පෝර අර්බුද සත්‍යයේ විකෘතිය

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර

පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් නුදුරු අනාගතයේදී අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ අංශවලින් අදහස් ප්‍රකාශ වෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා 2021 දෙසැම්බර් 31 වැනිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා තිබුණේ දේශීය නිෂ්පාදනවල ප්‍රමාණය පිළිබඳව තමාට මනා වැටහීමක් ඇති බවයි. තමා සතු ඒ වැටහීම මත අනාගතයේදී රටේ ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වෙයි.

කාබනික පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මුල් අවධියේදී ඒ වෙනුවෙන් පෙනී සිටි සෑම අයකුගේම අදහස වූයේ සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජන සමාජයක් බිහි කිරීමට පරම පවිත්‍ර චේතනාවෙන් ඒ තීරණයට එළැඹි බවයි. ඒ සියලු දෙනා තම මතවාද සනාථ කිරීමට ඉදිරිපත් කළ ප්‍රධානතම හේතුව වූයේ වකුගඩු රෝගයයි. ලංකාවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩියෙන්ම භාවිත කරන්නේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික භාවිතය වකුගඩු රෝගය සමග ඍජු සම්බන්ධතාවයක් තිබේ නම් වකුගඩු රෝගීන් වැඩියෙන්ම සිටිය යුත්තේ නුවරඑළිය, ඌව පරණගම සහ වැලිමඩ යන ප්‍රදේශවලය. වැලිමඩ සහ ඌව පරණගම ජනතාව තම පානීය ජල අවශ්‍යතා සපුරාගන්නේ නුවරඑළියේ කෘෂිකාර්මික ඉඩම් අශ්‍රිත ජල මූලාශ්‍රවලිනි. 

ඒ නිසා වකුගඩු රෝගය සහ රසායනික පොහොර භාවිතය අතර ඍජු සම්බන්ධතාවක් තිබේ නම් වකුගඩු රෝගීන් විශාල පිරිසක් ඒ ප්‍රදේශවලින් හමුවිය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2017 දී ප්‍රකාශයට පත් කළ වාර්තා අනුව උතුරු මැද පළාත පුරාම වකුගඩු රෝගීහු සිටිති. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම සහ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ද වකුගඩු රෝගීහු සිටිති. එසේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ද බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණයේ සහ රිදීමාලියද්දේ ද මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය සහ මාතලේ දිස්ත්‍රික්කයේ විලගමුවේද වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව සහ වව්නියාව දකුණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද වකුගඩු රෝගීන් බහුලව හමුවන දැඩි අවදානම් ප්‍රදේශ වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2017 දී ප්‍රකාශයට පත් කළ ඒ වාර්තා අනුව මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් සිටින දැඩි අවදානම් කලාපය වන්නේ මාතලේ විල්ගමුව පමණකි. බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය සහ රිදීමාලිද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකද එවැනි අවදානම් කලාප වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ වැනි එළවළු වගා කරන ප්‍රදේශ ඒ දැඩි අවදානම් කලාප අතරට ඇතුළත් නොවෙයි. මුළු රටෙන්ම රසායනික පොහොර වැඩියෙන්ම භාවිත කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඒ දැඩි අවදානම් කලාප අතරට ඇතුළත් නොවෙයි.

