කාබනික කෘෂිකර්මාන්තය ‘මෙතැනින් කොතැනටද ?‘

ප්‍රියන්ත යාපා – පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබද මහාචාර්ය – සබරගමුව විශ්වවිද්‍යාලය

රසායනික පොහොර ආනයනය තහනම් කරමින් වත්මන් රජය විසින් මෙරට තුළ යළිත් කාබනික කෘෂිකර්මාන්තයට දොරගුළු විවර කොට තිබේ. එහෙත් කාබනික පොහොරින් වැඩි අස්වැන්නක් සපයා ගත නොහැකි බව පවසමින් මේ වන විට ගොවීන් ඇතුළු පිරිසක් පාරට බැස තිබේ. සත්‍ය ලෙසම කාබනික පොහොරින් වගා කළ නොහැකි ද වැඩි අස්වැන්නක් ලබා ගත නොහැකි ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාව වැනි රටක කළ නොහැකි වගා ක්‍රමය වන්නේ රසායනික කෘෂිකර්මාන්තයයි. රසායනික කෘෂිකර්මාන්තය අවශ්‍ය යැයි පවසන ගොවියන් ඉල්ලනුයේ විදෙස් රටක බහු ජාතික සමාගමක් විසින් නිපදවන ලද පොහොරය. වල් පැළ නාශක සඳහා ඉල්ලන්නේ ද එවන් සමාගමක් විසින් වල් පැළ නාශක සඳහා යොදනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍යයන්ය. රසායනික පොහොර යනු ශ්‍රී ලංකාවේ නිපදවා ගත නොහැකි එසේ නිපදවීමට කිසිදු තාක්ෂණයක් ද නොමැති පොහොරකි.

මෙම ගැටලුවේ දී ගොවි මහත්වරුන් අසරණ වී ඇති බව පෙනේ. ගොවි උපදෙස් සහ තාක්ෂණික උපදෙස් සපයා දීම සඳහා රජයේ වෙනම වැඩපිළිවෙළක් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද ඒ සඳහා ව්‍යාප්ති සේවයක් තිබේ. විද්‍යාඥයන්ගේ තාක්ෂණික දැනුම බිම් මට්ටමේ සිටින ගොවියා වෙතට ගෙන ඒමට වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම් කර තිබෙන්නේ ද කෘෂි උපදේශකවරුන් යොදා ගනිමිනි. වර්තමානය වන විට එය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන අතර, එහිදී තාක්ෂණය ගොවි උපදේශක වෙතට ගොස් ගොවි උපදේශකගෙන් කෘෂිකර්ම සහකාර ඉංජිනේරුවන් හරහා ගොවියා වෙත සම්ප්‍රේෂණය වීමක් දක්නට ලැබේ.

ප්‍රචාරය

රටේ කෘෂිකර්මාන්ත කාබනික කෘෂිකර්මාන්තයට අනුවර්තනය වීමේ වැඩසටහනට ලැබුණු ප්‍රචාරය දුර්වල වීමත් රසායනික කෘෂිකර්මාන්තය පවත්වා ගැනීම සහ එහි තහනම ඉවත් කර ගැනීම සඳහා සපයා දුන් ප්‍රචාරය ප්‍රබල වීමත් පැහැදිලිව දක්නට ලැබිණි. ලෝකයේ ලාබදායී ව්‍යාපාර ලෙස ආයුධ, බෙහෙත් සහ කෘෂි රසායන ද්‍රව්‍ය පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස 2020 වසරේ ශ්‍රී ලංකාවේ මුළු ජාතික ආදායම ඩොලර් බිලියන 80ක් වන විට එක්තරා කෘෂි රසායන සමාගමක ආදායම පමණක් ඩොලර් බිලියන 54කි. මින් පැහැදිලිව දක්නට ලැබෙන දෙයක් වනුයේ මෙවන් බහුජාතික සමාගම් දෙකක් එකතු වුව හොත් ශ්‍රී ලංකාවම මිල දී ගත හැකි බවය.

කෘෂි රසායන ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට විශාල මුදල් ප්‍රමාණයක් වැය වේ. ඩොලරයේ මිල වැඩි වන විට මෙම වියදම ශීඝ්‍රයෙන් වැඩි වේ. රසායනික කෘෂිකර්මය කළ යුත්තේ සියයට සියයක්ම ද්‍රව්‍ය ආනයනය කිරීමෙනි. මේ නිසා රසායනික කෘෂිකර්මය අවදානම් සහගත බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව තුළ කළ හැක්කේ තිරසර ආහාර සුරක්ෂිතතාවක් පවත්වා ගැනීම සහ ආහාර ස්වෛරීයභාවයක් තබා ගැනීමය. මේ සඳහා අප යා යුත්තේ අපට කළ හැකි දේ වෙතය. තිරසර ආහාර නිෂ්පාදනය කළ යුත්තේ අපට කළ හැකි තාක්ෂණයක් ඔස්සේ මිස පිටරටකින් ගෙන එන ලද දේවල් මත නොවේ.

