බෝංචි වගාවට වින කරන රෝග ගැන නිසි පරිදි දැනුවත් වෙමු

අධික වර්ෂා කාලයේ දී හැර අනෙක් සෑම වකවානුවකම පහසුවෙන් බෝංචි වගා කළ හැකිය. එහෙත් බෝංචි වගාව දැනට දසකයකට අධික කාලයක සිට කොළ කහ පැහැයට ගැනීමේ රෝගයකට ලක්ව ඇති බව පෙනේ. මේ නිසා ගොවීහු දැඩි ආර්ථික අපහසුවට පත්ව සිටිති. ගොවීන් මේ ගැන දැනීමක් නැතිව කටයුතු කරන බවක් ද පෙනේ.

බෝංචී වගාව දෙයාකාරයෙන් වගා කෙරේ. එක් ප්‍රභේදයක් නම් අඩි 04-05 පමණ උසට සිටුවන ඇපල වැනි ආධාර ලී කෝටු මත ඇදි වැල් මත කරල් හට ගැනීමට සැලැස්වීමය. මෙම බීජ ඇට කිලෝවක මිල රුපියල් 1800ක් 2000ක් පමණ වේ. අනෙක් ප්‍රභේද ගොවින් අතර ජනප්‍රිය වීමට හේතුව නම් අඩි 1–2ක් පමණ උසට වැඩි කරල් හට ගන්නා ගස් බෝංචිය. මෙයට ආධාරක කොටු අවශ්‍ය නොවීම නිසා ගොවීන් මෙය වගා කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ වගා වියදම අඩු වන නිසාය. මෙම බෝංචි අර්තාපල් වගා අතර වගා කිරීමට ඇති හැකියාව නිසා ඉන් අතිරේක ආදායමක් ගැනීමට ද පහසුවෙන් හැකියාවක් ලැබේ.

මෙයට අමතරව දින 75ක් පමණ කාලයක දී අස්වනු ගැනීමට හැකි වීම නිසා ද ගොවීන් බෝංචි වගාවට ප්‍රියතාවයක් දක්වයි. මෙසේ ගොවියාට ආර්ථික වාසි ගෙන දෙන බෝංචි වගාව විවිධ රෝගවලට ලක් වීම නිසා විවිධ පාඩු සිදු වේ. එනිසා මෙම රෝග හඳුනා ගැනීමට ගොවියන් දැනුවත් වීම කාලෝචිතය. එමඟින් රෝග පාලනය කර ගැනීමට හැකි වීමෙන් අත්විඳීමට සිදු වන පාඩුව අවම කර ගත හැකිය.

වර්ෂාව අධික සමයේ දී කොළ හා කරල්වල මළකඩ රෝගය වැලඳේ. මෙසේ මළකඩ පුල්ලි රෝගයට ලක් වුණු අස්වැන්න අලෙවි කිරීමට අපහසුය. මෙය අධික වැස්ස මත වැලඳෙන රෝගයකි. එනිසා වගා බිමට වැ‍ටෙන වැසි ජලය ඉක්මනින් බැස යන අන්දමට කානු පද්ධතියක් සැකසිය යුතුය. බෝංචි වගාවට මහත් ප්‍රසිද්ධියක් ඇති වැලිමඩ, බදුල්ල, බොරගස්, හෙවණකුඹුර, ගලහාගම, බණ්ඩාරවෙල, ඌවපරණගම, මස්පන්න, දිඹුලන හා බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් බලංගොඩ කලාපයේ ද දැනට දසකයකට අධික කාලයක සිට බෝංචි කොළ කහපාට වීමේ රෝගය ව්‍යාප්තව පවතී.

මෙම බෝංචි කොළ කහ පාට වීමේ රෝග ලක්ෂණ තුන් අකාරයකින් දැකිය හැකිය. කොළ කහපාට වීම පහළ සිට ඉහළට. මේ නිසා බෝංචි වැල දුර්වල වීම හෝ සහමුලින්ම මැරී යෑම ද දක්නට ලැබේ. මෙය වගාවේ කුමන අවස්ථාවක දී හෝ වැලදිය හැකිය. මෙම රෝගය පාංශු දියරයක් මත සිදු වන බව පර්යේෂණවල දී හඳුනාගෙන ඇත. මෙය තාව් සේරියම් ඔක්ෂිස් පොරම් රෝගය නමින් හඳුන්වයි. මෙය වගා භූමිය පුරාම පැතිරීමක් දක්නට ඇති අතර තෙතමනය වැඩි වීමත් සමඟම හානිය ද වැඩි වේ. මෙම දිලිරය මූල කේෂ තුළින් ගසට ඇතුළු වි වැලේ පටක කුණුවිමට සලස්වයි. මේ නිසා වැල දුර්වල වීම හෝ මැරී යෑම සිදු වේ. මින් අස්වැන්නට දැඩි බලපෑමක් වේ.

මෙම රෝගය වැලඳීමෙන් පසු මර්දනය කළ ද සාර්ථක ප්‍රතිඵල අත් කර ගත නොහැකිය. තයෝපි නෙට් මිතයිල් නමැති දිලිර නාශකය කුඩු ග්‍රෑම් 02ක් බෝංචි බිජ ඇට කිලෝ 01ට සිටුවිමට පෙරදින මිශ්‍ර කිරිම, හොඳින් දිරා ගිය කාබනික පොහොර යෙදීම තුළින් රෝගය වැලඳීම අවම කර ගත හැකිය. බීජ වගා කිරීමට සති දෙකකට පෙර වගා භුමියට අළු හුණු යෙදීම,ජලය හොදින් බැස යන අකාරයට බිම සැකසීමත් වැදගත්ය. ඉහත රෝග ලක්ෂණ දුටු වහාම ඉහත සඳහන් දිලීර නාශකය දියරයක් ලෙසට සකසා වැලේ මූල පද්ධතිය ආශ්‍රිතව පොළොව තෙත් වන අාකාරයට යෙදීමෙන් පාලනය කර ගත හැකිය.

බෝංචි වගාවට වැල‍ෙඳන අනෙක් රෝගය විචිත්‍ර කොළ කහ විමේ රෝගයයි. කොළ කහ මිශ්‍ර විචිත්‍රවත් විම නිසාම මේ නමින් හඳුන්වනු ලබයි. මෙම රෝගය නිසා අස්වැන්නෙන් 90%කට හානි සිදු කරයි.

බෝංචි මැස්සා විසින් යුෂ උරා බීම නිසා ද කොළ කහ පාටවේ. බෝංචි මැස්සා පාලනය කිරීම සහා “ඉමිඩා ක්ලෝ ප්‍රීඩ්“ කෘමිනාශකය ද කරල් විදින පණුවන් මර්දනය කිරීම සඳහා “කලෝතායිරිපෝස්“ අඩංගු කෘමිනාශක භාවිතයෙන් මෙය පාලනය කර ගත හැකිය.

තම ප්‍රදේශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක හෝ පළාතේ කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටින රෝග පිළිබද විශේෂ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් වගාවන්ට වැලදෙන රෝග හඳුනාගෙන අදාළ විසඳුම් ලබා ගත හැකිය. එමගින් ගොවියාගේ වගාව ආරක්ෂාවන අතර අතමිට ද සරු කර ගත හැකිය

(විශේෂ ස්තුතිය බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.පී. සෝමචන්ද්‍ර මහතාට)

සටහන සහ ඡායාරූපය  – කේ.ආර්. ආර්. රාජමන්ත්‍රී

දිනමිණ ඇසුරිනි

Recommended For You

About the Author: Thusal