‘පවුලේ වැරදි කළමනාකරණය ආර්ථික සුනාමියකට රටම තල්ලු කරනවා’

කොවිඩ් වසංගතය මධ්‍යයේ පෙර නොවූ විරූ මිල වැඩිවීම්, ගෑස් සහ ඉන්ධන හිඟය සහ භයානක ලෙස විදේශ සංචිත අඩුවීමේ තත්ත්වයකට මුහුණ දුන් ලොව එකම රට ශ්‍රී ලංකාවයිආසියානු කලාපයේ රටවල පවා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්, සෘජු විදේශ ආයෝජන සහ විදේශ සංචිත ධනාත්මක ලෙස වර්ධනයන් වාර්තා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (28) කිරුල්ලපන සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර වික්‍රමරත්න මහතා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා, වසර 17 කට පෙර 2004 දී සුනාමියෙන් විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් 35,000 කට අධික පිරිසක්  සිහිපත් කළේය.

මෙහිදී වැඩි දුරටත් කතා කළා මන්ත්‍රීවරයා,වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවන් විපතකට රට මුහුණ දීමට සිදුව ඇත්තේ පුද්ගල බද්ධ පාලනයකින් හෝ පවුලකට රට පාලනය කළ හැකි යැයි ඇති කළ මිථ්‍යාවේ ප්‍රතිඵලය හේතුවෙන් යැයි අවධාරණය කළේය.

එකී ප්‍රතිඵලයක් ලෙස මේවන විට ශ්‍රී ලාංකිකයන් පුද්ගලයෙකුට හැකියැයි තමන් විශ්වාස කළ ජනාධිපතිවරයා කියන පුද්ගලයා විසින් ඉදිරිපත් කරන විසඳුම් සොයමින් සිටින බවත්, එය බෙහෙවින් බලාපොරොත්තු සුන් කරවන අතර මේ නිසා රට අත්තනෝමතික ප්‍රතිපත්ති සහ පවුල් පාලනය හරහා ආර්ථික ව්‍යසනයකට ඇද වැටී ඇති බවහ් පැවසීය. සමාජයේ ගැටලු සංකීර්ණ වන අතර පහසු විසඳුම් තනි පුද්ගලයෙකුගෙන් බලා පොරොත්තු වීම අනුවන ක්‍රියාවකි.

වත්මන් රටේ අවශ්‍යතාවය වී ඇත්තේ රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ඔප්පු කළ අවංක කණ්ඩායමක සහායක් ඇති බුද්ධිමත් නායකයකු තෝරා ගැනීමය. එවන් පුද්ගලයන්ගේ ඉතිහාසය හා ප්‍රතිපත්ති  විනා පෞද්ගලිකත්වය රටකට හිත කරන්නේ නැත. රට ජාතිය ආර්ථිකව මෙහෙයවීමට පුද්ගලයන්ට  ඇති හැකියාව පිළිබඳ ජනතාව මිථ්‍යා විශ්වාසය තැබූ නිසා රට අවුල් සහගත  වී ඇත්තේ ඒකාධිපති හා පවුල් පාලනයක් ආරම්භ කරමිනි. මේ තුළ තම අදහස් බොහෝ විට නොසලකා හරින බැවින් ඉහළ නිලධාරීන් තීරණ ගැනීමේ වගකීමක් නොගනී.

මේ පවුල් පාලනයේ අහිතකර බලපෑම් නිසා රජයේ ඉහළ නිලධාරීන් පවසන්නේ තමන් එවැනි සාකච්ඡාවලට පැමිණ සිටියද තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොවූ බවයි. අමාත්‍ය මණ්ඩල තීරණ කැබිනට් ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියට පත් කළද තමන් එවන් කැබිනට් තීරණ පිළිබඳව දැනුවත්ව නොසිටි බව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු පවා ප්‍රකාශ කරන තත්ත්වයට රාජ්‍ය පාලනය පවුල් පාලනයකට සීමාවී ඇත. රටේ තීන්දු තීරණ ගනු ලබන්නේ එක්තරා කණ්ඩායමක් විසින් බවත්, ඇමතිවරු නිකම් බලා සිටින්නන් බවට පත්ව ඇති බවත් මෙයින් ඔප්පුවේ.