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මය කළ නොහැකි යැයි පවසන ඇතැම් විද්‍යාඥයන් සහ ඇතැම් දේශපාලකයන් කතා තරනුයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව පමණි. මේ සඳහා රටක කෘෂිකර්මාන්තයක් කිරීම අවැසි නොවේ. ආහාර සුරක්ෂිතතාව යනු රටක වෙළෙඳපොළේ ඇති තරම් ආහාර පාන තිබෙන බව සහ ජනතාවට ඒවා මිල දී ගැනීමට ශක්තිය ඇති බවය. කුවේට් දේශය, සිංගප්පූරුව, බෘනායි වැනි රාජ්‍යවල ආහාර සුරක්ෂිතය. කෘෂි නිෂ්පාදනවලින් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බව මින් අදහස් නොකෙරේ.

රටක රඳා පැවැත්ම

රටකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ රටේ ජාතික ආරක්ෂාව, දේශපාලනය ස්ථාවරත්වය සහ සාමයයි. මේ සියල්ලම රඳා පවතිනුයේ මූලිකවම ආහාර මතය. රටක ඇති මූලික ආහාරවලින් ස්වෛරීය විය යුතු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් ය. සහල් සහ පොල් තිබේ නම් පොල් සමඟ බත් කා ජීවත් විය හැකිය. එහෙත් සහල් නැති වුව හොත් සාගතයක් පවා ඇති විය හැකිය. මේ නිසා සහල් නිෂ්පාදනය සහ සැපයුම ඉතා සංවේදී වන අතර ඉන් රජයේ පැවැත්ම ද තීරණය වේ. එහෙත් ශ්‍රී ලංතාවේ සහල් ඇත්තේ අවදානම් සහගත තත්ත්වයකය.

ශ්‍රී ලංකාවේම නිෂ්පාදිත පොහොරින් සහ කෘෂි රසායනවලින් සහල් හෝ පොල් හෝ නිෂ්පාදනය කළ හැකි තාක්ෂණයක් තිබිය යුතුය. එම තාක්ෂණය අපට ලබා ගත හැක්කේ කාබනික කෘෂිකර්මය තුළින් පමණි. රසායනික පොහොර සහ කෘෂි රසායන රඳා පවතිනුයේ හුදෙක් පොසිල ඉන්ධන මතය. මේවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය තෙල් හෝ ගෑස් අප රට තුළ නැත. ලෝකයේ තෙල් සහ ගෑස් විශාල වශයෙන් පවතින රට රුසියාවයි. මේ නිසා රුසියාව යූරියා නිෂ්පාදනයේ ප්‍රමුඛයා වී සිටී. ඉන්ධනවලින් තොරව රටක් ගෙන යා නොහැකි සේම ඉන්ධන නොමැතිව යූරියා ද නිපදවිය නොහැකිය. මේ නිසා අපට නැති සම්පත් මත යැපෙමින් විශේෂයෙන් සහල් නිෂ්පාදනය කිරීම අවදානම් කරුණකි.

පොහොර තහනම

රසායනික පොහොර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සාගතයකට යන බව උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන උද්ඝෝෂණ පාඨයකි. මෙවර රසායනික පොහොර හිඟ වූයේ රජයේ රසායනික පොහොර ආනයන තහනම හේතුවෙනි. එහෙත් රට තුළ කාබනික පොහොර සකසා ගෙන ඊළඟ කන්නය වෙත යෑම රජයේ අරමුණ වී තිබේ.

කාබනික පොහොර සැකසීම සඳහා රට තුළ ඕනෑ තරම් අමුද්‍රව්‍ය ඇත. කාබනික පොහොර අපනයනය කිරීමට තරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ඇත. ශ්‍රී ලංකාව නිවර්තන තෙත් කලාපීය රටක් සහ දූපතක් හෙයිනි. චීනය, තායිවානය, ජපානය, කොරියාව වැනි ලෝකයටම මුහුදු වල් පැළෑටි නිෂ්පාදනය කරනු ලබන රටවල් ලෝකයටම කාබනික පොහොර අපනයනය කරනු ලබයි. ලෝකයේ විශාලතම මුහුදු වල් පැළෑටි නිෂ්පාදනය කරනු ලබන රට චීනයයි.

