‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’ – මැලේරියා මර්දන ව්‍යාපාරය

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්‍යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය

  • විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි
  • මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි
  • මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන්

විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ මැලේරියාව පිළිබඳව ද අසන්නට ලැබේ. වාහකයෙකු මඟින් බෝ වන මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ ද නැවත මෙරටින් මැලේරියා රෝගීන් වාර්තා වෙමින් පවතී. 2007 වසරට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මැලේරියා රෝගීන් පිළිබඳව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සමඟ කළ සාකච්ජාවකි මේ.

මැලේරියා රෝගය යනු කුමක් ද? එහි රෝග ලක්ෂණ මොනවා ද?

මැලේරියාව කියලා කියන්නේ පරපෝෂිතයකුගෙන් බෝවෙන රෝගයක්. මේ රෝගය එක් අයකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන්නේ මදුරුවෙක් හරහායි. මෙහිදී ප්‍රාථමික මදුරුවන් හා ද්විතික මදුරුවන් කියලා කොට්ඨාස දෙකක් ඉන්නවා. ප්‍රාථමික මදුරුවන්ගේ ධාරිතාවය වැඩියි. ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 75ක් පමණ ඉන්නවා. නමුත් ඔවුන් ප්‍රාථමික මදුරුවන් තරම් දරුණු නෑ.

මේ රෝගයේ ලක්ෂණ විදියට වමනය, හිසරදය, ක්ලාන්තය, කැරකැවිල්ල සහ පණ නැති ගතිය පෙන්නුම් කරනවා. ඒ වගේම ඇඟපතේ තද වේදනාවකුත් දැනෙනවා. තමන්ගේ වැඩක් කරගන්න බැරි තරමට මිනිස්සු දුර්වල වෙනවා.

මැලේරියාව මාරාන්තික ද?

මැලේරියාව මාරාන්තිකයි. 1926 වර්ෂයේ දී මැලේරියාව ශ්‍රී ලංකාවට ඇවිත් 1952 දක්වාම රට පුරා පැතිරිලා තිබුණා. අද කොරෝනාවලින් මිනිස්සු මැරුණාට වඩා වැඩි ප්‍රමාණයක් එදා මැලේරියාව හින්දා මැරුණා. එක අවුරුද්දකට 80,000ක් විතරත් මැරුණා. 1952 වෙනකොට මරණ සංඛ්‍යාව 1000 දක්වා අඩු වුණා. ඒ කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්.

මැලේරියාව බෝවන්නේ කොහොම ද?

මැලේරියා පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළු වුණාම රුධිරය හරහා ඉතා ඉක්මනින් අක්මාවට යනවා. මේ පරපෝෂිතයාට අවුරුද්දක් වුණත් අක්මාවේ හැංගිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ කොයි මොහොතක හරි එළියට එනවා අපටත් නොදැනීම. ඊට පස්සෙ ලේවලට මිශ්‍ර වෙනවා. ඒ වෙලාවෙදී මදුරුවෙක් දෂ්ඨ කළොත් ඒ පරපෝෂිතයා මදුරුවාගේ ඇඟටත් යනවා. ඒ මදුරුවාගේ ඛේට ග්‍රන්ථි හරහා වෙනත් අයෙකුටත් සම්ප්‍රේෂණය විය හැකියි.

ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකයක් පිරිනමා තිබෙනවා. නමුත්, නැවතත් මැලේරියාව ගැන සමාජයේ කතා බහක් ඇති වෙලා. අපට නැවතත් මැලේරියාව ඒවිද?

