දඹුල්ලට කලකට පසු එළවළු පොහොර තොගයක් ලැබිලා – රු. 1500 මිටය දැන් 8500යි !

කලකට පසුව  දඹුල්ල නගරයේ පෞද්ගලික වෙළඳසැලකට අද (28) දින පෙරවරුවේ එළවළු පොහොර තොගයක්  ලැබීමත් සමග එය මිලදී ගැනීම් සඳහා ගොවීන් විශාල වශයෙන් පැමිණ සිටියහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි මෙම  පෞද්ගලික  රසායනික ද්‍රව්‍ය පොහොර අලෙවි සැල ඉදිරිපිට අලුයම සිට ගොවීන් පැමිණ පෝලිම්වල සිට ඇත. එක ගොවියකුට එළවළු පොහොර කිලෝ 50කින් යුත් ඇසුරුම්  දෙක බැගින් ලබාදීමට එම පෞද්ගලික වෙළඳසැල් හිමියා පියවර ගෙන තිබිණි.

පසුගිය කාලයේ රුපියල් 1 500ක මුදලකට අලෙවි වූ එළවළු පොහොර මිටිය රුපියල් 8,500 ක මිලකට ලබා ගැනීමට හැකි වන බව ගොවීහූ පැවසූහ.

අළුයම් කාලයේ සිට පෝලිමේ සිට එළවළු පොහොර මිටි දෙකක් ලබා ගත් ගොවීන් කියා සිටියේ මෙම පොහොර  එලවළු  වගාවට යෙදවීම් සඳහා නොව මේ වන විට තමන්ගේ කුඹුරු වගාව විනාශ වී යන නිසා එළවළු පොහොර ගොයම් වගාවට යොදන බවය.

තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ තමන් පෝලිමේ සිට පැය ගණනාවක් සිටියද අවසානයේ දී පොහොර නොලැබුණු බවය.

වෙළඳසැල් හිමියන් කියා සිටියේ වසර  එකහමාරකට පමණ පසුව තම වෙළඳඳසැලට පොහොර  මිටි තුන්සීයක් ලැබුණු බවය. පැමිණ සිටි ගොවීන් අතරේ සමසේ අලෙවි කිරීම් සඳහා එක් ගොවියකුට පොහොර  මිටි දෙක බැගින් අලෙවි කිරීම්ට තීරණය කළ බව ද ඔහු කීවේය.

පොහොර  මිලදී ගැනීම සඳහා විශාල ගොවීන් පිරිසක් එක්රැස්වී සිටි අතර එම ස්ථානය දැඩි  කලබලකාරී තත්වයක්ද  දක්නට ලැබිණි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Recommended For You

About the Author: Thusal