සාගතයට තිරසර විසඳුම් දෙන සෝජාන් වගා ව්‍යාපෘති

සෝජාන් වගා ක්‍රමය යනු ඉන්දුනිසියාවේ ජනතාව විසින් භාවිත කරන සාම්ප්‍රධායික වගා ක්‍රමයකි. විශේෂයෙන් වගා කළ නොහැකි ඉඩම් ආහාර බෝග වගාව සඳහා යොදා ගැනීමට මෙම සෝජාන් ක්‍රමය උපයෝගී කර ගනී.

වගා කළ නොහැකි ඉඩම් වශයෙන් සැලකෙන්නේ හේතු කිහිපයක් නිසාවෙනි. ගංවතුරට ලක් වීමෙන් ජලය බැස නොයාම නිසා වගාවට සුදුසු නොවීම මෙන්ම වගුරු බිම් හා අධික ලවණතාවයෙන් යුත් ඉඩම් වගාවට යොදා ගැනීමට හැකියාවක් නොතිබීම නිසා බොහෝ විට ඒවා පුරන් ඉඩම් බවට පත් වෙයි.

අපේ රටේ වගා කළ නොහැකි හා වගා නොකර පුරන්වීමට ඉඩ හැර ඇති කුඹුරු ප්‍රමාණය දෙස බලන විට භූමි පරිහරණයට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. මෙරට ඉඩම් පරිහරණ රටාවේ මෑත කාලීන ප්‍රවණතාවන් දෙස බලන විට බස්නාහිර පළාතේ කුඹුරු බිම් වීශාල ප්‍රමාණයක් වී වගාව සඳහා යොදා නොගැනීම කැපී පෙණෙන කරුණකි. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව 2018 වර්ෂය වන විට මුළු දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර් 40,356 ක් පුරන්වීමට අත්හැර දමා තිබේ. මෙම ඉඩම්වලින් බහුතරයක් ජලය විධිමත් පරිදි බැහැර නොවීම, මෙන්ම මිනිස් ශ්‍රමය සොයා ගැනීමේ අපහසුතාව, හා වියදමට සරිලන අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙනෙන කරුණකි.

බස්නාහිර පළාතේ බොහෝ පුරන් කුඹුරු ඉඩම්වල අයිතිකාරයින් වන්නේ පාරම්පරිකව යම් ධනයක් උපයාගෙන ඇති පවුල්ය. එම පවුල්වල බොහෝ දෙනෙක් රට අතහැර ගොස් වෙනත් රටවල ජීවත් වන අතර එම රටවල විවිධ රැකියාවල ද නියුතු වෙති. මේ නිසා බස්නාහිර පළාතේ පුරන් කුඹුරු ප්‍රමාණය සෙසු පළාත් හා සසඳන කළ ඉහළ අගයක් ගන්නා බව පැහැදිලිය.

බස්නාහිර පළාතේ පමණක් කුඹුරු ඉඩම් හෙක්ටයාර 12,000 වගාවෙන් පුරන්වීම හේතුවෙන් එම ඉඩම්වල ඇකේෂියා, වල් ආතා, විවිධ පන්වර්ග මෙන්ම කිඹුලන් වැනි දරුණු සතුන් හා සර්පයින් ද නාගරිකව ඉහළ ගොස් තිබේ. එමෙන්ම මී ගහණය ඉහළ යාම නිසා ලෙප්ටොස්පයිරොසිස් වැනි මාරාන්තික රෝග තත්ත්වයන් ද ඉස්මතුව පවතී.

මේ නිසා දෙසැම්බර් මස 05 වන දිනට යෙදුනු ලෝක පාංශු දිනයට සමගාමිව පරිසර අමාත්‍යාංශයේ භුමි සම්පත් අංශයේ දායකත්වයෙන් හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කිරිබත්ගොඩ ඇවිදින මං තීරුව ආශ්‍රිතව සෝජාන් වගා ක්‍රමය උපයෝගී කර ගනිමින් අක්කර 04ක භූමි ප්‍රමාණයක් වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කරනු ලැබීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න හා ප්‍රසන්න රණවීර යන අමාත්‍යවරුන් ද සහභාගි වූහ.

ලෝක පාංශු දිනය

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලැබේ. මෙම දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට 2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේදී අනුමැතිය ලබාදී ඇත. එමෙන්ම මෙම දිනය සැමරීම 2013 දෙසැම්බර් මස පැවති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසීයේදී අනුමත කර ඇත. ඒ අනුව සෑම වසරකම විවිධ තේමා ඔස්සේ ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. 2021 වසරේ ලෝක පාංශු දින තේමාව වන්නේ “ලවණතාවය අඩු කිරීම තුළින් භූමි ඵලදායිතාවය ඉහළ නංවමු” (Halt soil salinization, boost soil productivity)යන්නයි.

2021 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුනු ලෝක පාංශු දිනයට සමගාමිව පරිසර අමාත්‍යාංශයේ භූමි සම්පත් අංශයේ වාර්ෂික ප්‍රතිපාදන මත ඉදිකරන ලද තිරසර භුමි කළමනාකරන ආදර්ශන ස්ථානයක් ජනගත කිරිමට තීරණය කරන ලදි.

සෝජාන් වගා ක්‍රමය

සෝජාන් වගාව යනු වගාව සඳහා යොදා නොගන්නා බිම්වල භූමි හායනය අවම කරමින් තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති සුරක්ෂිත කරමින් කෘෂි පලදායීතාව ඉහළ නැංවීමට ඉන්දුනීසියානු සාම්ප්‍රදායික පහත් බිම් කෘෂි බෝග රටාවකි. එම ක්‍රමය මෙරටදී අත් හදා බැලීම සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පරිසර අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

කාබනික ගොවිතැන

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිබත්ගොඩ ඇවිදින මං තීරුව ආශ්‍රිතව වසර 40 ක් පමණ වගා නොකළ තලවතුහේන්පිට උතුර කුඹුරු යායෙහි අක්කර 4ක භූමි භාගයක් යොදාගනිමින් මෙම සෝජාන් ආදර්ශන ස්ථානයක් ස්ථාපනය කිරිමට පියවර ගනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයන ලදි.

කිරිබත්ගොඩ සෝජාන් ව්‍යාපෘතිය මඟින් රජයේ කාබනික ගොවිතැන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා ප්‍රතිපාදන ද ලබාදෙන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විසිර ජල සම්පාදන පද්ධතිය එම ගොවීන් විසින් තම පෞද්ගලික වියදමින් ස්ථාපනය කර ගෙන ඇත.

අඩි දහයක් දොළහක් පමණ උසට පස් ගොඩ කර ජලයෙන් වගාවට හානි නොවන ලෙස කානු සකස් කර සෝජාන් ක්‍රමය යටතේ වගාවන් සිදු කරනු ලැබේ. මෙම වගා ක්‍රමය බැලූ බැල්මට ආකර්ෂණීය වගා ක්‍රමයකි. එසේ වුවද මෙම ගොවිතැන සඳහා යොමු කර ගනු ලබන්නේ නාගරිකව ජීවත්වන අර්ධ ගොවීන්ය. ඔවුන් ගොවිතැන් කටයුතු සිදු කරන්නේ තාවකාලික පදනමක් මතය. ජීවන වෘත්තිය වශයෙන් වෙනත් රැකියාවන්හි නිරත වන ඔවුහු විනෝදය සඳහා ගොවිතැන් කටයුතුවල නියැළෙති.

දැනට මෙම ඇවිදින මංතීරුව දෙපස වැවී ඇති ඇකේෂියා, වල් ආත්තා වැනි ශාක ඉවත් කර ඒ වෙනුවට ජල සංරක්ෂණය සඳහා දායක වන මී , කුඹුක් වැනි ශාක සිටුවීම ද සිදුකරනු ලැබිණි.

මිට අමතරව කැලණි ගඟ ඉවුරු සංරක්ෂණය සඳහා තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 10 ක් සඳහා මී හා කුඹුක් පැළ බෙදා දීම ද සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සහභාගි වෙමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සෝජාන් ව්‍යාපෘතිය සඳහා පරිසර ආමත්‍යාංශය විසින් වැය කළ රුපියල් ලක්ෂ 15ට අමතරව තවත් මුල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

විධිමත් මත්ස්‍ය වගාවක්

ලබන වසර තුළ අප රටට මුහුණ දීමට සිදුවෙතැයි උපකල්පනය කර ඇති සාගත තත්ත්වයට මුහුණ දීම සඳහා මෙවැනි සෝජාන් ව්‍යාපෘති ක්‍රමය උචිත වැඩ පිළිවෙළකි. වගා කළ නොහැකිව අත්හැර දමා ඇති බිම් සියල්ලම සෝජාන් ක්‍රමය යටතේ ආහාර භෝග වගාවට යොදා ගැනීමට පිළිවන.

එමෙන්ම මෙහි ඇති වැදගත් ම කාරණය නම්, වගාවන්ට අමතරව පස් වැටි අතර ජල පහර තුළ මත්ස්‍ය වගාව ද සාර්ථකව සිදු කළ හැකිය. ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර එම ජලයේ වගා කළ හැකි මත්ස්‍ය පැටවුන් ලබා ගෙන එම කටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

අපේ රටේ මත්ස්‍ය පරිභෝජනය ගත් විට තවමත් අවශ්‍ය පෝෂණ මට්ටම ළඟා කර ගත හැකි ප්‍රමාණයට මසුන් පරිභෝජනය කරන්නේ සීමිත පිරිසකි. ඊට හේතුව නම් අපේ රටේ මත්ස්‍ය වගාව විධිමත් පරිදි තවමත් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා සිදු නොකිරීමයි. ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට අවම වශයෙන් ග්‍රෑම් 200ක් වුවද ඇතැම් ප්‍ර දේශවල දිනකට මත්ස්‍ය ග්‍රෑම් 20ක්වත් පාරිභෝජනය නොකරයි.

සියලු ඉඩම් වගාවට

ලොව බොහෝ රටවල් ආහාර භෝග වගාවේ දී ආහාර බෝග වගා කරන අතරම මත්ස්‍ය වගාවට ද අවධානය යොමු කරති. විශේෂයෙන් වී වගාවේ දී එම ජලයෙන්ම මත්ස්‍ය වගාව ද සිදු කරති. එය ගොවි ජනතාවට අමතර ආදායමකි.

එමනිසා කිරිබත්ගොඩ සෝජාන් ව්‍යාපෘතිය තුළ ද මත්ස්‍ය වගාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කී අමාත්‍යවරයා රටක් සංවර්ධනය කිරීමට නම් කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පියවර ගත යුතුම බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සෝජාන් වගා ක්‍රමය හඳුන්වා දුන් විශේෂඥයින් සඳහා විශේෂ තිළිණ ප්‍රදානය කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමේ දී ඒ සඳහා කැප වී කටයුතු කළ කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මිය විසින් දක්වන ලද අප්‍රතිහත කැපවීම අමාත්‍යවරයා විසින් අගයනු ලැබීය.

මෙම වෙල් යායේ තවත් අක්කර කිහිපයක් ඉතිරි වී ඇති අතර එම ඉඩම් ද සෝජාන් ක්‍රමය යටතේ ආහාර භෝග වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසත් ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රට තුළ ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි නම් ඒ සඳහා මුහුණ දීමට කල් තියා සැලසුම් සැකසිය යුතුය. දැනට වගා කර ඇති ඉඩම් මෙන්ම වගාවට නොගෙන පුරන්වීමට ඉඩ හැර ඇති සියලු ඉඩම් වගා කිරීම සඳහා සෝජාන් ක්‍රමය ඉතාමත් උචිත ක්‍රමයකි.

එමනිසා පරිසර අමාත්‍යාංශය විසින් තවත් එවැනි ව්‍යාපෘති පහක් පමණ ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ධර්ම වන්නිනායක

Recommended For You

About the Author: Thusal