකය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුක්ෂාන් තංගරාජා

“ගොවියෙක් කියලා ගත්තම, පර්චස් පහෙන් පටන්ගෙන, අක්කර පහළව වෙනකන් හෝ අක්කර පහළොවට වඩා වගා කරන ගොවියෝ ඉන්නවා. එතකොට මහා පරිමාණයේ ගොවියෙක් කියන්නේ එයා අතේ අදට සල්ලි තියෙනවා. සල්ලි තියෙද්දී එයාට පුළුවන් පොහොර මිටියක් රු.8,000 ක් නෙවෙයි, රුපියල් 10,000 කට ගියත්, පොහොර මිටියක් මිලදී අරගෙන, තමන්ගේ වගාව යම්කිසි දුරට ගොඩ දාගන්න. හැබැයි අර පහ වගා කරන ගොවියට රුපියල් 10,000 ක් කියන්නේ ඒ පර්චස් පහෙන් එන ලාභය රුපියල් දහදාහක් නෙමෙයි. අපි මෙහෙම හිතමු. දැන් අපේ බොහෝ අය රජයේ සේවකයෝ වේවා පෞද්ගලික අංශවල වැඩ කරන අයට එක්කෝ දහවෙනිදා නැත්නම් විසිපස් වෙනිදාට පඩියක් හම්බෙනවා. ඔබ දන්නවද වගාවකින් ලාභයක් ගන්න පුළුවන් කොච්චර කාලෙකින්ද කියන එක. මාස තුනකට එක එක්කෝ මාස හතරක් වෙනවා. ඒ පෝරත් නෑ. සල්ලිත් නෑ. වැස්සොත් කාට කියන්නද? වහින්න එපා කියලා කරන්නද? පාරට බහින්නද? බෑ. ඒත් තැලෙන්නේ ගොවියා. ගොවියට එන්නේ මාස තුනකට එක පාරක් ආදායමක් එන්නේ. ඔබ හිතන්න අද සමාජයේ තියෙන තත්වය උඩ විසිපස් වෙනිදට පඩියක් ස්ථිර පඩියක් ගන්න ඔබට අමාරුයි නම් මාස තුනකට එක පාරක් ලාභයක් ගන්න ගොවියට. මොකක්ද තත්වේ? එතකොට ගොවියා මාස තුනක් කන්නේ ණයට. තමන්ට ආදායමක් ආපු ගමන් ඒ ආදායමෙන් පියවනවා. ඒ ගත්තු ණය ටික. ඉතින් මෙහෙම යද්දී පෝර මිටියක් රු.10000යි.

ඔබ කෑම වේලක් කද්දී හිතලා තියෙනවද තමන් කැරට් ජූස් එකක් බොද්දි හිතලා තියෙනවද? මේ කැරට් එක කොහොමද අපේ ගෙදරට ආවේ කියලා. ගොවියා වැටුනා කියන්නේ ලොකු චේන් එකක් කියන්නේ ගොවියා. ගොවියාගෙන් පස්සේ වෙළෙන්දා. වෙළෙන්දාගෙන් පස්සේ සුළු ව්‍යාපාරිකයො. ඊට පස්සේ තමයි ගෙවල් වලට එන්නේ. එතකොට යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවා එළවළු ටිකක්, තමන්ගේ ගෙදරට කොළඹ ඉන්න කිලෝමීටර් දෙසීයක් එහා වැලිමඩ වගාවෙන එළවළු ටික කොළඹට එද්දී ඒ ගොවියා විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. ගොවියා වගා කරන එළවළු ටිකෙන් ලංකාවේ සෑහෙන්න කොටසක් ජීවත් වෙනවා. දැන් ගොවියා මාස තුනක් තමන් නොකා නොබී තමන්ගේ ළමයා වගේ බලාගත්තු තමන්ගේ වගාව තුට්ටු දෙකට ඇවිල්ලා ගන්නවා. උදාහරණයකට ගමු. දැන් මිලයි. රුපියල් විස්සට ගොවියගෙන් එළවළු ටික ගද්දි, කොළඹ එළවළු ටික රුපියල් සීයයි. එතකොට ඒකෙන් හම්බ කරේ කවුද? මෙච්චර කල් දැනුත්, දැනුත්, කිලෝ එකක් රුපියල් දෙසීයක්, තුන්සීයක් ගියාට පොහොර ටික, බෙහෙත් ටික ඇයි අද ඉන්ධන ටික, ඔබ දන්නවද වගාවට ඉන්ධන ඕනි කියලා වතුර, වතුර සමහර ඉඩම් තියෙනවා. ඒවට වතුර ගන්න ඕනේ ඉන්ධන වලින්. මෝටර් දුවන්නේ ඉන්ධන වලින්. ඉතින් කොළඹ වැලිමඩ ඉඳන් කොළඹට එළවළු ටික ගේද්දී වාහන වලින් ගේන්නේ. ඒවා දුවන්නෙ ඉන්ධනවලින්.”

“තවදුරටත් ගොවියෝ අමාරුවේ දාන්න එපා. රවට්ටන්න එපා. දැනට ඔයාලට කරන්න තියෙන එකම විසඳුම හරි ගානට පාලන මිලක් ඇතුව කළු කඩ මුදලාලිලා බිහිවෙන්නේ නැති වෙන්න එළවළු ටික සාමාන්‍ය විදිහට වගා කරගන්න පුළුවන් විදියට පොහොර ටික සාමාන්‍ය මිලට, ගොවියට දරාගන්න පුළුවන් මිලට ගොවියා ලබා දෙන්න කියලා තමා අපි ඉල්ලන්නේ.” තංගරාජා මහතා වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Recommended For You

About the Author: Thusal