මා මේ කියන්නේ මගේ හිතලු නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වාර්තාවල සඳහන් තොරතුරුය.
කාබනික පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදනය අඩු වීම සහ ඒවායේ මිල වැඩිවීමත් ඉහළ යන ඒ මිලට රසායනික පොහොර මිලදී ගැනීමට ලංකාවට නොහැකිවීමත් යන කරුණු මත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර පිළිබඳ උපදේශක මහාචාර්යවරයා වර්තමානයේ පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරන පරිදි කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ආහාර හිඟයක් ඇති නොවෙයි. සියලු දත්ත ඔහු සතුය. ඔහුට රට පුරා විසිරී සිටින අති විශාල නිලධාරි මණ්‍ඩලයක්ද සිටියි. ඒ නිසා ඔහුට ඉතා පහසුවෙන් මහ පොළොවේ තත්ත්වය විශ්ලේෂණය කළ හැකිය. මාස් පතා සති පතා සහ අවශ්‍ය නම් දිනපතා වුවද ඔහුට ප්‍රගති වාර්තා ලබාගත හැකිය. එසේ නම් වෙනත් පුද්ගලයන් කවර අනතුරු ඇඟවීම් කළත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු දත්ත මත පිහිටා ඉතා විශ්වාසයෙන් යුතුව ආහාර හිඟයක් ඇති නොවන බව පවසන්නේ නම් අනිසි බියක් ඇති කර ගත යුතු නොවේ. 

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වන වගකීම වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද තමන් වෙත පවතින බව ඔහු වටහාගෙන ඇතැයි මම සිතමි.

රටේ පුරවැසියකු ලෙසත් වී වගාව, බඩ ඉරිඟු වගාව, වියළි කලාපයේ හේන් වගාව සේම උඩරට එළවළු වගාව පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇති අයකු ලෙසත් වර්තමානයේ මහ පොළොවේ සිදුවන යථාර්ථය පිළිබඳව අවදියෙන් සිටින පුද්ගලයකු ලෙසත් මා අවබෝධ කරගෙන සිටින වැදගත් කරුණු කීපයක් තිබේ.

ඒ පසුගිය වසර දෙකේ යල සහ මහ කන්නවල වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණයත් ඉන් ලැබුණු වී අස්වැන්නත් ඒ වී අස්වැන්නෙන් ලද හාල් ප්‍රමාණයත් පිළිබඳ තොරතුරුය. වී හාල් බවට පත් කිරීමේදී සියයට 66 ක හාල් ප්‍රමාණයක් ලැබෙයි. එනම් වී කිලෝ 100 කින් ලැබෙන හාල් ප්‍රමාණය කිලෝ 66 කි. 2019/20 මහ සහ 2020 යල කන්න දෙකෙන් ලද මුළු වී අස්වැන්න මෙට්‍රික්ටොන් 48,16,336 කි.

හතළිස් අට ලක්ෂ දාසය දහස් තුන්සිය තිස් හයකි. ඉන් ලද හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,78,782 කි. (තිස් එක් ලක්ෂ හැත්තෑ අට දහස් හත්සිය අසූ දෙකකි. 2020/21 මහ සහ 2021 යල කන්නවලින් ලද මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 50,87,808 කි. ඉන් ලද හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,57,953 කි. මා ඒ සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තය.

ලංකාවේ මාසික හාල් පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. එනම් වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 කි. ඉහත සඳහන් කළ සංඛ්‍යා ලේඛන අනුව 2020 සහ 2021 යන වසර දෙකේදීම ලැබුණු හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ තිහ (30) ඉක්මවා තිබේ. ඉන් අනාවරණය වන්නේ වාර්ෂික අවශ්‍යතාවට වඩා වැඩියෙන් හාල් නිපදවා ඇති බවය.

රටේ වුවමනාවටත් වඩා හාල් නිෂ්පාදනය කළේ නම් 2020.සහ 2021 වසරවලදී හාල් මිල ශීඝ්‍රයෙන් පහත වැටිය යුතුය. එසේම හාල් ආනයනය කිරීමටද අවශ්‍ය නොවෙයි. 

එහෙත් සිදුවූයේ කුමක්දැයි මුළු රටම දනියි. 2021 දී හාල් අතිරික්තයත් තිබුණේ නම් මිල අඩු විය යුතුය. එහෙත් සිදු වූයේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමය. එසේම 2021 දී රටින් හාල් ආනයනයද කෙරිණි. එහෙයින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මම කිසිවක් නොකියමි. පසුගිය 2020 සහ 2021 වසර දෙකෙහි යල සහ මහ කන්නවල වී වගාව සඳහා රජයෙන් නොමිලේ රසායනික පොහොර ලබාදුන්නේය. එසේම වල් නාශක හා සියලු පළිබෝධ නාශක ද හිඟයකින් තොරව වෙළෙඳපොළෙහි පැවතුණු බව අප මෙහිදී අමතක නොකළ යුතුය.

කාබනික පොහොර ප්‍රතිපත්තියත් සමග මේ 2022 වසරේ මුල් භාගයේදී අස්වනු නෙළීමට නියමිත 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න කෙසේ විය හැකිද? පසුගිය මාස දෙක තුන අතර කාලයේදී ජන මාධ්‍ය මගින් හෙළිදරව් වූ තොරතුරුවලට අනුව මෙවර මාස් කන්නයේ වගා කර ඇත්තේ පසුගිය මහ කන්නයේ වගා කළාට වඩා අඩු කුඹුරු සංඛ්‍යාවකි. ඒ අඩුවීම සියයට 25 සිට සියයට 40 ක් දක්වා පරාසයක තිබිය හැකිය. මෙවර වගා නොකළ බිම් ප්‍රමාණය පසුගිය මාස් කන්නයට සාපේක්ෂව 20% කින් අඩුවී ඇතැයි අපි සිතමු. 2020/21 මහ කන්නයේදී වගා කර අස්වනු නෙළන ලද මුළු ශුද්ධ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6,81,985 කි. ඉන් 10% ක් අඩු කළ විට ලැබෙන සංඛ්‍යාව 5,45,785 කි. ඒ මේ 2021/22 මහ කන්නයේදී වගා කර ඇතැයි සැලකිය හැකි බිම් ප්‍රමාණයයි.

එසේම රසායනික පොහොර නොලැබීම රසායනික වල් නාශක සහ පළිබෝධ නාශක වැනි දේවල් වෙළෙඳ පොළේ සුලභ නොවීම සේම නිසි ප්‍රමිතියකින් යුතු කාබනික පොහොර නොලැබීම යන හේතු මත 2021/2022 මහ කන්නයේ ලැබෙන අස්වැන්න ද අඩුවෙයි. එසේ අඩුවන අස්වනු ප්‍රමාණය 30% සිට 50‌‌‌% අතර විය හැකි බවට මත පළවෙයි.  අපි එය 25% ක් වනු ඇතැයි උපකල්පනය කරමු. 2020/21 මහ කන්නයේදී ලද හෙක්ටයාරයකින් ලද සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 4.3 කි. ඉන් 25% ක් අඩු කළ විට ලැබෙන සංඛ්‍යාව මෙට්‍රික් ටොන් 3.2 කි. එසේ නම් අස්වනු නෙළිය හැකි මුළු බිම් ප්‍රමාණය වන හෙක්ටයාර් 5,45,785 න් ලැබිය හැකි මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 17,46.512 කි. ඉන් ලබාගත හැකි හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,52,697 කි.

2022 යල් කන්නයේදී කුමක් විය හැකි දැයි දැන් බලමු. සාමාන්‍ය තත්ත්වයන් යටතේ යල් කන්නයේදී හෙක්ටයාර ලක්ෂ හතරක පමණ වී වගා කරයි. 2020 යල් කන්නයේදී වගා කර ඇති අස්වැන්න නෙළන ලද මුළු ශුද්ධ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 4,03,366 කි. එළඹෙන යල් කන්නයට රසායනික පොහොර නොලැබීමට තිබෙන ඉඩ ඉහළය.  එසේම 2021 යල් කන්නය සඳහා ආනයනය කළ පොහොර කිසිවක් ඉතිරි වීද නැත.
වෙළෙඳ පොළේ වල් නාශක හා පළිබෝධ නාශක හිඟයක්ද පවතී. ඒ හේතු මත 2022 යල් කන්නයේ අස්වැන්න 50% සිට 60% අතර ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි පුරෝකතනය කළ හැකිය.

එසේම 2022 යල් කන්නයේදී වගා කරන ඉඩම් ප්‍රමාණයද 50% කින් පමණ අඩු විය හැකිය. වගා කරන බිම් ප්‍රමාණය 40% කින් අඩුවනු ඇතැයි සිතමු. එය එසේ වුවහොත් 2022 යල් කන්නයේදී වගා කෙරෙන්නේ හෙක්ටයාර් දෙලක්ෂ හතළිස් දහසකි. (2,40,000) ඉන් ලැබෙන අස්වැන්න 40% කින් අඩුවනු ඇතැයි සිතමු. එවිට හෙක්ටයාරයකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික්ටොන් 2.58 කි. එය වගා කළ මුල් බිම් ප්‍රමාණය වන හෙක්ටයාර් 2,40,000 කින් වැඩි කළ විට ලැබෙන පිළිතුර 6,19,200 යි.

එනම් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 6,19,200 කි. ඉන් ලබාගත හැකි හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,08,672 කි. 2021/22 මහ කන්නයේදී අපේක්ෂා කළ හැකි හාල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 11.52,697 ක් පමණ වනු ඇතැයි අපි ඉහත කීවෙමු. 2022 යල් කන්නයේදී ලැබෙන හාල් මෙට්‍රික් ටොන් 4,08,672 ඊට එකතු කළ විට 2022 දී යළ මහ කන්න දෙකේදීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි මුළු හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 15,61,369 කි.

රටට මාසයකට අවශ්‍ය හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බව ඉහත ද සඳහන් කළෙමු. ඒ අනුව වසරක හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 කි. එහෙත් 2022 යල මහ කන්න දෙකෙන්ම ලැබෙනට ඉඩ තිබෙන්නේ ලක්ෂ 16 කට අඩු හාල් ප්‍රමාණයකි. එය ප්‍රමාණවත් වන්නේ මාස අටකට අඩු කාලයකට පමණි.

ඒ නිසා 2022 වසර සඳහා තවත් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් පමණ අඩුවෙයි. අප එසේ පුරෝකථනය කරන්නේ වගා නොකරන ඉඩම් ප්‍රමාණය සහ අස්වැන්න අඩුවීම ඉතා  අවම මට්ටමක තබාය. එහෙත් වගා නොකරන ඉඩම් ප්‍රමාණය අඩුවීම සහ ලැබෙන අස්වැන්න අඩුවීම අප සිතනවාට වඩා විශාල වුවහොත් 2022 අවුරුද්දේදී රටේ ඇතිවිය හැකි හාල් හිඟය මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට වඩා වැඩි විය හැකිය.

2021/22 මාස් කන්නයේ අස්වනු වැඩිකර ගැනීමට දැන් කිසිවක් කළ නොහැකිය. එහෙත් මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන විග්‍රහ කර වැටෙන්නට නියමිත වළෙන් ගොඩ ඒම සඳහා 2022 යල් කන්නයේ අස්වැන්න වැඩි කර ගැනීමට යමක් කළ හැකිය. එය කළ හැක්කේ 2022 යල් කන්නයේදී හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 11 ක අස්වැන්නක් ලබාගැනීමට හැකි වන පරිදි වගා කරන කුඹුරු ප්‍රමාණය වැඩි කිරීමෙන් සහ ඉන් අපේක්ෂිත වී අස්වනු ප්‍රමාණය වැඩි කිරීමෙනි.

එසේ කළ හොත් 2022 දී හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 23 කට ආසන්න ප්‍රමාණයක් නිපදවා ගත හැකි වෙයි. එහෙත් ඔහේ බලාගෙන සිටීමෙන් ඒ ඉලක්කය සපුරාගත නොහැකිය. 2022 යල් කන්නයේදී සම්පූර්ණ කුඹුරු ප්‍රමාණය වගාකිරීමටත් වගා කරන ඒ කුඹුරුවලින් උපරිම අස්වැන්නක් ලබාගැනීමටත් කළ යුතු ගත යුතු ක්‍රියා මාර්ග රාශියකි.

කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙම්බත්ව සිටින ගොවීන්ගේ විශ්වාසය දිනා ගැනීම එහිදී ප්‍රමුඛ කාරණය වෙයි. එසේම හිඟයකින් තොරව රසායනික පොහොර ලබාගැනීමද අනිවාර්ය කාරණයකි.

පොහොර නොමිලේ දිය යුතුම නොවේ. සහන මිලකට එනම් රුපියල් 4000 සිට 5000 අතර ගණනකට පොහොර කිලෝ 50 ක මිටියක් ලබාදීම සුදුසුය. එසේම ප්‍රමිතියෙන් යුතු වල් නාශක සහ අනෙකුත් අත්‍යවශ්‍ය පළිබෝධනාශක වෙළෙඳ පොළෙහි සුලභ කළ යුතුය. නිසි කලට පොහොර ලබාදිය යුතුය. පොහොර ගෙන්වීම පෞද්ගලික සමාගම්වලට පමණක් පැවරීම නුසුදුසුය. රජය ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දී කටයුතු කළ යුතුය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2021 වසරේදී ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා දත්තවලට අනුව හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ නවයක (09) අතිරික්තයක් තිබියදී හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළ බව අමතක නොකළ යුතුය. එසේම 2022 මහ සහ යල් කන්නවලදී ගොවීන්ගේ අස්වැන්න අඩුවීම නිසා ගොවීන් තම පරිභෝජනය සඳහා සහ ආරක්ෂිත තොග ලෙස සැලකිය යුතු වී ප්‍රමාණයක් ගබඩා කරගත හැකිය. එය එසේ වුවහොත් ගොවීන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයම වෙළෙඳාපොළට නොපැමිණීමේ අවදානමක් පවතින බවද අවබෝධ කරගත යුතුය.

අවසාන වශයෙන් කිවයුත්තේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇති ඇතැම් විද්වතුන් ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවය. අර්බුදය ජය ගැනීම කළ යුතු සැබෑ ක්‍රියා මාර්ග ඉදිරිපත් නොකිරීම ඔවුන් තම වගකීම් පැහැර හැරීමකි.

රසායනික පොහොර නොමිලේ දුන් කාලවලදී ගොවීන් භාවිත කළ පොහොර ප්‍රමාණය 50% කින් පමණ අඩු කර ගත හැකි ප්‍රායෝගික ක්‍රමවේද පවතී. පළමුව කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීමේ වැදගත්කම පිළිබඳව ගොවීන් දැනුවත් කළ යුතුව තිබිණි. කාබනික හා රසායනික පොහොර මිශ්‍රව යෙදීමේ වැදගත්කම ගැන ගොවීන් දැනුවත් කිරීම පස් පරීක්ෂාවකින් පසුව භාවිත කළ යුතු පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම සහ පසේ PH අගය පාලනය කරගැනීම වැනි කරුණු කාරණා පිළිබඳව ගොවීන් දැනුවත් කරමින් ඔවුන්ගේ සහයෝගයද සහිතව කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට තිබූ අවස්ථාව හා හැකියාව සුණු විසුණු කිරීම ගොවි භාෂාවෙන්ම කිවහොත් හෙණ ගහන අපරාධයකි.

මේ රටේ ජීවත් වන ගොවි ජනතාව රට වැසියන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරමින් කළ මෙහෙවර අවතක්සේරු නොකළ යුතුය. ඒ සත් ක්‍රියාව තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස නොව මුළු රටටම බත බුලත සපයන වීරෝදාර මිනිසුන් ලෙස සැලකිය යුතුය. ඔවුන් අවතක්සේරු කර නිසි ගෞරවය ලබා දෙනවා වෙනුවට ඔවුන්ට නොසලකා හැරියහොත් ඔවුන් ගොවිතැනින් ඉවත් වනු නිසැකය.

සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත් – ලංකාදීප ඊ පුවත්පතින් කළ උපුටා ගැනීමකි

Recommended For You

About the Author: Thusal