මැලේරියාව ඕනෑම අවස්ථාවක ආපහු එන්න පුළුවන්. හේතුව මැලේරියාව බෝ කරන මදුරුවා අපේ රටේ හැම තැනකම වගේ ඉන්නවා. එතකොට මැලේරියාව තුරන් කළ රටක් කියන්නේ අපේ රට ඇතුළේ මැලේරියාව නෑ කියන එකයි. අපේ රටේ මිලියන විසි එකක් වන ජනගහනයේ කිසිම අයෙකුගේ ශරීරයේ මැලේරියා පරපෝෂිතයා නෑ. එය 2012 වෙනකම් නෑ කියලා සහතික වෙලා තියෙනවා. ඊට පස්සේ වසර තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිල්ලෙන් ඉඳලා 2016 තමයි තහවුරු කළේ මැලේරියාව සම්පූර්ණයෙන් තුරන් කළ රටක් කියලා. රට ඇතුලේ සම්ප්‍රේෂණය නැති වුණත් හැදෙන්නෙ නෑ කියලා නෙවෙයි.

ශ්‍රී ලංකාවේ අවසන් වතාවට මැලේරියා මරණයක් වාර්තා වූයේ කවදාද?

ශ්‍රී ලංකාවේ අන්තිම වරට මැලේරියා මරණය වාර්තා වූයේ 2007 දී. 2007 න් පසුව ශ්‍රී ලංකාවේ මැලේරියාව හින්දා මරණ සිදු වෙලා නෑ.

වැඩියෙන්ම මැලේරියා අවදානමට ලක්වන්නේ කවුරුන් ද?

අප්‍රිකාව වගේ මැලේරියාව තියෙන රටක අයගේ ඇ‍ඟේ ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ රටවල එය එතරම් ගණන් ගන්නේ නෑ. හරියට කැස්ස, හෙම්බිරිස්සාව වගේ. නමුත් අපේ රටවල මැලේරියාව නැති නිසා අපේ ශරීරය තුළ ප්‍රතිශක්තියක් නෑ. මොකද මේ පරම්පරාවට මැලේරියාව හැදිලා නෑ. ඒ නිසා දරුවකුට මැලේරියාව හැදුණොත් මාරාන්තිකයි. වයසක හා තරුණ වුණත් ඕනෑම අයෙක් මැලේරියාව නිසා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා මෙයට වයස් භේදයක් නෑ. සියලු දෙනාටම අවදානම තියෙනවා.

ලෝකයේ වෙනත් රටවල මේ වන විට මැලේරියා වසංගත තත්ත්වයේ පැතිරීම කෙසේ ද?

මැලේරියාව දකුණු ආසියානු කලාපයෙන් තුරන් කරලයි තියෙන්නේ. අපිට මැලේරියාව තුරන් කළ රටක් කියලා සහතිකය දෙන කොට චීනය වගේ රටවලුත් සහතිකය ඉල්ලුවා. චීනයට ඒ සහතිකය ලැබුණේ පසුගිය සැප්තැම්බර්වලයි. අනෙක් අය විභාගයට පාඩම් කරනකොට අපි විභාගය පාස් වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. වැඩිම මැලේරියා තර්ජනය තියෙන්නේ අප්‍රිකානු රටවලින්. සූඩාන්,කොංගෝ වැනි අප්‍රිකානු රටවල 50%ක්ම මැලේරියාව තියෙනවා.

ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් ඇති නවතම තොරතුරු මොනවාද?

පසුගිය 2021 වසරේ මැලේරියා රෝගීන් 26 දෙනෙක් වාර්තා වුණා. ඉන් 25 දෙනෙක්ම අප්‍රිකානු ආශ්‍රිතයන්. මේ වසරේ පළමු රෝගියා වාර්තා වුණේ පසුගිය 02 වැනිදා. හොයාගෙන ගියාම ඒ රෝගිය­ා බටහිර අප්‍රිකානු රටකින් ඇවිත් තියෙන්නේ. දෙසැම්බර් 22 තමයි ඇවිත් තියෙන්නේ. යාපනේ ගුරුනගර්වලින් හමු වුණේ. ඒ නිසා මැලේරියා මර්දන කටයුතු ඒ ප්‍රදේශයේ දැඩි කරලයි තියෙන්නේ. ඒ නිසා මේ වසරේ ප්‍රථම මැලේරියා රෝගියාත් යාපනෙන්.

ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ආරම්භය හා කාර්යභාරය කවරේද?

