රට නංවන – රන් දියවර

දේශීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා අප සතු ශක්තිමත්ම අවිය කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේ හදවත වනාහි ජලයයි. ජල කළමනාකරණය විෂයෙහි ගොවි ජනතාව සතුව ශිල්පීය ඥානය සහ භාවිතයෙහි හුරුව අනාදිමත් කාලයක සිට මුවහත් වූ තාක්ෂණික ප්‍රයෝගයකි. මහවැලි ව්‍යාපාරයෙන් අරඹා දැවැන්ත වාරි ව්‍යාපෘති ඔස්සේ ජල සම්පත කෘෂිකාර්මික විෂයෙහි කළමනාකරණය කර ගැනීමේ දී අද අප ලබා තිබෙන සාර්ථකත්වය දිගු ගමනක වෙහෙසකර වූ මුත් දැවැන්ත ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස තවදුරටත් ජාතික ආර්ථිකය සවිබල ගන්වන්නේ නම් ජල කළමනාකරණය තවදුරටත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ආ යුතුය. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ පුනරුදය ලෙස සැලකෙන්නේ මහවැලි ව්‍යාපාරයයි. 1968 මහවැලි මහ සැලැස්ම සකස් කර ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණ ගොවිතැනට අවශ්‍ය ජලය පමණක් නොව ජල විදුලිය ද උත්පාදනය කරමින් මහවැලි ජලයෙන් උපරිම ඵල නෙළා ගැනීමයි. ඒ අනුව එවකට මහවැලි දියවරින් අක්කර 270,500ක් අස්වද්දමින් තිබුණු අතර මහවැලි මහ සැලැස්මේ මූලික ඉලක්කය වූයේ අලුතින් අක්කර 622,000ක ට ජලය සපයා දෙමින් ගොවි බිම් ප්‍රමාණය පුළුල් කිරිමයි.

රජයේ ක්ෂේම භූමිය

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගොවි නිෂ්පාදන ක්ෂේත්‍රයේ රජයේ ක්ෂේම භූමිය වන මහවැලි එච් කලාපය සංවර්ධනය කරමින් එදා තැබූ පළමු පියවර ලෙසින් 1977 මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන මඟින් තවත් දිශානතියකට ව්‍යාප්ත කෙරිණි. ඒ අනුව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදි කර මහවැලි පෝෂණ කලාපය තවදුරටත් පුළුල් කර මහවැලි බි සහ සී කලාප ඇති කෙරිණි. මෙම නව කලාප ආශ්‍රිතව නව පවුල් 150,000ක් පදිංචි කළ අතර එයට සමගාමීව උඩවලව ජලාශය ද ඉදි කෙරිණි. ඒ යටතේ අක්කර 136,500ක වගා බිම් සංවර්ධනය කර තිබේ. ඒ අනුව රටට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් අක්කර අඩි මිලියන 2.3ක් මහවැලි ජලයෙන් පෝෂණය කරන තැනට මෙම ව්‍යාපාරය අද ශක්තිමත් තැනකට ඔසවා තබා ඇත.

ශ්‍රී ලංකාවේ වාරි සංවර්ධන ව්‍යාපෘති හා බැඳුණු ප්‍රශස්ත ජල කළමනාකරණයක් පවතින ප්‍රමුඛ ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයයි. මහවැලි ව්‍යාපාරයේ ආරම්භක ඉතිහාසයට වඩා අද මෙම දැවැන්ත ව්‍යාපෘතිය අංශ ගණනාවකින් වැඩි දියුණු වී ඇත. ඒ ධනාත්මක වෙනස්කම් තුළින් සිදු කරමින් පවතින්නේ අන් යමක් නොව ජල කළමනාකරණය තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යමින් ප්‍රතිලාභ පුළුල් කිරීමයි. සමස්ත මහවැලි ව්‍යාපාරය හා බැඳුණු ප්‍රධාන ඇළ 346ක් ද, අතු ඇළ මාර්ග 448ක් ද, බෙදුම් ඇළ මාර්ග 2,474ක් ද, කෙත් ඇළ මාර්ග 6,533ක් ද ඉදි කර ඇති අතර මේවායෙහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 10,000ක් පමණ වෙයි. මෙම ඇළ මාර්ග ඔස්සේ ගලා යන මහවැලි දියවරින් මෙරට අටු කොටු සරු සාර වීම ඉතාමත් සකසුරුවමින් හා කළමනාකරණයකින් යුක්ත තාක්ෂණික විප්ලවයක් බව අප සිහිපත් කළ යුත්තේ ආඩම්බරයෙනි. එමණකින් අවසන් නොවී මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘති දෙකත් රට විවිධ දිශානති ඔස්සේ සමෘද්ධිමත් කිරීමට දායක කර ගෙන තිබේ.

