‘පොදු ස්ථාන කරා යාමේ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට කටයුතු සූදානම්‘

පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව කේතය (QR Code) සහ යෙදුම (App) ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ලබාදීමට සැලැසුම් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.

එන්නත්කරණය අනිවාර්ය කිරීමට හැකියාව නොමැති වුවද පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට හැකි බවත් ඒ සඳහා වන වැඩපිළිවෙල මේ අනුව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ලොව බොහෝ රටවල මෙම වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකව ඇතැයිද ජනතාව අවදානමින් බේරා ගැනීම සඳහා වන ඉතා ඉහළ සාධනීය තත්ත්වයන් මේ තුල පවතින්නේයැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් මේ වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් තුන හතරට ඇතුළත්ව ඇතැයිද මිලියන 43 ට වඩා මෙරටට එන්නත් ගෙන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් බූස්ටර් එන්නත ලබා දීම සඳහා අවශ්‍ය උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ සැවොම ලබා දෙන සහයෝගය අගය කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. බූස්ටර් එන්නත ප්‍රාදේශීය මට්ටමින් ලබාදීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉහළ කාර්යභාරයක් පැවරෙන්නේ යැයිද , ඒ සඳහා අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනය කරමින් ඉතා සාධනීය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Recommended For You

About the Author: Thusal