Omicron රැල්ලක් අත ළගද ? ඔබ ආරක්ෂා වන්නේ කෙසේද ?

කොව්ඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සමග කොළඹ ඇතැම් පාසල්වල ශ්‍රේණිවලට හෝ පන්තිවලට පාසල් මට්ටමින් නිවාඩු ලබා දී තිබේ. පෞද්ගලික පාසල්වල ද මෙවැනිම තත්ත්වයක් උද්ගතව ඇත. පන්ති බොහෝමයක ළමුන් හෝ ගුරුවරුන් කොවිඩ් ආසාදිතයින්බවට පත්වීම ඊට හේතුව යි.

මෙම තත්ත්වය මත ඇතැම් පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු ද යළි ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආරම්භ කර තිබේ.

ළමුන් අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් ඇති අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇතැ යි රිජ්වේ ආර්යා ළමා රෝහලෙ ප්‍රකාශකයකු පැවසිය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුණු රෝගී දරුවන් 40 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේ ය. අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බව යි.

“අපි රෝගීන් පරීක්ෂා කරලා බලලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව නිවෙස්ගත ප්‍රතිකාරවලට යොමුකිරීමට හැකි රෝගීන් අපි ඒ නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරනවා,” ඔහු පැවසීය.

මේ වනවිට කොවිඩ් ආසාදිත එක් දරුවෙකු පමණක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

රටේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳව මජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අදහස් දක්වමින් පැවසුවේ රට ඉතාමත් ව්‍යසන තත්ත්වයකට ඉදිරි සති කිහිපය තුළදී මුහුණ දිය හැකි බවයි.

“මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ්-19 ආසාදිතයෝ විශාල වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන්ම වාර්තා වන රෝගීන්ගේ සුළු වැඩිවීමක් පෙන්නුවත් වාර්තා නොවන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කියලා අපිට බිම්මට්ටමේ පෙන්න තියෙනවා.”

“ඒ වගේම එන්නත් ලබා නොගත් සහ එන්නත් ප්‍රමාද කරන බොහෝ අය සඳහා රෝග ලක්ෂණ තීව‍්‍ර වන ආකාරයෙකුත් පෙන්න තියනවා. දිගින් දිගටම ඔමික්රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ එතරම් දුරට තීව්‍ර වෙන්නේ නෑ කියලා කිව්වත් මේ වන විට බොහෝ දෙනෙක් රෝහල් ගත වෙමින් ඉන්නවා ඒ වගේම යම් යම් රෝග ලක්ෂණ සහිතව රෝගීන් වාර්තා වෙනවා. ඒ නිසා අපි සියළුම ජනතාවගෙන් තමන්ගේ ජීවිත සහ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ වගකීම ඔබ සතුව තියෙන්නේ,” යනුවෙන් උපිල් රෝහණ පැවසිය.

“විශේෂයෙන්ම මේ දින වල පාසල් වල විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙනවා, සංවෘත පන්ති කාමර තියෙන පාසල් වල පාසල් දරුවන් පිළිබඳ සැලකිලිමත්වෙන්න. ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් පන්ති කාමරයක රැදිලා ඉන්න ඉඩකඩක ප්‍රමාණවත් නොවන ඉඩ කඩක රැදිලා ඉන්න දරුවන් සහිත පන්තිකාමර අතර විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තාවෙනවා. ආසදිතයකු වර්තා උනොත් විශාල පොකුරක් වාර්තා වෙනවා ඒ නිසා පාසල් දරුවෝ පිළිබඳ දෙමාපියන් සහ විශේෂයෙන්ම ආචාර්ය මණ්ඩලය අවධානයෙන් කටයුතු කරනවා නම් මේ තත්ත්වය යම් තරමකට වළක්වා ගන්න පුළුවන් වෙයි.”

ඔහු තවදුරත් පවසුඅවේ විවාහ මංගලෝත්සවය වගේම අනෙකුත් සමාජයේ ඒකරාශිවීම්, රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන යන මේ සියලුම ස්ථානවල දිගින් දිගටම රෝගීන් විශාල වශයෙන් වාර්තා වන බවත් එම නිසා අප වගකීමෙන් කටයුතු නොකළහොත් “ඉදිරි සති දෙකෙන් පස්සේ විශාල ව්‍යසනයකට විශාල රෝගීන් වැඩිවීමට රෝහල් පද්ධතියට සෞඛ්‍ය දරාගන්න බැරි තැනකට රට තල්ලු වෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටින්නේ, පසුගිය සතියක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් මෙන්ම, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් වන රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ඇති බව යි.