මහවැලි ව්‍යාපාරය

ජල කළමනාකරණය යනු ගොවි බිම්වලට ජලය පරිහරණය කරන ගොවියා දක්වාම වඩාත් සුක්ෂ්මව සහ පිළිවෙළකට සිද්ධ වන ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව අනුව වසර මුළුල්ලේම අපේ රටේ ගංගා, ඇළ, දොළ ජලයෙන් පිරී පවතින මුත් වඩාත් වැදගත් වන්නේ එම ජලය රටේ ආර්ථිකය ඔසවා තැබීමට උපරිමයෙන් ඵල ප්‍රයෝජනයට ගැනීමයි. මෙම ක්‍රියාවලිය මහවැලි ව්‍යාපාරය මඟින් ඉතා ප්‍රශස්ත අයුරින් ක්‍රියාවට නංවමින් සිටින්නේ සෙසු වාරි ව්‍යාපෘතිවලට ද පුර්වාදර්ශයක් සපයමිනි. මහවැලි ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ එයින් ප්‍රතිලාභ උත්පාදනය වන වපසරිය පුළුල් වීමයි. වැවක් නම් එම වැවේ පෝෂිත කලාපයට පමණක් සීමා වුණු සංවර්ධන ක්‍රියාවලියකට සීමා වෙයි. එහෙත් මහවැලියේ සිදුවන ක්‍රියාවලිය වන්නේ නිම්නයකින් නිම්නයකට මහවැලි ජලය ගෙන යමින් එම මාර්ගයට හසු කර ගත හැකි උපරිම වපසරියක කලාපයකට ප්‍රතිලාභ අත් කර දිමයි. එහිදී ඇළ මාර්ග රාශියකට, වැව් විශාල ප්‍රමාණයකට ජලය ලබා දෙයි. නිදසුනක් ලෙස උඩවලව ජලාශයෙන් පමණක් අක්කර 136,500ක භූමි ප්‍රමාණයක් සශ්‍රීක වගා බිම් ලෙස සංවර්ධනය කර තිබේ.

ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය වාර්ෂිකව ආකාර 4කට ලැබෙයි. එනම් පළමු අන්තර්මෝසම, නිරිත දිග මෝසම, දෙවන අන්තර් මෝසම සහ ඊසාන දිග මෝසමයි. මෙම හතර ආකාරයෙන්ම මිලිමීටර් 1860ක වර්ෂාවක් ලැබෙයි. මෙම මුළු වර්ෂාපතනයෙන් වියළි කලාපයට ලැබෙන්නේ සියයට 35කි. ඉතිරි සියයට 65 තෙත් කලාපයට ලැබෙයි. මහවැලි ව්‍යාපාරයේ මූලික ඉලක්කය සීමිත ජල ප්‍රමාණයක් ලැබෙන වියළි කලාපයේ ජල අවශ්‍යතාව සම්පුර්ණ කිරීමයි. මහවැලි ව්‍යාපාරයේ ජල කළමනාකරණයේ මුලික පියවර තැබෙන්නේ මෙම අරමුණ වටාය. මහවැලි ගංගා ද්‍රෝණිය ලංකා භූමි ප්‍රමාණයෙන් සියයට 16කි. වර්ග කිලෝමීටර් වලින් 10,300කි.

