නිවුන් දරුවන් වසර දෙකක දී උපත ලබයි

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ උපත ලද සහෝදර නිවුන් දරුවෝ දෙදෙනෙක් අතිශය දුර්ලභ සිදුවීමකට මුහුණ පා සිටිති. ඔවුන් දෙදෙනාගේ උපන්දිනයන් වැටී ඇත්තේ වසර දෙකකට ය.

අල්ෆ්‍රෙදෝ අන්තෝනියෝ තෘහියෝ 2021 වසරේ, අලුත් අවුරුදු උදාවට පෙර දා සැඳෑවේ දී, එරට වේලාවෙන් පැය 23:45ට උපත ලැබීය.

ඔහුගේ සොහොයුරිය අයිලින් යොලන්ඩා තෘහියෝ උපන්නේ ඉන් මිනිත්තු 15කට පසු, 2022 ජනවාරි 1 වන දින නව අවුරුදු උදාවේ දී ය.

ඔවුන්ගේ මව වන ෆාතිමා මැඩ්රිගල්, ඇගේ නිවුන් දරුවන්ගේ උපන්දිනයන් වසර දෙකකට යෙදී තිබීම ඇයට “අදහාගත නොහැකි” බව ප්‍රකාශ කළා ය.

ප්‍රකාශයක් ලබා දෙමින් ඇය සඳහන් කළේ අලුත උපන් දියණිය නව වසර උදාවේ දී මෙළොවට බිහි වෙමින්, 2022 වසරේ එම රෝහලේ දී උපත ලැබූ පළමු දරුවා බවට පත්වීම නිසා තමන් “පුදුමයට හා සතුටට” පත් වූ බව යි.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව, එරට තුළ වසරක දී නිවුන් දරු උපත් 120,000ක් පමණ සිදුවන අතර, එය සියලුම උපත්වලින් 3%ක පමණ ප්‍රතිශතයක් ගනියි.

දරු උපත සිදුවූ සලීනස්හි නටිවිදාද් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඇස්තමේන්තුගත කරන්නේ වෙනස් වසරවලට නිවුන් දරුවන් ඉපදීමේ සම්භාවිතාව මිලියන දෙකකින් එකක් පමණ වන බව යි.

නටිවිදාද්හි වෛද්‍යවරයෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් තෘහියෝ උපත් හැඳින්වූයේ, “අනිවාර්යයෙන්ම මගේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන දරු ප්‍රසූතියක්” ලෙසිනි.

“මෙම කුඩා දරුවන්ට 2021 සහ 2022 දී ආරක්ෂිතව මෙලොව එළිය දකින්න උපකාර කරන්න හැකිවීම අතිශයින්ම සතුටට කරුණක්,” වෛද්‍ය අනා අබ්‍රිල් ආරියස් පැවසුවා ය.

පළමු දරුවා වන අල්ෆ්‍රෙදෝගේ බර රාත්තල් හයක් සහ අවුන්සයක් වූ අතර, ඔහුගේ කුඩා සොහොයුරිය වන අයිලින් රාත්තල් පහක් සහ අවුන්ස දහ හතරක බරකින් යුතුව උපත ලැබුවා ය. මෙම දෙදෙනා වැඩිමහල් සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලක අලුත්ම සාමාජිකයෝ වෙති.

bbc

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *