වී කිලෝවක් රු. 75කට මිලදී ගන්නවා – වගා හානිවලටත් වන්දි දෙනවා – කෘෂිකර්ම ඇමැති

පෞද්ගලික අංශය සමඟ වී අලෙවි මණ්ඩලය තරඟකාරී ලෙස වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද, ඒ අනූව අද (25) සිට වී අලෙවි මණ්ඩලය රුපියල් 75කට වී කිලෝවක් මිලදී ගන්නා බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස රුපියල් 75 කට වී මිලදීගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් කිසිසේත් කලබල නොවිය යුතු බවත් සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයාමේ බව පැවසුවේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

රජය පිටරටින් සහල් ආනයනයට තීන්දු කර ඇති බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වී මෝල් මාෆියාව විසින් පසුගිය කාලයේ ඉතා අසාධාරණ ලෙස වී මිල රුපියල් 150ට 200ට නැංවූ බැවින් වී මිල පාලනය කිරීමට නම් එක් පැත්තකින් රජය සතුව වී සංචිතයක් තිබිය යුතු බවද, තවත් පැත්තකින් රටින් සහල් ගෙන්වා යම් ප්‍රමාණයක් තිබිය යුතු බවද පැවසුවේය.

කුමන දෙයක් කළ ද ගොවියාට වී විකිණීමේ දී අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද, එම නිසාම වී අලෙවි මණ්ඩලය මගින් තරඟකාරී ලෙස වී මිලදීගැනීම සඳහා අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

පිටරටින් සහල් ආනයනය කළද, වී මිල අඩු වුවද, මෙම සුවිශේෂී තීන්දුව අනූව වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වී ගොවියාගේ වී මිලදී ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී කාබනික වගාව හේතුවෙන් සිදුව ඇති වගා හානි ගැන අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ වගා හානියට පත් වී ගොවීන්ට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා රුපියල් බිලියන 40ක මුදලක් රජය වෙන් කර තිබේ. ගොවියාගේ නිෂ්පාදන පාඩුව සලකා බලමින් සෑම ගොවියකුටම මෙම වන්දිය ලබා දෙන බවත් කිසිම ගොවියකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොවීන් තම වගාවන් සඳහා කිනම් පොහොර භාවිතා කළද ඒ පිළිබඳව නොසලකා අදාළ සහනාධාරය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය

ගොවීන්ට තම වගාවන් සඳහා වන්දි ලබා ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත් කිසිදු ප්‍රාදේශීය දේශපාලන මැදිහත් වීමක් නොමැති බවත් කී අමාත්‍යවරයා, ගොවියාගේ නිෂ්පාදන පාඩුව පමණක් සලකා බලමින් මෙම වන්දි ලබා දීම සිදු වේ.මෙවර ගොවි ජනතාව 10,5,0000 ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් එම සියළුම ගොවීන්ට මෙම වන්දිය ලබා දෙන බවද කීය.

මෙම වන්දි ලබා දීමේදී වී ගොවීන් ප්‍රමුඛස්ථානය ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Recommended For You

About the Author: Thusal