ශ්‍රී ලංකාව තුළ ද මුහුදු වල් පැළෑටි, ජලජ වල් පැළෑටි වියළි කලාපයේ වැව් සහ ඇළ මාර්ගවල ඕනෑ තරම් ජලජ වල් පැළෑටි තිබේ. මේවා ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලිය විශාල මුදලක් වියදම් කරනු ලබයි. මෙම වල් පැළෑටිවලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ ආරම්භ වී ඇති ආකාරය දක්නට ලැබේ. මෙය මේ වන විට ග්‍රාමීය කර්මාන්තයක් වී හමාරය. මේවාට තවමත් ප්‍රසිද්ධියක් ලැබී නොමැති අතර ප්‍රසිද්ධියක් ලැබෙන්නේ රසායනික පොහොර ඉල්ලා කරනු ලබන උද්ඝෝෂණවලට පමණි.

අලුත් ග්‍රාමීය කර්මාන්තයක්

ගම්වල ජනතාව ජපන් ජබර සහ සැල්වීනියා විකුණා අලුත් ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගෙන තිබේ. මෙවැනි පරිසර හිතකාමී අමුද්‍රව්‍ය නිෂ්පාදනය ආරම්භ වී තිබිය දී අඩු ආදායම්ලාභීන්ට රැකියා මාර්ගයක් ඇති වී තිබෙන වකවානුවක ඒවා නැති කොට නැවතත් රසායනික පොහොර වෙත යෑම මුග්ධ ක්‍රියාවකි. මෙරට මුදල් පිටරට යෑම, පරිසර හානිය, සෞඛ්‍ය හානිය නිසා ඖෂධ ද පිටරටින් ගෙන ඒම ද මෙහි අතුරුඵලයන්ය. මේ නිසා පරිසරය නිවැරැදි කිරීම සඳහා වැය වන වියදම ද අති විශාලය.

කාබනික ගොවිතැන කළ නොහැකි යැයි පවසන ගොවීන්ගේ අදහස මින් වැඩි අස්වැන්නක් ගත නොහැකි බවය. මෙය සම්පූර්ණ අසත්‍යයක් වන අතර නොදැනුවත්කමින් කරන ලද ප්‍රකාශයන්ය. මේවා කළ යුත්තේ තාක්ෂණය යොදා ගෙනය. රසායනික ගොවිතැනේ දී ද නිවැරැදිව තාක්ෂණය යොදා නොගන්නේ නම් අස්වැන්න අඩු වේ. 1965 සිට 2020 තෙක් මෙරට තුළ පැවතියේ රසායනික කෘෂිකර්මයයි. එහෙත් එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් නොතිබුණේ යැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය. ආහාර අර්බුදය හෝ ආහාර හිඟය ඇති වන්නේ කාබනික කෘෂිකර්මාන්තය නිසා නොවේ. පිටරටින් ආනයනය කෙරෙන අමුද්‍රව්‍ය මත යැපෙන කෘෂිකර්මාන්තයක දී ආහාර අර්බුදයක් ඇති විය හැකිය. මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන අමුද්‍රව්‍යවලින් අපේම තාක්ෂණයෙන් ආහාර නිපදවිය හැකි තත්ත්වයකට පැමිණිය හැකි නම් තුන්වැනි ලෝක යුද්ධය ඇති වුව ද බිය විය යුතු නැත.

කාබනික කෘෂිකර්මාන්තයේ අස්වැන්න අඩු වීම වසර තිහකට වඩා පැරැණි කතාවකි. නූතන ලෝකයේ පවතින කාබනික කෘෂිකර්මාන්තයේ ඇති අමුද්‍රව්‍ය සහ පොහොර වර්ග රසායනික කෘෂිකර්මාන්තයටත් වඩා ප්‍රතිඵලදායකය. යුරෝපය, චීනය සහ ජපානය වැනි රටවල නිෂ්පාදනය කරනු ලබන ඇමැයිනෝ ඇසිඩ් වැනි විශේෂිත පොහොර මඟින් වැඩි අස්වැන්නක් ගත හැකිය. භෝගයක අස්වැන්න තීරණය වන්නේ භෝගයට ලැබෙන ශාක පෝෂක මතය. ශාක පෝෂක ලැබෙන වෙලාව සහ ලැබෙන ප්‍රමාණය මතය. එය රසායනිකවලින් හෝ කාබනිකවලින් දුන්න ද ගැටලුවක් නැත. භෝගයක වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් පෝෂක වර්ග 21ක් අවශ්‍ය බව සොයා ගෙන තිබේ. රසායනික කෘෂිකර්මාන්තයේ දී ලබා දෙන්නේ NPK නම් වර්ග තුන පමණි. එහෙත් කාබනික පොහොර මඟින් පෝෂක වර්ග 21ම ලැබේ. රසායනික කෘෂිකර්මාන්තයේ දී සපයා දෙන්නේ අස්වැන්න සඳහා පමණක් අවශ්‍ය වන මූලද්‍රව්‍ය තුන පමණි. ඵලයේ රස, පෝෂක තත්ත්වය හෝ ඖෂධ ප්‍රමාණය මෙහිදී සලකා නොබැලේ. එහෙත් කාබනික කෘෂිකර්මාන්තයේ දී මේ සියල්ලම සලකා බැලේ. ශාකවල ස්වාභාවික නිෂ්පාදනය කෙරෙන ඖෂධ වර්ග නිපදවා ගැනීමට නම් අනිවාර්යයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය කළ යුතුය.

