ඉඟුරු වගාවෙන් ජීවිතය ජය ගත් දිරිය කත

වසර දෙකකට පමණ පෙර සිට ලොව රටවල් රැසක ව්‍යාප්තිය ඇරැඹි කොරෝනා උවදුර අප රට ද ආක්‍රමණය කිරීමත් සමඟ අප ඒ ගැන භීතියට පත්වූයේ එය අපට ඉතාම ආගන්තුක මෙන්ම මෙතෙක් දැන සිටි සියලු රෝගාබාධවලට වඩා එහි වූ බියකරු බව නිසාය. ඒ හේතුවෙන්ම කීප වරක්ම අප රට සම්පූර්ණයෙන් අගුළු දැමීමට රජය කටයුතු කිරීම නිසා අප වැඩි දෙනෙකුට සිදුවූයේ පාරටවත් නොබැස නිවෙස්වලට වී පරිස්සම් වීමටය. එහෙත් එසේ නිවෙස්වලට කොටුවීම තුළ ජීවිතය බේරාගැනීමට පමණක් නොව ජීවිතය ජයගැනීමට ද බොහෝ දෙනෙකුට හැකි වූයේ නොසිතූ ලෙසය. බදුල්ල කුට්ටියගොල්ල පාර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මංජුලා ප්‍රියදර්ශනී ද කොරෝනා නිසා නිවෙසට කොටුවීම තුළ ආරම්භ කළ නව ගමනකින් ජීවිතය ජය ගත් දිරිය කාන්තාවකි.

නිවෙසට වී සිටින අතරතුර යම් අමතර ආදායමක් උපයා ගැනීමේ මඟක් ලෙස ඉඟුරු පාත්ති කීපයක් ආරම්භ කළ ඇය අද ඉඟුරු ආශ්‍රිත නිෂ්පාදන කීපයක් වෙළෙඳපොළට සපයන නිෂ්පාදන කර්මාන්තයක හිමිකාරිනියකි. එසේම සෘජුව හා වක්‍රව පුද්ගලයින් රැසකට රැකියා අවස්ථා සපයා ඇති දක්ෂ ව්‍යවසායිකාවකි. ඇගේ තතාව මෙසේයි.

“මම කාලයක සිටම කටයුතු කළේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස. බදුල්ල නගරයේ මගේම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගියා. ඒ අතර පැමිණි කොරෝනා ව්‍යසනය නිසා අනෙක් හැමෝටම වගේ අපේ ක්ෂේත්‍රයටත් වැඩ අඩුවුණා. ඒ වගේම රට අගුළු දැමීම නිසා බොහෝ දවස් ගෙදරටවී සිටින්නට සිදුවුණා.

එසේ ගෙදරට වී සිටින කාලය යම් අමතර ආදායමක් ගන්න හිතාගෙන අපේ ගෙවත්ත එළිපෙහෙළි කර නොයෙක් දේ වගා කළා. ඉඟුරු පාත්ති කීපයකුත් දැම්මා. ඒ දවස්වල ඉඟුරුවලට විශාල ඉල්ලුමකුත් තිබුණා. ඉතින් අපේ ඉඟුරු වගාව හිතුවට වඩා සාර්ථක වුණා. ඒ නිසා අනෙක් වගා අත් ඇරලා බිම් ප්‍රමාණය වැඩි කරමින් දිගටම ඉඟුරු වගාව කර ගෙන ගියා. ටික කලක් යන විට ඉඟුරු අල ලෙස අලෙවි කර ගැනීමට නොහැකි තරමට අපේ අස්වැන්න වැඩි වුණා.

ඉතින් මම හිතුවා මෙයින් වෙනත් නිෂ්පාදනයක් කරන්න. ඒ නිසා මම මුලින්ම ඉඟුරු වියළා කුඩු කර පැකට් කර අලෙවි කළා. ඊට හොඳ ඉල්ලුමක් ලැබුණා. ඉන් පසුව විවිධ අත්හදා බැලීම් කරමින් තවත් නිෂ්පාදන කළා. ඉඟුරු කුඩුවලට අමතරව ඉඟුරු පේස්ට් එකක්, ඉඟුරු කොත්තමල්ලි මිශ්‍රණයක් සහ ඉඟුරු කොත්තමල්ලි සමඟ තේ මිශ්‍රණයක් වශයෙන් නිෂ්පාදන හතරක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්න මට පුළුවන් වුණා. ඊට අමතරව කහ කුඩුත් නිෂ්පාදනය කරනවා. ඒ ආකාරයෙන් මගේ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මගේ වගාවන් තුළින්ම සපයා ගැනීමට අසීරු නිසා ප්‍රදේශය තුළ හා ඉන් පිටත වගාකරුවන් විසිදෙනෙකුට පමණ ඉඟුරු බීජ අල සපයා දී ඔවුන්ගේ අස්වනු මම මිල දී ගන්නවා. බීජ අල නිපදවන්නේ හරිතාගාරයක් තුළ.

විශේෂත්වය වන්නේ මගේ ගෙවත්තේ ඉඟුරු වගාව, බීජ අල ලබා ගන්නා හරිතාගාර වගාව මෙන්ම මා ඉඟුරු ලබාගන්නා පිටස්තර වගාවන් ද කාබනික වගා වීමයි. රසායනික බෙහෙත් පොහොර කිසිවක් මගේ වගාවලට භාවිත කරන්නේ නෑ. එසේම මගේ නිෂ්පාදනවලටත් කිසිදු බාහිර රසකාරක වර්ණක හෝ අමතර කිසිවක් මුසු කරන්නේ නෑ. සියල්ල ස්වභාවික නිෂ්පාදන. මගේ නිෂ්පාදන මේ ආකාරයෙන් කර ගෙන යන අතර බදුල්ල ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය හා ඒ හරහා ICEI ආයතනය සමඟ සම්බන්ධ වීමෙන් එම ආයතන මඟින් මට අවශ්‍ය යන්ත්‍රෝපකරණ වගේම පුහුණු වැඩමුළු ආදිය තුළින් මගේ කර්මාන්තය දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම ද ලැබුණා. එතුළින් මට කිසිදා තනියෙන් කර ගත නොහැකි තරමට ඉදිරියට යන්න මට හැකියාව ලැබුණා.”

ආර්.එම්.විජේරත්න – දිනමිණ ඇසුරිනි

Recommended For You

About the Author: Thusal