අන්ධ වන අලියා මිනිසුන්ට කළ සංවේදී ආයාචනය

ඇස් දෙකම  නොපෙනෙන වනඅලියෙකු දඹුල්ල තෙලදින්නන්වැව ප්‍රදේශයේ වගා ළිඳකට ඇද වැටී සිටියදී අද (25) දින අළුයම ප්‍රදේශවාසීන් විසින් දැක වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ.

වසර කිහිපයක සිට එම ප්‍රදේශයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ සැරිසරන මෙම වන අලියාගේ ඇස් දෙකම නොපෙනෙන බව ප්‍රදේශවාසීහු පවසති. ඊයේ (24) රාත්‍රියේ නිවසක් ආසන්නයේ ආහාර ගනිමින් සිටි මෙම වන අලියා පුද්ගලික ඉඩමක තිබුණු වගා ළිඳකට ඇද වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ඇස් දෙකම නොපෙනෙන මෙම වන අලියා ගොඩ ඒම සඳහා දැඩි උත්සාහයක් දරමින් සිය හොඬවැල ඔසවා ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලන අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

ප්‍රදේශවාසීන් මෙම වන අලියාට දැඩි ලෙස අනුකම්පා කරනු ලබන්නේ ඇස් දෙකම අන්ධ වීම නිසා ඔහු තැන තැන ගස්වල පවා හැපීම සිදුවන නිසාවෙනි.

ගල්කිරියාගම වනජීවී නිලධාරී කාර්යාලයට ප්‍රදේශවාසීන් මෙම වන අලියා ළිඳකට වැටී ඇති බව දැනුම් දී තිබිණි. වනජීවී නිලධාරීන් මෙම වන අලියා ගොඩගැනීම සඳහා අවශ්‍ය පරිසරයය සූදානම් කරමින් සිටිය ද දිවා කාලයේ ලිදෙන් ගොඩ දැමුවහොත් මෙම වන අලියාගෙන් මිනිස් ජීවිත හා දේපොළ රැසකට හානි සිදුවිය හැකි බව නිසා තව දුරටත් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් පසුව ගොඩ ගැනීම්ට යන බව වනජීවි නිලධාරීහූ පවසති.

ඇස් දෙකම නොපෙනෙන නිසා වන අලියා ගොඩ ගැනීමෙන් පසුව කුමන ආකාරයකින් හැසිරේ දැයි දැඩි බියක් පසුවන බව වනජීවී නිලධාරීහු පවසති.

ප්‍රදේශ්වාසීන් කියා සිටින්නේ මෙම වන අලියා නිතර නිතර ගම්වැදීම නිසා වෙඩි වැදීමකින් හෝ යම්කිසි සිදුවීම්කින් ඇස් දෙකට හානි වන්නට ඇති බවය.

නිරන්තරයෙන් ප්‍රදේශවාසීන්ගේ නෙත ගැටෙන  නෙත් නොපෙනෙන මෙම අලියාට සිදුව ඇති කරදරය දැක් බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් වගා ලිද ආසන්නයේ රැස්වී සිටින අතර ඔවුන්ගේ කටහඬ ඇසෙන ඇසෙන මානයට සිය හොඬවැල ඔසවා ගොඩ ඒමට  උදව් කරන්නාක් මෙන්  වන අලියා ජනතාවට ආයාචනා කරන සංවේදී දසුන් මෙම අවස්ථාවේදී දැක ගැනීමට හැකි විය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal