මල් වගාවට සහ සත්ත්ව පාලනයට ‘නව අරුතක් දුන්‘ කෘෂි විද්‍යා සිසුවා

මේ වන විට මෙරට දේශීය කෘෂිකර්මාන්තයට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. බාල, තරුණ, මහලු සැවොම පාහේ කුමක් හෝ වගාවක් තම ගෙවත්තේ හෝ වගා කිරීමට පෙලඹී සිටීම සතුටුදායකය.

වැල්ලවාය, ඇල්ල පාර සවිජය මාවතේ පදිංචි ජී. තේනුක ගීකියනගේ පාසල් සිසුවා ද ස්ව කැමැත්තෙන්ම වගා බිමට පිවිස තිබේ. වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වන ඔහු සත්ත්ව පාලනය මෙන්ම මල් වගාවටත් අනෙකුත් වගා කටයුතු සඳහාත් කුඩා කල සිටම නැඹුරු වී තිබේ. 

“අභිමානවත් තාරුණ්‍යයයක් – සෞභාග්‍යවත් හෙටක්” ජාතික වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබු සුහුරු ගෙවත්ත තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් තරගාවලියෙන් තේනුක ගීකියනගේ සිසුවාගේ සුහුරු ගෙවත්තට පළමු තැන හිමිව තිබේ. මේ වන විට ඔහු ජාතික තරගාවලියට ද සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලියේ දී වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති තරගාවලියේ දී මෙන්ම දිස්ත්‍රික් තරගාවලියේ දී ද ඔහු පළමු තැන හිමි කර ගත්තේය.

පාසල් වයසේ පසුවන බොහෝ තරුණයින් ජංගම දුරකතනයට ඇලී ගැලී සිටින වර්තමානයේ තේනුක බොහෝ දෙනකුට කදිම ආදර්ශයකි. ඔහු අපතේ යන සම්පූර්ණ කාලය තම අනාගතය වෙනුවෙන් ආයෝජනය කර ඇති ආකාරය හරිම අපූරුය.

මල් සහ අනෙකුත් වගාවන්ට ඔහුගේ ඇති රුචිකත්වය පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි,

“කොවිඩ් වසංගතයත් එක්ක පාසල්වල අධ්‍යපන කටයුතු සූම් තාක්ෂණයත් එක්ක සිදු වුණ නිසා ඒ කාලය මම මගේ ගෙවත්ත හදන වැඩේට යොදා ගත්තා. ඒ වගේම පාසල් ගිහින් ආවට පස්සෙත් පැය හතරක් පහක්ම මම වගාවත් එක්ක තමයි කටයුතු කරන්නේ. උදේ පාන්දර පැයක් එකහමාරක් විතර මල් වගාවේ නඩත්තු කටයුතු කරනවා. නිවාඩු දවසට වැඩි වෙලාවක් ඒ වෙනුවෙන් යොදවනවා. මේ වැඩවලට අම්මයි, තාත්තයි, අක්කයි මට උදව් කරනවා.

මම වගා කරන්න ආසයි. මල් පැළ හදන්න මුල ඉඳලම කැමැත්තක් තිබුණා. යෞවන සමාජයට එකතු වුණාට පස්සේ එතන ඉන්න නිලධාරීන් මට මේ වැඩේ පිළිවෙළකට කර ගෙන යන්න උපදෙස් වගේම මඟපෙන්වීම ලබා දුන්නා. මම විවිධ මල් වර්ග හදන්න පටන් ගත්තා. දැන් මගේ ළඟ ඕලු මල් වර්ග 25ක් විතර තිබෙනවා ඇන්තුරියම් වර්ගත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවාට අවශ්‍ය පොහොර හදාගන්නෙත් මමමයි. දියර පොහොරත් මමම හදා ගන්නවා සුදු ලූනු, බී ලූනු පොතු තම්බලා සකස් කර ගත් දියරවලින් මම කෘමි විකර්ෂකයක් හදා ගන්නවා. කෙසෙල් පොතු පල් කරලා හදාගත්ත පොටෑසියම් දියරයක් ඕලු හා ඇන්තුරියම්වලට දානවා. ඒ වගේම ගොම පොහොරවලින් දියර පොහොරක් හදාගෙන තියෙනවා.

ඒ වගේම මම සත්තු ඇති කරන්නත් ආසයි. මගේ ගෙවත්තේ ඉන්න කුකුළන්, හරක්, එළුවන් සහ තාරාවෝ මරන්න ගෙනියපු අය. හරක් පැටව් දෙන්නා මරන්න අර‍ගෙන යනකොට මම තාත්තාට කියලා ගමේ අයගෙනුත් සල්ලි එකතු කරගෙන රුපියල් 62,000ක් දිලා ගත්තේ. මේ ගෙදර ආරක්ෂාවට ඉන්න බල්ලොත් පාරේ දාලා ගියපු සත්තු.

මල්වගාව ව්‍යපාරයක් විදිහට කරන්න මුලදි නම් අදහසක් තිබුණේ නෑ. ඒත් පැළ වර්ග විශාල ප්‍රමාණයක් තියෙන නිසා මම ඒවා වෙන් කරලා අලෙවි කරන්න කටයුතු සුදානම් කරලා තියෙනවා. විශේයෙන්ම වෙළෙඳපොළේ තියෙන මිලට වඩා අඩු මුදලකට මම මගේ පැළ දෙනවා. ඒවා උසස් තත්වයේ පැළ. ඒ වගේම මගේ උපන්දිනයට පුංචි මට ෆ්ලෑෂ් කියන වර්ගයේ ඇන්තුරියම් පැළයක් ගෙනැල්ලා දුන්නා ඒ පැළය වෙළෙඳපොළේ රුපියල් 25000-45000ත් අතර මිලක්.

වගාව දියුණු කර ගන්න ඕනෑ. ඒ සඳහා ජීව වායු ඒකකයක් හදා ගන්න කවුරු හරි උදව් කරනවා නම් කිරි එළදෙනක් අරගෙන දෙන්න පුළුවන් නම් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හරිතාගාරයක් තියෙනව නම් මට ගොඩාක් වැදගත්. එතකොට මට බොහෝ දෙ‍ෙනකුට ප්‍රයෝජනවත් වෙන ආකාරයට මේ ව්‍යපාරය කරගෙන යන්න පුළුවන්. මගේ ඉදිරි බලාපොරෙත්තුව පැළ තවානක් විදියටත් ව්‍යපාරයක් විදියටත් පවත්වාගෙන යෑම.

හැමෝටම දෙයක් කරන්න පුළුවන් දැනුම ගන්න ඕනෑ තරම් තාක්ෂණික පහසුකම් අපේ රටේ තිබෙනවා. ඒවායින් හොඳ දේවල් අරගෙන අපිටම කියලා දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ අපතේ යන කාලය මේ වගේ ඵලදායි වැඩකට යොදවන්න පුළුවන් නම් ඒක මව්පියන්ටත් හයියක්. රටටත් සමාජයටත් යහපතක්.”

සටහන සහ ඡායාරූපය  – වැල්ලවාය ජී.අයි.ආර්. ගරුසිංහ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *