වසවිස නැති – යහගුණ පිරි ‘පොළොස් පානයක‘ රස බලමු ද ?

මම පොළොස්වලින් කිරිපිටි නිෂ්පාදනය කරනවා. ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දෙනවා නම් මේ රටේ අපතේ යන පොළොස්වලින් ඉතා පෝෂ්‍යදායි කිරිපිටි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම පොළොස් බිස්කට් නිෂ්පාදනය කරලා තිබෙනවා. අපි වගේ නව සොයා ගැනීම් සිදු කරන්නන්ට මඟපෙන්වන්න රජය මීට වඩා උනන්දු විය යුතුයි.

පෝෂ්‍යදායී ගුණයෙන් අනූන පොළොස් ආහාරයට ගැනීමට ලොකු කුඩා සෑම කෙනෙක්ම දක්වන්නේ දැඩි කැමැත්තක්. ගර්භණී කාන්තාවන්ට සහ කිරි දෙන මව්වරුන්ට පොළොස් ඇඹුල කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ. අපි හැමෝම අසා තිබෙන්නේ පොළොස් ආහාරයට ගත හැකි බව. එහෙත් පොළොස් පානයක් ලෙසත් ගත හැකි බව සොයා ගෙන තිබෙන්නේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ එස්.කේ.බී. ගමගේ මහතායි.

  • * පොළොස්වලින් ඔබ අමුතු දෙයක් කරන බව සැල වුණා. මොනවද ඔබ කරන්නේ?

රසායනික ද්‍රව්‍ය හෝ කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයකින් තොරව සෞඛ්‍ය සම්පන්න පානයක් මම පොළොස්වලින් නිෂ්පාදනය කරනවා. 

*පොළොස්වලින් කොහොම ද පානයක් හදන්නේ?

මුලින්ම සැකසුමට සුදුසු පොළොස් ⁣ගෙඩි සොයා ගෙන ඒවා ඉතා හොඳින් පිරිසුදු කිරීමට ලක් කරනවා. ඊට පස්සේ මේ ගෙඩිවලට ප්‍රතිකාර ක්‍රමයක් භාවිත කරනවා. එහෙම කරලා තම්බලා තමයි පානයට සුදුසු විදියට සකසා ගන්නේ. ඒකට කාලය සමඟ ගොඩක් පොරබදන්න ඕනෑ. විනාඩි 5ක් වත් ප්‍රමාද වුණොත් වැඩේ කරන්න හරි අමාරුයි.

*මීට අමතරව කරන වෙනත් නිෂ්පාදන මොනවා ද?

කටුපිල, පේර, පිපිඤ්ඤා පානයන්, පොළොස් යෝගට්, පානිය යෝගට්, පොළොස් කිරිපිටි, කුරහන් බීම ආදිය නිෂ්පාදනය කරනවා.

*මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහෙන් ද?

පොළොස් නම් මගේ නිෂ්පාදනාගාරය අවටින් සොයා ගන්නවා. මේවාට සැපයුම්කරුවන් සිටිනවා. කටුපිල, පිපිඤ්ඤා, කුරහන් තණමල්විල ප්‍රදේශයේ ගොවීන්ගෙන් සපයා ගන්නවා.

*ඔබගේ අලුත් නිෂ්පාදනවල ඉලක්කය කුමන වෙළෙඳපොළ ද?

මූලික වශයෙන් මම විදෙස් වෙළෙඳපළ තමයි ඉලක්ක කර ගත්තේ. දේශීය වෙළෙඳපළටත් අවශ්‍ය පරිදි සැපයුම් කරනවා

*පොළොස්වලින් කෑම හදනවා. එහෙත් බීම හදන්න ඔබ තීරණය කළේ ඇයි?

ඒක දිග කතාවක්. මගේ හොඳම මිතුරෙක් ඩෙංගු රෝගයට ගොදුරු වුණා. ඔහු මුලින්ම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා නතර වුණා. ඒත් කිසිදු ප්‍රතිකාරයක් ඔහුව නීරෝගි කරන්න සමත් වුණේ නෑ. අන්තිමට ඔහු රජයේ රෝහලකට මාරු කළා. ඔහුට හොඳටම අමාරු වුණා. ඔහුගේ ඥාතියෙක් හැමදාම මොනවදෝ දියරයක් ගෙනැත් ඔහුට දුන්නා. පසුව ඔහුගේ ප්ලේට්ලට්ස් ටිකෙන් ටික වැඩි වෙමින් සුව අතට හැරෙන්න පටන් ගත්තා. මම කල්පනා කළා කොහොමද ඔහු සුව වුණේ කියලා. අර ඥාති සහෝදරයාගෙන් ඇහුවා මොනවද බොන්න දුන්නේ කියලා. ඔහු කිව්වේ “පොළොස් ” කියලා. ඒ නිසා මම හිතුවා මෙය බිමක් විදියට සකසා ගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. මිතුරා සුවපත් වුණේ පොළොස් වතුරවලින් ද කියලා විද්‍යාත්මකව කියන්න මම දන්නේ නෑ. ඒත් සමාජයේ පොළොස්වලට තිබෙන වැදගත්කම මතක් වුණාම මේක පානයක් විදියට සකසා ගන්න පුළුවන් නම් විශාල ජයග්‍රහණයක් කියලා මම එදා හිතුවා. මේ සිතිවිල්ල මාස ගාණක් හි⁣තේ තිබුණෘ. ඒත් කොහොම ද පොළොස් බොන්නේ කියලා හිත ගොඩක් පසුබෑමට ලක් වුණා. ඒත් කොහොම හරි මේ අරමුණ ජයගන්න ඕනෑමයි කියලා මම හිතුවා. පස්සේ විවිධ අත්හදා බැලීම් කරලා බොන්න පුළුවන් බව හඳුනා ගත්තා. මේවා පිරිසුදු කිරීම හැර සියලුම කටයුතු යන්ත්‍රානුසාරයෙන් තමයි කරන්නේ. දැන් බෝතල් වගේම කෑන්වලින් ද නිෂ්පාදනය කරන්න කටයුතු සුදානම් කරලා තිබෙනවා. කිරි දෙන අම්මලාට, ගර්භණී මව්වරුන්ට, පිළිකා රෝගින්ට මේක ඉතාමත් පෝෂ්‍යදායී ආහාරයක් නිසා පානයක් ලෙස ජනප්‍රිය වුණා.