රසායනික පොහොර ආනයනය නොකිරීමට ගත් තීරණය හේතුවෙන් සාගතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් කළ කෘෂිකර්ම විද්‍යාඥයෙකු වන කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධූරයෙන් පසුගියදා හිටි හැටියේ ඉවත් කරන ලදී. ඒ විෂය නොදන්නා පුද්ගලයන් විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වැරදි උපදෙස් සහ දිරච්ච ලණුවක් නිසා බව ලේකම්වරයා පෙන්වා දී තිබිණි. පුද්ගලයෙකුට හෝ පවුලකට රට දියුණු කළ හැකි බවට මිත්‍යාව සහ බොරුව ප්‍රවර්ධනය කිරීම මත ජනතාව එය විශ්වාස කිරීම හේතුවෙන් රට මෙසේ අගාධයට ඇද වැටී ඇතැයි මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

රටම ගිලගෙන ඇති දූෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ නොදුටු ගුවන් යානා සහ නොපෙණුනු පොහොර සඳහා ඩොලර් මිලියන ගණන් ගෙවා ජනතා මුදල් නාස්ති කර ඇති බවයි. කොරෝනාවෙන් ලොව සියලු රටවල් විපතට පත්වූ වද ශ්‍රී ලංකාව තරම් කිසිදූ රටක් ආර්ථිකව දුර්වල වූයේ නැත. කෙටි කලක් තුළ උද්දමනය 10 %  ඉක්මවී දෙගුණයකටත් වඩා වැඩි විය. අපනයන ආදායම, සෘජු විදේශ ආයෝජන මෙන්ම විදේශ ප්‍රේෂණ රට තුළට ගලා ඒම පහත වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි. මේවා කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා යන සත්‍ය වසන් කිරීමට රජය නිරතුරුව කටයුතු කරන්නේය.

2004 සුනාමියට මේ රටේ ජනතාව ගසාගෙන ගියා සේ ආර්ථික සුනාමියටත් මේ රටේ ජනතාව ගසාගෙන යනවා යැයි වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මහ බැංකුව විසින් පවත්වාගෙන යන විනිමය අනුපාතිකයේ අතාර්කික කළමනාකරණය ගැන ප්‍රකාශ කළ ඉරාන් වික්‍රමරත්න මහතා වෙළඳපොලේ ඩොලරය රුපියල් 250 ඉක්මවන විට, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඩොලර් ප්‍රේෂණ ඩොලරයක රුපියල් 200 බැගින් බැංකුවලට හරවන ලෙසට බල කරන බව චෝදනා කළේය. රුපියලට වැඩි වටිනාකමක් දී කෘතිමව පවත්වාගෙන යැමේ අවාසියෙන් බේරීමට  අපනයනකරුවන් තම මිල ගණන් වඩිකර පෙන්වමින් රට තුළට ඩොලරය ගෙන ඒම වැලැක්වීමට වක්‍ර ආකාරයෙන් කටයුතු කරන්නේ රජය ඩොලරයට නියම අගය නොදීම හේතුවෙනි.

විදේශ සංචිතය අනතුරුදායක ලෙස පහළ මට්ටම් කරා ඇද වැටී ඇත්තේ දුර්වල විනිමය අනුපාතික කළමනාකරණය නිසා බව රජය තේරුම් ගත යුතුයි. එයට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ට්‍රිලියන 1.5 කට අධික මුදල් මුද්‍රණය කිරීමෙන් කෙටි කාලයක් තුළ උද්ධමනය ඉලක්කම් දෙකට තල්ලු කිරීමට ප්‍රධාන සාධකය වී ඇත. 2014-2019 හි 3.5% ක සාමාන්‍ය උද්ධමන අනුපාතය 2019-2021 දී 10% ට වැඩි සාමාන්‍ය උද්ධමන අනුපාතයක් දක්වා ඉහළ ගොස් ඇත. නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය 11% ඉක්මවා ඇත.

Recommended For You

About the Author: Thusal