හරිත කෘෂිකර්මාන්තයට නව මානයක් එක් කළ තාක්ෂණ විද්‍යාඥයා

බොහෝ දෙනෙක් කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසාම වැඩ අතපසු කර ගනිති. එහෙත් ඇතැමෙක් කාලය අපූරුවට කළමනාකරණය කර ගනිමින් වෘත්තීන් කිහිපයක නියැළෙති. වැල්ලවායේ පදිංචි ප්‍රියන්ත හෙට්ටිආරචිචි මහතා ද එවැනි කාලය බොහෝ අපූරුවට කළමනාකරණය කර ගනිමින් අක්කර 30ක පමණ විවිධ වගාවන් සිදු කරන අතරතුර කාබනික පොහොර ද නිෂ්පාදනය කරමින් බොහෝ පිරිසකට රැකියා අවස්ථා ද උදා කරමින් අතමිට සරු කර ගන්නට සමත්කම් දැක්වූවෙකි.

වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයකු ලෙස රැකියාවේ නිරත ප්‍රියන්ත මහතා ඉඩ ලැබෙන සෑම අවස්ථාවක්ම ගත කරන්නේ වගාවත් සමඟය. රැකියාවත් වගාවත් සමබරව සිදු කරන්නේ කෙසේදැයි පිළිබඳව ප්‍රියන්ත මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

“මම වැල්ලවාය මූලික රෝහලේ රාජකාරි කටයුතු කරන්නේ වසර 12ක පමණ සිටයි. රෝහල පිටුපස කොටසේ කැලෑවට ගිය ප්‍රදේශයක් තිබුණෘ. මේකේ කොටසක් මම එළිපෙහෙළි කරලා වගා කරන්න කටයුතු කළා. කොස්, පොල්, කෙසෙල් පැළ හිටෙව්වා. ඒ කාලේ සමහර වෛද්‍යවරු පවා මගෙන් ඇහුවා ඔයා හිටෙව්වත් ඔයාට ඕවා කන්න ලැබෙන්නේ නෑ නේද කියලා. මම එදා කිව්වේ මේ හිටවන්නේ මට නෙවෙයි ඵලදාව හැදුණාම කවුරු හරි කඩා ගෙන කයි කියලා. ඒත් කාලයත් එක්ක වගාව ගැන උනන්දු වුණ බොහෝ දෙනෙක් මේ වැඩේට සහය දක්වන්න උනන්දු වුණා. වගා කරන්න එකතු වුණා. සම්පූර්ණයෙන්ම කැලෑව වෙනුවට අපට ලස්සන වගා බිමක් රෝහල් ගෙවත්ත තුළ නිර්මාණය කරන්න පුළුවන් වුණා. වගාවෙන් අප රෝහල තුළ විවිධ නිර්මාණ හැදුවා. මල්පෝච්චි හැදුවා, භුමි අලංකරණ වැඩ කළා. රෝහල් කාර්ය මණ්ඩලයට අලුත් එළවළු දුන්නා. වැඩිපුර ඒවා විකිණුවා. ඒ අතර තමයි මට මගේම කියලා වගාවක් කරන්න ඕනෑ කියලා හිතුණේ. ඊට පස්සේ මම ඉඩම් කිහිපයක් මිලට ගෙන කාබනික පොහොර නිෂ්පාදනය කරන්නත් පටන් ගත්තා.

මගේ උපාධියට අමතරව කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාවක් කළා. ඒ ඉගෙන ගත්ත දැනුම මම මගේ ඉඩම්වල වගා කටයුතුවලට යොදා ගත්තා. විශේෂයෙන්ම මම ඉඩම් කිහිපයක භෝග හිටෙව්වේ ස්ථර පහකට සිටින විදියට. උඩම ස්ථරයේ පොල්, දෙවැනි ස්ථරයේ රඹුටන්, උප වියන් ස්ථරයේ දෙළුම්, නාරං, දොඩම් වගේ දේවල් වගේම යටම ස්ථරයේ අන්නාසි, කොච්චි, කහ වගේ දේවල්. බිංදු ජල සම්පාදනය යොදා ගන්න නිසා යොදන වතුරෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නත් ඉර අව්වෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නත් මම කටයුතු කරලා තියෙනවා.

මම නිදාගන්නේ පැය හතරක් විතර. පාන්දර හතරට මම අවදිවෙනවා. මම වැඩ කරන්නේ සැලසුමකට සහ කාලසටහනකට අනුව. සෑම ඉඩමකම වගාවන් පිළිබඳව ඉන්න සේවකයන්ගේ අවශ්‍යතාවන්, වැටුප් ගෙවීම, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සපයා දීම, අස්වනු වෙළෙඳපොළට රැගෙන යෑම, ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීම වගේ සියලු කටයුතුත් ඔවුන් ඇත්තටම වැඩවල යෙදෙනව ද කියන එකත් මම නිරන්තරයෙන්ම සොයා බලනවා. අධීක්ෂණ කටයුතු වගේම සියලු සම්බන්ධතා සඳහා තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා. වගා ඉඩම්වල සීසීටීවී කැමරා සවි කර තිබෙනවා .

මම රැකියාවෙන් වගේම වගාවෙන් ලොකු තෘප්තියක් ලබනවා. අතට මුදල් ලැබෙනවා වගේම බොහෝ පිරිසකගේ කුස පුරවන්න මට හැකි වී තිබෙනවා. ඉඩම් අවට ඉන්න බොහෝ පිරිසකට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මම ඇති කරලා තියෙනවා. සමහරුන්ට නිවාස හදලා පවුල පිටින්ම පදිංචි කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතා තියෙන අසරණ අය වෙනුවෙන් මම විශේෂයෙන්ම රැකියාවක් දීමේ දී ප්‍රමුඛතාවක් දෙනවා. තවත් අසරණ පවුලක් මම නිසා දවසක් හරි සතුටෙන් කාලා බීලා ඉන්නවා නම් කියන සතුට මට දැනෙන නිසා.

මගේ බොහෝ වගාවන් සඳහා යොදා ගන්නේ කාබනික පොහොර. ඒ විතරක් නෙවෙයි සත්ව පාලනයත් කරනවා. එළුවන් සහ ගවයින් හදනවා. ඒ අයගේ පොහොරත් ඉඩමේ වැවෙන තණ කොළත් මම කාබනික පොහොර හදන්න යොදා ගන්නවා. කිරි බීමට ගන්නවා. ඒ හදන පොහොර වගාවට දානවා. මේ වෙන කොටත් මම කාබනික පොහොර වගේම දියර පොහොරත් හදනවා. කාබනික පොහොර කිලෝ ලක්ෂයකට වැඩිය නිෂ්පාදනය කර අලෙවියට සුදානම් කරලා තියෙනවා.

රසායනික පොහොරවලින් අපට ඈත් වෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. කාබනික දියර පොහොර වගේම කාබනික පොහොරවලින් ලැබෙන දීර්ඝ කාලීන ප්‍රයෝජන වැඩියි. පසට වගේම පසේ ක්ෂුද්‍ර ජීවින්ට ඇති කරන හිතකර පරිසරය අති විශාලයි. බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නෑ.

මගේ බිරිය ක්‍රිෂාන්ති දිල්හානිත් වැල්ලවාය රෝහලේම හෙදියක්. අපට දරුවන් තිදෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නෙක් වගේම පුතෙක්. බිරියත් හැකි සෑම අවස්ථාවකදීම වගා කටයුතුවලට මට සහාය දෙනවා. අපි සතුටෙන් ඉන්නවා වගේම හැකි හැම අවස්ථාවකදීම තවත් කෙනෙක් සතුටෙන් තියන්න උත්සාහ කරනවා. ඒක නිසා මම කියන්නේ දවසට තියෙන පැය 24න් රාජකාරි පැය අට හැරුණාම තව පැය 16ක් ඉතිරි වෙනවා. ඒකෙන් පැය හතරක් පහක් නිදා ගත්තත් තව පැය 11ක් 12ක් ඉතිරිවෙනවා. ඒ කාලය රූපවාහිනියක් ළඟ නැතිව ඵලදායි වැඩකට යොදා ගන්න පුළුවන් නම් රටටත් සමාජයටත් තමන්ටත් වැඩක් සිදු වෙනවා.”

ප්‍රියන්ත මහතා මෙන් රටට වැඩදායී පුද්ගලයකු වන්නට ඔබටත් හැකි වේ නම් රටේ මෙතරම් ආර්ථික ප්‍රශ්න පැන නොනඟිනු ඇත.

 ජී.අයි.ආර්. ගරුසිංහ

Recommended For You

About the Author: Thusal