සෞඛ්‍ය අංශ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මහජනතාව ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ප්‍රවේසම් විය යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.

දෛනික ආසාදිතයින් ගණන 800 ඉක්මවයි

සති ගණනාවකට පසු පළමු වරට, පසුගිය දින පහ තුළ දෛනිකව වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 800 ඉක්මවා ගියේ ය. ඒ අනුව,

  • ජනවාරි 23- විදෙස්ගතව සිට පැමිණි අයෙකු ඇතුළුව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 838 යි
  • ජනවාරි 22- විදෙස්ගතව සිට පැමිණි සිව්දෙනෙකු ඇතුළුව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 යි
  • ජනවාරි 21- විදෙස්ගතව සිට පැමිණි සයදෙනෙකු ඇතුළුව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 840 යි
  • ජනවාරි 20- විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ඇතුළුව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 827 යි
  • ජනවාරි 19- විදෙස්ගතව සිට පැමිණි නවදෙනෙකු ඇතුළුව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 යි

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 601,886කි. සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 576,114කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනවාරි 23 වැනිදා තහවුරු කළ මරණ 15ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,299ක් විය. ආසාදිතයින් 10,473ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

ඔමික්‍රෝන් පෙරමුණට

සෞඛ්‍ය අංශවලට අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්ව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය සඳහන් කළේ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනුප්‍රභේද දෙකක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් ඇති බව යි. විශ්ලේෂණය කළ සාම්පල 78කින් 75ක් ඔමික්‍රෝන් ප්‍රභේදය බවට හඳුනාගැනීමත් සමග මෙම තත්ත්වය තහවුරු වී තිබේ.

විශ්ලේෂණයට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල 78න් මෙරට පැතිරගොස් තිබූ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනුණේ තිදෙනෙකුගෙන් පමණක් බව එම විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ය.

පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන ඇත්තේ ජනවාරි මුල් සති තුන ඇතුළත දී ය.

කොළඹ, අවිස්සාවේල්ල බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ ඔම්ක්‍රොන් BA.1 යන අනුප්‍රභේදය යි. BA.1 ආසාදනය වූ රෝගීන් 56ක් හඳුනාගෙන ඇත.

BA.2 අනුප්‍රභේදය අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, නුගේගොඩ ප්‍රදේශවලින් හමුවූ රෝගීන් 12කගෙන් සහ ඉන්දියාවේ සිට පැමිණි එක් මඟියෙකුගෙන් අනාවරණය වී තිබේ.

උණ තත්ත්වය නොසලකා හරින්න එපා!

මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියේ මේ වන විට කොවිඩ් රෝගය, ඩෙංගු සහ තවත් වෛරස් උණ රෝගයක් ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක පැතිර යමින් ඇති බව යි.

එබැවින් උණ රෝගය පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැ යි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු පවසා සිටියේ, ඇතැම් රෝගීන් ප්‍රමාද වී රෝහල් වෙත පැමිණෙන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බව යි.

“ඩෙංගු රෝගය වගේ තත්ත්වයක් ප්‍රමාද වී පැමිණියාම එහි විවිධ සංකූලතා පැමිණෙනවා. ඒ නිසා මේ දිනවල උණ තත්ත්වය නොසලකා හරින්න එපා. විශේෂයෙන්ම නගර ආශ්‍රිතව ඩෙංගු රෝගයත්, වෛරස් රෝගයත්, කොවිඩ්-19 රෝගය යන තුනම එක හා සමානව පැතිරෙන නිසා උණ රෝග තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න කියන පණිවිඩය ලබා දෙනවා,” මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

මහාචාර්ය ජයසුමන වෛද්‍යවරුන්ට උපදෙස් දී සිටියේ වේදනා නාශක ඖෂධ හිතුමතේ ලබාදීම ද භයානක බව යි.