වැඩි අස්වැන්නක්

මේ වන විට කාබනික කෘෂිකර්මයේ දී භාවිත වන නූතන පොහොර වර්ගවලින් රසායනික කෘෂිකර්මාන්තයට වඩා වැඩි අස්වැන්නක් සපයා ගත හැකි බව අන්තර්ජාතික පර්යේෂණ මඟින් සොයා ගෙන තිබේ. මෙවැනි තාක්ෂණ ඔස්සේ අප යා යුතුය. කාබනික පොහොරින් අස්වැන්න අඩු වේ යැයි පැවසීම ගොවි මහත්වරුන් බියට පත් කිරීමකි. ශ්‍රී ලංකාවේ ගොවි මහත්වරු නූගත් පිරිසක් නොවේ. යූරියා සහ ග්ලයිපොසේට් ඕනෑ යැයි ගොවීන් එළියට බස්සවා ගත්ත ද ඕනෑම ගොවි පොළකට ගොස් නිරීක්ෂණය කළ විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ඔවුන් විසින් තමන්ගේ පරිභෝජනය සඳහා වෙනම කාබනික පොහොරින් ගොවිතැනක් පවත්වා ගෙන යන ආකාරයය. ශ්‍රී ලංකාවේ වැඩිම පලා වර්ග නිෂ්පාදනය කෙරෙන දෙබරවැව පලා ගොවීන් ද එළවළුවලට ප්‍රසිද්ධ නුවරඑළිය ගොවීන් ඇතුළු සියලු ගොවි මහත්වරුන්ගේ ක්‍රියා පිළිවෙත එසේය.

රජය විසින් කාබනික කෘෂිකර්මාන්තය රැගෙන ඉදිරියට යන ලද්දේ මෙය කළ නොහැකි යැයි පවසන පිරිසක් සමඟිනි. රජයේ ඇතැම් විද්‍යාඥයන් විසින් සමාජ මාධ්‍ය තුළ ද මෙය කළ නොහැකි බව ප්‍රසිද්ධියේ පවසන ආකාරය දක්නට ලැබිණි. ඇතැම් ව්‍යාප්ති නිලධාරීහු ද මෙය කළ නොහැකි බව පවසමින් ගොවියන් පසුගාමී කළහ. මෙම කාබනික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රජය කළ යුත්තේ මෙය කළ හැකි යැයි දැඩි ආත්ම විශ්වාසයක් ඇති විද්‍යාඥයන් සහ ව්‍යාප්ති සේවකයන් යොදා ගැනීමය. යුද්ධයක් දිනා ගැනීමට නම් ඉදිරියට යා යුත්තේ නිර්භීත සෙබළු සමඟ මිස බියගුළු පසුගාමී සෙබළුන් සමඟ නොවේ. කෘෂිකර්මාන්තය කඩා නොවැටී අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට නම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ප්‍රධාන සම්පත් වන පස සහ ජලය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වා ගත යුතුය. කෘෂිකර්මාන්තයේ රඳා පැවැත්ම තීරණය වන්නේ මෙම සම්පත් දෙක මඟිනි. රසායනික ද්‍රව්‍යවලින් මෙම සම්පත් දෙකම විනාශ වේ. මේ නිසා පස සහ ජලය විනාශ කොට ගෙන යන කෘෂීකර්මාන්තයක දී කෙදිනක හෝ තිරසර කෘෂිකර්මාන්තයක් කළ හැකි නොවේ. තිරසර කෘෂිකර්මාන්තයක් කළ හැක්කේ කාබනික, පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින්, පරිසර හිතකාමී ක්‍රම වේද තුළින් කරනු ලබන වගා ක්‍රම උපයෝගි කර ගනිමින් පස සහ ජලය ආරක්ෂා කර ගෙන මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව ගිලිහී යෑමකට ඉඩ නොදෙන ක්‍රම වේදයකිනි.

චතුමී පිටිපන – දිනමිණ ඇසුරිනි

Recommended For You

About the Author: Thusal