1911 වර්ෂයේ කුරුණෑගල තමයි ශ්‍රී ලංකාවේ පළමුවරට මැලේරියා මර්දනයට කාර්යාලයක් පිහිටුවා ගත්තේ. 1958 මැලේරියාව සම්බන්ධයෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක වුණා 1963 දී ලෙඩ්ඩු ගණන 11 දක්වා අඩු වුණා. ඊට පස්සේ ලෙඩේ නෑ කියලා සාමාන්‍ය විදිහට මිනිස්සු වැඩ කටයුතු කළා. ඊට පස්සෙ ආයෙමත් රෝගය පැතිරිලා ගියා. රෝගීන් ගණන ලක්ෂ පහක් වුණා. ලක්ෂ පහේ රෝගීන් ගණන ඍණ අගයක් ගන්න අවුරුදු 45ක් ගියා. ඒ නිසා ඩෙංගු වගේ නෙවෙයි, මැලේරියාව ආවොත් නවත්තන්න ලේසි නෑ. අපි මේ දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ මැලේරියා මර්දන ව්‍යාපාරයක් සිදු කරගෙන යනවා. විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඒ සඳහාම යැව්වා. දිස්ත්‍රික්කයේ සියලු වෛද්‍යවරු සමඟ සාකච්ඡා කළා. ඔවුන් දැනුවත් කළා. ඉස්සරහට මැලේරියාව ආවොත් මොකද කරන්නේ කියලා. මැලේරියාවෙන් කිසිම මරණයක් සිදු වෙන්න බෑ කියලා අපේ ව්‍යාපාරයේ නීතියක් තියෙනවා. ඒ නිසා අපි, මැලේරියා රෝගය වැලඳුන ලෙඩෙක් ආවොත් අනිවාර්යයෙන්ම උපරිම දේ සිදු කරනවා. හැබැයි මැරෙන්න දෙන්නේ නෑ.

ඒ වගේම “අවදානමට පෙර සූදානම” අපේ ව්‍යාපාරයේ සටන් පාඨයයි. යම් පුද්ගලයෙක් මැලේරියාව හදාගෙන ආවොත් මදුරුවාව සොයාගන්න කලින් අපි රෝගියාව සොයා ගන්නවා කියන එක අපේ ව්‍යාපාරයේ එක් උපක්‍රමයක්. කිසියම් රෝගියෙක් හිටියොත්, මීටර් 500ක් ඇතුළත සිටින සියලුම මිනිස්සු පරීක්ෂා කරනවා. අපේ මූලස්ථාන කාර්යාල 28ක් ශ්‍රී ලංකාව පුරා තියෙනවා. මෙවර අපි විශේෂ කැලැන්ඩරයක් හැදුවා. මිනිස්සුන්ට මැලේරියාව කියන එක අමතක වෙනවා. ඒ නිසා අපි මේ කැලැන්ඩ‍රයෙන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙය දුටු විගස සිහියට නැඟෙන්න අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වලට බෙදා හරිනවා. මේ වගේ දේවලින් පවා අප බලාපොරොත්තු වන්නේ මැලේරියා ලෙඩාව අල්ල ගන්නයි. ඒ වගේම වෛද්‍යවරයකු ළඟට ලෙඩෙක් ආවොත්, වෛද්‍යවරයාටත් ඒ ගැන විමසිලිමත් වෙන්න පුළුවන්. නැතිනම් ලෙඩාගේ අනෙක් සියලු පරීක්ෂණ කළත් මැලේරියාව ගැන පරීක්ෂණ කරන්නේ නෑ. පසුගිය අවුරුද්දේ මැලේරියා රෝගීන් හමුවුණේ 25 යි.