*මේ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මුලින්ම නම් ගොඩක් අය ඇහුවේ පිස්සුද කියලා..සමහරු ඔළුව හොඳ නැද්ද කියලා ඇහුවා. සමහරු විස්තර අහලා යන කම් ඉඳලා හිනා වුණා. දිරි දෙනවට වඩා උපහාස කරපු අය වැඩියි. ඒත් අසල්වාසී නිවෙස්වල හිටපු සහෝදරියන් මේ රස පිළිබඳව කරපු පරීක්ෂණවලට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් සහ කුඩා දරුවන් මේ පානයට ගොඩක් තැමතියි. ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුන් මේ සඳහා ඉතා කැමැත්තක් දක්වනවා.

*මේ විශේෂ පානයේ රස කොහොම ද?

රස වර්ග තුනක් තිබෙනවා. ඒ හැම එකක්ම ස්වාභාවික රසකාරක. ඉඟුරු, සුදු ලූනු, සියඹලා රසවලින් පොළොස් පානය රස විඳින්න පුළුවන්. සියඹලාවලට ලොකු ඉල්ලුමක් තිබෙනවා

*නිෂ්පාදන කටයුතු සඳහා ඔබ වටා සේවක පිරිසක් සිටිනවා ද? කවුද ඔබට මේ සඳහා උදවු කරන්නේ?

මේ වන විට සුළු සේවක පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම පවුලේ උදවිය, කහවත්ත ප්‍රාදේශීය ලේකම් තුමිය, සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමා, නිවිතිගල, කහවත්ත, ඕපනායක විදාතා නිලධාරීන්, නෙඩා සහ ශෙඩ් ආයතනයේ නිලධාරීන් වගේම කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් මේ වන විට මට සහයෝගය දෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් ස්තූති කරන්න ඕනෑ දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි හොරණ සම්පත් ජයවර්ධන සහ හරේන්ද්‍ර මහකුමාර. මගේ බිරිඳ ඇතුළු ගෙදර අයත් මට මේ සඳහා උදවු කරනවා. 

*මේ නිෂ්පාදන කටයුතුවලදී ඔබ මුහුණ දෙන ගැටලු මොනවා ද?

ඇත්තටම ගැටලු විදිහට තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඉතාම අල්ප වීම. අපි අපේ නිෂ්පාදන කටයුතු, වෙළෙඳපළ සොයා ගැනීම, අපනයන වෙළෙඳපළ වගේම ගැනුම්කරුවන් සොයා ගැනීම ආදි සියල්ලම තනිවම සිදු කර ගත යුතුයි. අද කිරිපිටි සම්බන්ධයෙන් ඉතා විශාල ගැටලු තිබෙනවා. මම පොළොස්වලින් කිරිපිටි නිෂ්පාදනය කරනවා. ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දෙනවා නම් මේ රටේ අපතේ යන පොළොස්වලින් ඉතා පෝෂ්‍යදායි කිරිපිටි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම පොළොස් බිස්කට් නිෂ්පාදනය කරලා තිබෙනවා. අපි වගේ නව සොයා ගැනීම් සිදු කරන්නන්ට මඟපෙන්වන්න රජය මීට වඩා උනන්දු විය යුතුයි. අඩුම ගණනේ විද්‍යාගාර පරීක්ෂණ කරලා ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව වාර්තා කඩිනමින් සහන මිලට කරලා දෙනවා නම් මීට වඩා ගොඩක් මේ රට දියුණු කරන්න පුළුවන් වගේම විදේශ විනිමය ⁣ ගේන්නත් පුළුවන්.

ගමගේ මහතාගෙන් කිසියම් උපදෙසක් ගැනීමට කැමති ඕනෑම කෙනකුට skdhelasara@gmail ඔහුගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකියි.

චතුමි පිටිපන – දිනමිණ ඇසුරිනි

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *