‘භේදයක් නැතිව සියලු දෙනාටම එක සේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි‘

ජාති ආගම් උස් පහත් භේදය අනුව නීතිය  ක්‍රියාත්මක  වීමේදී යම් අසමානතා සිදුවන බව උදාහරණ සහිතව පෙන්වා දෙන මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය  පරදුව  ජිනරතන ස්වාමීන් වහන්සේ එසේ නොමැතිව සියලු දෙනාටම සමානව සලකන නීතියක් සකස් විය යුතු බව අවධාරණය කළහ.

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය දකුණු පළාතේ අදහස් විමසීම ඊයේ (22) දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණ අතර එහිදී අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ආගමික නියෝජිතයෝ සහ වතුකම්කරු පිරිස් ද සිය යෝජනා කාර්ය සාධක බලකායට ඉදිරිපත් කළ අතර ඇතැම් පිරිස්  ලිඛිත යෝජනා  භාර දුන්හ .

අතීතයේ දී ශ්‍රී ලංකාව එක නීතියක් ක්‍රියාත්මක වූ රටකි.  විවිධ ආක්‍රමණත් සමග එය වෙනස් විය. මේ තත්ත්වය වෙනස් කර  එක රටක, එක නීතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා  ගන්නා උත්සාහය ජිනරතන හිමියෝ ඇගයීමට ලක් කළහ.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශවයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක  බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළහ. 

අනතුරුව  නැගෙනහිර, ඌව  පළාත් වල මෙන්ම  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කාර්යාලයකින් දී ද දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් කාර්ය සාධක බලකාය හමුවේ  අදහස් පළ කළහ. දකුණු පළාතේ ජනතාවට අද දිනයේ දී ද තංගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තම අදහස් ඉදිරිපත් කළ හැක. 

Recommended For You

About the Author: Thusal