සාමාන්‍යයෙන් අපට වසරකට රෝගීන් 50ක් විතර මුණ ගැසෙනවා. රෝගීන් අඩු වුණා කියලා අපේ ව්‍යාපාරය දියත් කරන වැඩපිළිවෙල අඩු කරන්නේ නෑ. පසුගිය දෙසැම්බර් 16 වැනිදා අපට යාපනයෙන් මැලේරියා රෝගියෙක් හමු වුණා. අපි ඔහු දවස් තුනෙන් අල්ල ගත්තා. ඊට පස්සේ ඉක්මන් ප්‍රතිකාර කළා. ඔහු සනීප වුණා. දෙසැම්බර් 23 වැනිදා යාපනය තව කෙනෙක් හමු වුණා. මේ විදියට ලෙඩෙක් හමු වුණාම අපේ උපක්‍රමයක් තියෙනවා, පළමුවෙන්ම කරන දේ තමයි, ගෙදර ඇතුලේ හා වටේ මැලේරියා මදුරුවො ඉන්නවාද කියා සොයා බලා විනාශ කරන එක. මදුරුවාගෙ ඇඟේ රෝග වාහකයා තිබුණාම සුමාන දෙකක් ඇතුළත තවත් අයකුට බෝ වෙන්න පුළුවන්. අපි ළඟ විශේෂ මදුරු දැලක් තියෙනවා. ඒ දැලේ මදුරුවො වැහුවාම උන් මැරෙනවා. ඒක හැමෝටම දෙන්නෙ නෑ. අපි සන්තකයේ පමණයි තියෙන්නෙ. ඉතින් ඒකට රජයට ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත්, අවදානමක් තියෙන හැම ගෙදරකටම අපි එය ලබා දෙනවා.

වෙනත් රටවල සිට එන මඟීන්ගෙන් අපටත් මැලේරියාව බෝවිය හැකිද?

2012න් පසුව දේශීයව එක් රෝගියකු හෝ වාර්තා නොවීමෙන් මැලේරියා පරපෝෂිතයා ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් වී ඇති බව තහවුරු වෙනවා. නමුත්, මැලේරියා රෝගය බෝ කරන මදුරුවා තවමත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ නිසා පිටරටින් නැවත මේ පරපෝෂිතයා ශ්‍රී ලංකාවට පැමිණිය හොත්, නැවත වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා.

ශ්‍රී ලංකාවෙන් වසරකට මිලියනයක් පමණ ඉන්දියාවේ දඹදිව වන්දනාවට සහභාගි වෙනවා. කොරෝනා කාලපරිච්ඡේදය හැරුණාම 2019 දී එසේ ගිය අයගෙන් 29 දෙනකුටම මැලේරියාව වැලඳුන බවට වාර්තා වුණා. අප්‍රිකානු රටවලට වැඩිපුර ශ්‍රී ලාංකිකයෝ සංචාරය කරන්නේ නෑ. ඉන්දියාව, අප්‍රිකාව තරම්ම නැතත් ඉන්දියාව මැලේරියාව තුරන් කරලා නෑ. චීනය මීට මාස තුනකට පෙර මැලේරියාව තුරන් කළ රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ලබා ගත්තා.

මැලේරියාව ආවොත් නවත්වන්න ලේසි නෑ. එහෙම වුවොත් ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිද්ධ වෙනවා.

මැලේරියාව බලපාන්නේ මිනිස් ශරීරයේ කිනම් කොටසටද? ඉන් සිදුවන හානිය කවරාකරද?

මෙහෙමයි. “මොළයේ මැලේරියාව” කියලා රෝගයකුත් තියෙනවා. ඒකෙන් මොළයට බලපෑම් සිද්ධ වෙනවා. ප්ලීහාව ඉදිමෙන්න පුළුවන්. එයම මරණයට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම රුධිර පට්ටිකා අඩු වෙනවා. රුධිර ඝනත්වය අඩුවෙලා ගියොත් ලෙඩා රක්තහීනතාවයට පත්වෙනවා. මිනිස් ශරීරයේ ලේ අඩු වුණාම මිනිස්සු කම්මැළියන් බවට පත් වෙනවා. ඔවුන්ට වැඩ කරන්න ශක්තියක් නෑ. ඇඟ පත වේදනා දෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න පැන නඟිනවා. දරුණුම අවස්ථාවට පත් වුණාම මරණය සිදු වෙන්න පුළුවන්.

