කාබනික ගොවිතැන ගැන ගොවියෙකුගේ හෘද සාක්ෂියට සවන් දෙන්න !

වර්තමාන ගොවි ජනතාව වගා කටයුතු කරන්නේ රටේ ජනතාවට ආහාර සපයා දීමේ මානුෂිකත්වයකින් නොවේ. එහෙත් ගොවීන් වගා කරන නිසා රටේ ජනතාවට අවශ්‍ය ආහාර ලැබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇරඹූ දින සිට සියල්ල සිදු කරනු ලබන්නේ ලාභය උදෙසාය. ලාභ නොලැබෙන්නේ නම් මව්පියන්ට සැලකීම ද අත්හැර දමයි.

සමාජයේ සියලු සම්බන්ධතා හා හිතවත්කම් පවතින්නේ ද ලාභය පදනම් කරගෙනය. ගොවිතැන රටේ ජනතාවට ආහාර සැපැයීමේ සේවාවක් වුව ද ලාභ නැත්නම් ගොවියා ගොවිතැන අත්හරී. එහෙත් ගොවිතැනින් පමණක් ජීවිකාව කරගෙන යන ගොවියාට ගොවිතැන් කිරිම හැර වෙනත් විකල්පයක් ද නැත.

අපේ වර්තමාන ගොවියා කරන්නේ වාණිජ ගොවි තැනකි. ලක්ෂයක් වියදම් කර ලක්ෂ දෙක තුනක් සෙවීම ඔහුගේ ඉලක්කයයි. ඒ සඳහා හයිබ්‍රිඩ් බීජ, කෘත්‍රිම පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය සාධක වේ. තමන් වස විස කනවාද, රටේ ජනතාවට වසවිස කවනවා ද පරිසරය විනාශ වෙනවා ද ඔහුට අදාළ නැත.

කෙසේ වුව ද කාලයක් තිස්සේ රටේ වර්ධනය වෙමින් පවතින වකුගඩු රෝග, පිළිකා රෝග, දියවැඩියා තත්ත්වයන් සැලකිල්ලට ගත් අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් සහ විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වයට හේතුව කෘත්‍රිම පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යවල ඇති විසකාරක ද්‍රව්‍ය ආහාරයට ඇතුළු වීම නිසා බවයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීම රජයේ වගකීමයි. ආණ්ඩුවට උපදෙස් දෙන උගතුන්, බුද්ධිමතුන් මෙන්ම විශේෂඥයන්ගේ උපදෙස් මත ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කෘත්‍රිම පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවා ඇත. රටේ ජනතාව වසවිස වලින් බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් ක්‍රියා කළ වත්මන් රජයට රටේ පූජක පක්ෂය සහ රටේ ප්‍රගතිශීලි ජනතාවගේ ආශිර්වාදය ලැබිණි.

කෙසේ හෝ තහනම් කළ කෘෂි රසායන ද්‍රව්‍ය හා පොහොර හොර පොළේ ඇත. ගොවීන් ඒවා මිල දී ගනී. මේ තත්ත්වය තුළ සිදුව ඇත්තේ ජාවාරම්කරුවන් ගොවීන් ගසා කෑමය. රජයේ තීන්දුව අනුව රටේ ගොවියෝ අන්දුන් කුන්දුන් වූහ. තමා හුරුපුරුදු ක්‍රමයට වී ගොවිතැන මෙන්ම අතිරේක භෝග වගා කර සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් කෘත්‍රිම පොහොර කෘෂි රසායන ඔවුන්ට අත්‍යාවශ්‍ය වේ. වෘත්තීය ගොවියා ජීවත් වීමට නම් වගා කළ යුතුය. ඒ සඳහා ඔවුන් කෘත්‍රිම පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය කොහෙන් හෝ ඕනෑම මුදලකට ගැනීමට සුදානම්ය. විශේෂයෙන් රු. 1500 වූ යුරියා 50 මිටියක් රු.10,000 කට පවා මිල දී ගන්නේ ඒ නිසාය. බොහෝ එළවළු වගාවන් කෘමිනාශක නැතිව පවත්වා ගත නොහැකිය. එම කෘෂිනාශක වර්ග පැවැති මිලට වඩා දෙතුන් ගුණයකින් ඉහළ දමා ඇත. මිල කුමක් වුව ද ගොවීන් ඒවා මිල දී ගෙන වගාවන් බේරා ගැනීමට කටයුතු කරයි.

රජයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ දී කාබනික කෘෂිකර්මය නඟසිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද වගාවක වල් විනාශ කිරීමේ ක්‍රම ඉදිරිපත් කර නැත. “ග්ලයිෆොසෙට්” භාවිත කරන ගොවියා පූර්ණ වල් මර්දනයේ දී රුපියල් දස දහසක ශ්‍රමයක් යෙදීම වෙනුවට රුපියල් පන්සියයකින් එය කර ගනී. ශ්‍රමිකයන් හිඟයත්, තම කාලය ඉතිරි කර ගැනීමටත්, වැඩි ලාභයක් ගැනීමටත්, ග්ලයිෆොසෙට් විශාල පිටිවහලක් වේ.

වී ගොවිතැනේ දී කුමන පොහොර වර්ගයක් යෙදුව ද නොයෙදුව ද වල් මර්දනය අනිවාර්යයෙන්ම කළ යුතුය. කුඹුරට බසිනවා ද නැද්ද යන දෙගිඩියාවෙන් සිටී වී ගොවියා මේ වන විට කුඹුරු මඩකර වී වපුරා ඇත. පොහොරවලට කලින් වල් මර්දනය කළ යුතුය. එදා රු.1800ට ගත් “සෙපිට්” ලීටරයක් අද රු. 6500 කට මිලට ගනී. රජයෙන් දෙන කාබනික පොහොර තවමත් ලැබි නැත. කෘත්‍රිම පොහොර ගැන දැඩි ලෙස විශ්වාසයේ සිටින ගොවියා කෘත්‍රිම පොහොර කුමන මුදලකට හෝ ගැනීමට සුදානම්ය.

ඒ.ඩි. ගුණසේන – D 1-5 බෙදුම් ඇළ ගොවි සංවිධානය – හල්මිල්ලකැටිය තුංකම

Recommended For You

About the Author: Thusal