“කුඩා ළමුන්ට වේදනා නාශක ඖෂධ සහ ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ ලබාදීමේ දී පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒවා දිනක්, දෙකක් ලබා ගත්තාට පස්සේ රෝගයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක නිසා සැබෑ රෝග තත්ත්වය හඳුනාගැනීමේ දී ප්‍රමාද වෙන්න පුළුවන් සහ සංකූලතා සඳහා එය මඟපෑදීමක් වෙනවා,” මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

ඔබ රෝගීයැ යි ඔබට සිතෙන්නේ නම්…

කොවිඩ්-19හි වඩාත් පොදු රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, උගුරේ අපහසුතාව, සහ හුස්ම ගැනීමේ අපහසුතාව වේ. සමහර පුද්ගලයින්ට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේ ද නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙසක්

ඔබට මෙම රෝග ලක්ෂණ තිබේ නම්,

  • වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න
  • හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන්කර ගන්න
  • නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබාගන්න
  • හැකි නම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය/නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න
  • නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න
  • ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදාගත යුතු ය
  • තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදාගන්න
  • කහින විට හෝ කිවිසුම් යවන විට වැළමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසාගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසළ බඳුනකට දමන්න
  • ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න
  • වඩාත්ම වැදගත් කරුණ නම්, ඔබ පසුගිය සති දෙක ඇතුළත පිටරටකට ගොස් පැමිණියේ නම් හෝ කොවිඩ් රෝග ආසාදිතයෙකු හෝ එසේ සැකකළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න

1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාගත හැකි ය.

ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

බූස්ටර් එන්නකරණය මන්දගාමී ද?

මහාචාර්ය ජයසුමන ප්‍රකාශ කළේ, එන්නත්කරණ වැඩ සටහන රට පුරාම ක්‍රියාත්මක කර ඇති බව යි. මේ වන විට ලක්ෂ 50කට ආසන්න සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

“මේ පැතිර යන, නැඟී එන කොවිඩ් රැල්ලෙන් වැළකෙන්න තියෙන හොඳම ක්‍රමය තමා බූස්ටර් එන්නත කඩිනමින් ලබාගැනීම. ඒක නිසා අපි ඉල්ලනවා සියලු දෙනාගෙන් මේ වෙනකොට කොවිඩ් රෝගය සඳහා බූස්ටර් එන්නත ලබාගෙන නැත්නම් එය හැකි ඉක්මනින්ම ලබා ගන්න. විනෝද ගමන් යන එක යි, සාප්පු සවාරි යන එකයි පොඩ්ඩක් දවසක් දෙකක්වත් පරක්කු කරලා මුලින් බූස්ටර් එන්නත ලබාගන්න,” රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “තාමත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා පළවෙනි මාත්‍රාව අරගෙන, දෙවැනි මාත්‍රාව ගන්නෙත් නැතිව ඒකත් මඟ හැරපු කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඔවුන් සමාජයට කරන්නේත් වැරැද්දක්, තමන්ට කරන්නෙත් වැරැද්දක්. ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න.”

කුමන්ත්‍රණයක් ද?

සංකූලතා ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ජයසුමන ප්‍රකාශ කළේ, “පළමු එන්නතෙන් ඇති නොවෙච්ච, දෙවන එන්නතෙන් ඇති නොවෙච්ච අමුතු ප්‍රශ්නයක් බූස්ටර් එන්නතෙන් ඇති වෙනවා කියලා කිසිම තැනකින් වාර්තා වෙලා නැහැ.”

රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙය සමාජ මාධ්‍ය මඟින් ඇතිකළ ව්‍යාජයක් බවත්, මෙය කුමන්ත්‍රණයක්දැ යි සොයා බැලිය යුතු බවත් ය.

“රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන විට, ආර්ථික තත්ත්වය යම් ආකාරයකට සංචාරකයින්ගේ පැමිණීමත් එක්ක ඉහළ නැඟගෙන එනකොට මේ තත්ත්වය කඩාකප්පල් කරන්න හිතාමතා කරන වැඩක්දැ යි සොයා බලන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබෙනවා,” මහාචාර්ය ජයසුමන පැවසුවේ ය.

බී.බී.සී සන්දේශය ඇසුරිනි

Recommended For You

About the Author: Thusal