මැලේරියාව සුව කිරීමට අසීරු රෝගයක් ද?

නෑ. සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. හැබැයි, දරුණු අවස්ථාවට යන්න කලින් හඳුනා ගත යුතුයි. මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් නිසි ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.

මැලේරියාව වෙනුවෙන් ඖෂධ හෝ එන්නත්කරණයක් තිබේ ද? එය ශ්‍රී ලංකාවේ භාවිත කර තිබේද?

මැලේරියාවට ඖෂධ තියෙනවා. ඒවා ශ්‍රී ලංකාවේ ඒවා භාවිත කරනවා. මේවා ෆාමසිවලින් ගන්න බැහැ. මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ පමණයි තියෙන්නේ. ‍ෆාමසිවල තිබු‍ණොත් රෝගීන් ඒවා පාවිච්චි කිරීම හරියට සිදු කරන්නේ නෑ. බාගෙට ප්‍රතිකාර කළොත් නැවත මතුවෙන්න පුළුවන්. එය වසංගතයකට හේතු විය හැකියි. ඒ නිසයි නීතියක් වශයෙන් මැලේරියා ඖෂධ ෆාමසිවල තහනම් කරලා තියෙන්නේ.

මැලේරියා රෝගය වළක්වා ගත හැක්කේ කෙසේ ද? 

ප්‍රධාන වශයෙන්ම යම් අයෙක් මැලේරියාව ඇති රටක සංචාරය කරනවා නම්, ඒ සඳහා ඇති ඖෂධ සතියකට කලින් ගත යුතුයි. ඒ වගේම අදාළ රටේ සිටින තුරු සතිපතා ඖෂධය ලබා ගත යුතුයි. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවට ආ පසු ද සති හයක් නොකඩවාම ඖෂධ ලබාගත යුතුයි. එහෙම කළොත් මැලේරියාවට ඇති අවදානම අඩුයි. නමුත්, 100%ක් ම හැදෙන්නේ නෑ කියලා කියන්න බෑ. ඒ නිසා යම් අයෙක් පිටරටකට යනවා නම්, අනිවාර්යයෙන්ම මැලේරියා සඳහා අදාළ ඖෂධ ගත යුතුයි.

කිසියම් අයකුට මැලේරියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, කළ යුත්තේ කුමක්ද?

වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් වෛද්‍යවරයා හමුවිය යුතුයි. වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පරීක්ෂණ සිදු කරගන්නත් පුළුවන්. රට ගිහින් ආවාම හා උණ වැලඳී තිබීම පරීක්ෂණයට ප්‍රමාණවත්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ තමාට උණ වැලඳී ඇත්නම් හිත හිතා ඉන්න එපා. වෛද්‍යවරයා හමුවන්න. හමු වී තමා රට ගිහින් ආ බවත් පවසා සිටින්න. ඒ වගේම උණ වැලඳී ඇති රෝගියෙකුගෙන් වෛද්‍යවරයෙකු විමසිය යුතුම දෙයක් තමයි රට ගියා ද? කියන කාරණය. රට ගිහින් ආවා නම් අනිවාර්යයෙන්ම මැලේරියා පරීක්ෂණය සිදු කරගත යුතුයි. ඒ වගේම යම් අයෙක් මැලේරියාව ඇති රටකට ගිහින් ආවොත් වසර තුනක් යන තුරු කිසිවකුට ලේ දීමක් සිදු කරන්න බෑ. එය තහනම්. මොකද රුධිරය හරහා මැලේරියාව බෝවිය හැකි වීමයි. එය නීතියක්.

පුද්ගලික රෝහලකින් වුවද මැලේරියා රෝගියෙකු වාර්තා වුව හොත් අප වෙත දැන්විය යුතුයි. 0117626626 දුරකතන අංකය මැලේරියාව සම්බන්ධ ඕනෑම ගැටලුවකට විවෘතයි.

දිනමිණ ඇසුරිනි

Recommended For You

About the Author: Thusal