ශ්‍රී ලංකාව යනු ලොව සෙසු රටවලට සාපේක්ෂව ජලයෙන් ස්වයංපෝෂිත රටකි. ජලය ඉතාමත් සීමිත ඊශ්‍රායලය වැනි රටවල් දෙස බලන විට අප ජල සම්පතින් ඕනෑවටත් වඩා පොහොසත් ය. එහෙත් ඉන් නිසිඵල අත්කර ගත හැක්කේ ජල කළමනාකරණය තුළින් ම පමණි. මහවැලියෙන් පෝෂණය වන සෑම වගාබිමක් ම යල මහ දෙකන්නයම වගා කිරීමට හැකි වන ලෙස ජලය සපයා දීම මූලික ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ වෙනත් වාරි ව්‍යාපෘතිවලින් මේ සාධනීය තත්ත්වය ළඟා කර ගැනීමට තවමත් උත්සාහ දරමින් සිටි. ශ්‍රී ලංකාවේ මුළු වගා බිම් ප්‍රමාණය අක්කර 1,760,000කි. ඉන් මහවැලි අධිකාරිය සතු ප්‍රමාණය අක්කර 250,000කි. මෙම දෙලක්ෂ පනස්දහසම යල මහ දෙකන්නම වගා කිරීම මෙම ව්‍යාපාරයේ විශේෂත්වයයි.

ගොවීන්ගේ ඉල්ලීම්

මහවැලි ව්‍යාපාරයේ ජල කළමනාකරණ ක්‍රමවේදය ඉතා පැහැදිලිය. නිරවුල්ය. ජලය නිදහස් කිරීම දක්වා ක්‍රියාවලියේ මූලිකත්වය හිමි වන්නේ ගොවීන්ගේ ඉල්ලීම් සහ ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු ය. ගොවින් ඉල්ලා සිටින ප්‍රමාණයට ජලය ලබා දිය හැකි ද නැද්ද යන්න විශ්ලේෂණය කරන්නේ කන්න රැස්වීමෙනි. ජලය නිදහස් කරන්නේ කාලසටහනකට අනුව ය. මේ සියලු තීරණ සම්බන්ධයෙන් බිම් මට්ටමේ නිලධාරියා දක්වා දැනුම්වත් වී සිටින අතර එම පණිවුඩය ඉතා සක්‍රිය ලෙස ගොවියා අතට පත් වෙයි. මේ නිසා ජලය ප්‍රයෝජනයට නොගෙන අපතේ යෑමක් සිදු නොවෙයි. දිනකට නිදහස් කරන වතුර ප්‍රමාණයෙන් අවම හෙක්ටයාර් 4කට ජලය සම්පාදනය කිරීම අපේ සැලැස්මේ අනිවාර්යයෙන් සිද්ධ වන ක්‍රියාදාමයකි. මේ නිසා මහවැලි ව්‍යාපාරය පෙරටත් වඩා අද ඊටම අනන්‍ය වූ සැලැස්මක් ඇති ව කටයුතු කිරීම එහි සාර්ථකත්වය පිටුපස තිබෙන රහසයි.

කෘෂිකර්මාන්තය මත රඳා පවතින රටක් ලෙස රටේ ඉදිරිය රඳා පවතින්නේ ගොවිබිමේ හිමිකරුවා වන ගොවියා මතය. කෘෂිකර්මාන්තයෙන් රට ඉහළට ඔසවා තබන සෑම උත්සාහයකම සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ ද ගොවියා ඒ වෙනුවෙන් දක්වන දායකත්වය මතය. ගොවියා යන්නන් වාලේ ගොවිතැන් කරන අයකු නම් කිසිදු ව්‍යාපෘතියකින් හෝ වැඩසටහනකින් ඵලක් නැත. එමෙන්ම ශ්‍රී ලංකාව ජලයෙන් සමෘද්ධිමත් රටක් වුව ද දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන දීර්ඝ කාලීන නියං තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙයි. මේ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් වගා බිම් සඳහා ජලය පරිහරණය කළ යුතුය. මෙම ශික්ෂණය ගොවියා තුළ තිබිය යුතුම ලක්ෂණයකි.මෙම ශික්ෂණය නොමැති තැන ජල නාස්තිය මෙන්ම වගා බිම ද අනතුරට පත් කරයි.

සංවර්ධන ව්‍යාපෘති රැසක්

දේශීය කෘෂිකර්මාන්තයේ අනාගතය තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා ඉදිරි සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කිරිම සඳහා දැනටමත් අඩිතාලම දමා අවසන්ය. මහවැලි ව්‍යාපාරයෙන් සිදු වන ජාතික මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී දේශීය වාරි ක්ෂේත්‍රයට එක් වීමට නියමිතය. ආන්දෝලනාත්මක කතා බහකට ලක් වුණු උමා ඔය ජලයෙන් මොනරාගල සහ වැල්ලවාය ආදි ජල හිඟයෙන් පෙළෙන කලාප සශ්‍රීක කිරීමටත්, මාදුරු ඔය ජලාශයෙන් වැලි කන්ද වම් ඉවුර මෙන්ම දකුණු ඉවුර සංවර්ධනය කිරීමටත්, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියෙන් මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් සැලසුම් සකස් කර තිබේ. එමෙන්ම උතුරු මැද පළාත් ව්‍යාපෘතිය, කළු ගඟ ව්‍යාපෘතිය ද ශ්‍රී ලංකාවේ වාරි සංවර්ධන ව්‍යාපෘති අතර ට එක් වනු ඇත. වර්තමානයේ ලොව සෑම රටක්ම මුහුණ පා තිබෙන දැවැන්ත අභියෝගය ආහාර නිෂ්පාදනය අඩාළ වීමය.

වසර තුනක්ම කොවිඩ් වසංගතය හේතුවෙන් සෑම රටක්ම ආර්ථික බෙලහීනතාවන්ට පත්ව ඇත. විදේශ විනිමය සීමා වීම, දේශීය වත්කම් සීමා වෙමින් පැවතීම, ආනයන අපනයන ආර්ථිකය බිඳ වැටීම, නිෂ්පාදන හිඟය සමඟ භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම, අන්තර්ජාතික ප්‍රවාහන ජාලය අඩපණ වීම වැනි අභියෝග රැසකට සෑම රටක්ම පාහේ මුහුණ පා ඇත. එවැනි තත්ත්වයක් තුළ ලොව සෑම රටක්ම කටයුතු කරමින් සිටින්නේ ජාතික අවශ්‍යතා රට තුළින්ම අඩු පිරිවැයකින් උත්පාදනය කර ගැනීමට ය.

මෙහිලා ආහාර නිෂ්පාදනය ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත. ඒ අනුව අපි ද වහ වහා සුදානම් විය යුත්තේ දේශීය ආහාර නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමටය. එමෙන්ම මෙම කෘෂිකාර්මික විප්ලවය නවමු මුහුණු වරකින් ඇරඹීම සඳහා වත්මන් රජය කාබනික කෘෂිකර්මාන්තය හඳුන්වා දී ඇත. මෙය යම් ආකාරයක අභියෝගයක් වුවත් පාරිසරික සුවපත් භාවයටත්, පුරවැසියන්ගේ සුව පැවැත්ම සඳහාත් කවදා කිනම් මොහොතක දී හෝ මෙම කාබනික කෘෂිකර්මාන්තයට අප යා යුතුව ඇත. එය හෙටට කල් නොතබා අදම ප්‍රවිශ්ට වීම වත්මන් රජය ගත් ප්‍රශස්ත තීරණයකි. මෙහි අභියෝග ජය ගනිමින් 2024 වන විට දේශීය පරිභෝජනයට අවශ්‍ය සියලුම ආහාර රටේ ගොවි බිම්වලින් නිපදවා ගැනීමේ දිස්ත්‍රික් හා ආහාර නිෂ්පාදන සැලැස්ම හඳුන්වා දීමට ද රජය සුදානමින් සිටී.

කෘෂිකර්මාන්තය තුළින් ආර්ථික අභියෝග ජය ගැනීමෙහිලා මහවැලි ව්‍යාපාරය පුමුඛව සියලුම වාරි සංවර්ධන ව්‍යාපෘතිවලින් ලැබෙන පිටිවහල අති මහත්ය. මෙහි සාර්ථකය පවතින්නේ එදා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රකාශ කළ පරිද්දෙන්ම අහසින් වැටෙන සෑම ජල බිඳක්ම මහ මුහුදට නොයවා උපරිම ඵල ගැනීම හෙවත් ජල කළමනාකරණය යි.

Recommended For You

About the Author: Thusal