සාරවත් ගම්මිරිස් වගාවක් සඳහා නිවැරදිම මග පෙන්වීමක්

කුළුබඩු ලොවේ රජු ලෙස හැඳින්වෙන ගම්මිරිස් භෝගයේ උප නිජබිමක් ලෙස ශ්‍රී ලංකාව ද සැලකේ. දිවයිනේ තෙත් හා අතරමැදි දේශගුණික කලාප ගම්මිරිස් වගාව උදෙසා වඩාත් යෝග්‍ය වේ. එහෙත් වාරි පහසුකම් යටතේ වියළි කලාපයේ ද වගා කිරීමට නිර්දේශිතය. මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක ප්‍රධාන වගා දිස්ත්‍රික්ක ලෙස කිව හැකිය.

මෙම කර්මාන්තයෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට නම් යහපත් කෘෂිකාර්මික හා නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගම්මිරිස් තනි වගාවක් හෝ අතුරු වගාවක් හෝ මිශ්‍ර වගාවක් ලෙස වගා කළ හැකිය. මේ නිසා මෙම භෝගය ද ගෙවතු වගාව සඳහා ආර්ථික භෝගයක් ලෙස සලකනු ලැබේ.

ගම්මිරිස් වැල් හා ආධාරක ශාක සිටුවීම

ආධාරකය ලෙස මීටර් 2.5ක් (අඩි 8) උස සෙ.මී .04ක විශ්කම්බයක් සහිත ග්ලිරිසීඩියා දඬු යොදා ගත හැකිය. ගම්මිරිස් සිටුවීමට මාස 6කට පෙර ආධාරක සිටුවීම කළ යුතුය. ගම්මිරිස් සිටුවිය යුතු පරතරය අඩි 8×8 කි. මේ සඳහා අඩි 1 1/2×1 1/2 ×1 1/2 ප්‍රමාණයෙන් වළවල් සැකසිය යුතුය. අනතුරුව ගොම හෝ කොම්පෝස්ට් කූඩ 01 (කි.ග්‍රෑ .12 ) මතුපිට පස් හා රොක් ෆොස්පේට් ග්‍රෑම් 100ක් ලෙස වූ මිශ්‍රණයකින් එම වළ පිරවිය යුතුය. වර්ෂා කාලය ඇරඹුමත් සමඟ පැළ සිටුවීම සුදුසුය. පැළ සිට වූ වහාම කොළ අතු හෝ පොල් අතුවලින් තාවකාලික සෙවණ සපයන්න. පැළය මුල ආසන්නයට කොළ රොඩු, කොහු බත් ආදිය වසුනක් ලෙස එක් කිරීමෙන් තෙතමනය සුරැකිය හැකිය. වැට මායිමේ සිට අඩි 5ක් පමණ දුරින් පළමු පේළිය අරඹන්න. අක්කර 01ක් සඳහා ගම්මිරිස් පැළ 680-700ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ආධාරක නඩත්තු කිරීම

ග්ලිරිසීඩියා දණ්ඩෙන් රිකිලි මතු වන විට ඒවා එක රිකිල්ලකට කප්පාදු කරමින් උස අඩි 10ක් පමණ වන තෙක් තනි කඳන් ලෙසින්ම පවත්වා ගන්න. ඉන්පසු රිකිලි 2ක් අඩි දෙකක් පමණ උසට වැඩෙන්නට

හරින්න. මෙලෙස ආධාරක ශාකය අවම උස අඩි 12ක් පමණ වන සේ නඩත්තු කරන්න. සාමාන්‍ය සෙවණ කප්පාදු කිරීම තෙත් කලාපයේ යල

සහ මහ වර්ෂාව ආරම්භයේ දී සහ වැසි සමය මැද දී ලෙස වසරකට සිව් වතාවක් වන ලෙස සිදු කළ යුතුය.

ගම්මිරිස් වැල් නඩත්තු කිරීම

ගම්මිරිස් වැලක් මූලිකව අතු 3ක් හෝ 4ක් සහිතව වැඩීම සුදුසු වේ. සාමාන්‍යයෙන් අතින් සිට වූ වැලක පුරුක් 8-10 යන තෙක් මූලික අතු (හරස් අතු) ඇති නොවූයේ නම් වැලේ පාමුල සිට පුරුක් 3කින් කප්පාදු කරන්න. අනතුරුව වැල සිලින්ඩරාකාරව ඉහළට වැඩෙන්නට හරින්න. පාමුලින් හට ගන්නා නීරෝගි පාවැල් 2-3 ආධාරක ඉන්නට ඉහළට තබා බැඳීමෙන් පිරුණු වැලක් සාදා ගැනීම ද කළ හැකිය.

පොහොර යෙදීම

සාමාන්‍යයෙන් වැඩි අස්වැන්නක් සඳහා ගම්මිරිස් වැල්වලට පොහොර යෙදීම වැදගත්ය. සිට වු දින සිට මාස 06කට පසු පළමුව පොහොර යෙදීම කළ හැකිය. පැළයේ සිට සෙ.මී.15ක් පමණ ඈතින් කුඩා පැළ සඳහා ද වැඩුණු පැළ සඳහා අඩියක් පමණ ඈතින් ද, පැළය වටා පොහොර යොදා අත් හෝ උදළු මුල්ලුවකින් පසට මිශ්‍ර කළ යුතු වේ.

පොහොර මිශ්‍රණය

යූරියා, රොක් ෆොස්පේට්, මියුරේට් ඔෆ් පොටෑෂ්, කීසයිට් – බර අනුව 4 5:3:1 අනුපාතයට මිශ්‍ර කර ගත යුතුය. පොහොර මිශ්‍රණය ග්ලිරිසීඩියා කොළ හා ළපටි පත්‍ර වර්ෂයකට කි.ග්‍රෑ .10-15 (කි.ග්‍රෑ .2.5-3.75 බැගින් 4 වරක් ) ගම්මිරිස් වැල වටා යොදන්නේ නම් රසායනික පොහොර යෙදීමේ අවශ්‍යතාවය අඩකින් අඩු කර ගත හැකිය.

අස්වනු නෙළීම

මනා නඩත්තුවක් යටතේ වගාව පරිණත වන විට අවුරුදු දෙකහමාරකින් පමණ ගම්මිරිස් ඵල දැරීම ආරම්භ වේ. වැලකින් වසරකට වියළි ගම්මිරිස් කි.ග්‍රෑ. 1-2.5ක් පමණ විභව අස්වැන්නක් ලබා ගත හැකිය. (අක්කරයකින් කි.ග්‍රෑ. 1500ක් ) ඇතැම් විට ප්‍රදේශ අනුව ගම්මිරිස් වැලකින් එක් වසරක දී අස්වනු වාර දෙකක් ලබා ගත හැකිය.

ගම්මිරිස් නිෂ්පාදන

කළු ගම්මිරිස් – හොඳින් මේරූ එහෙත් නොඉදුණු ගෙඩිවලින් සකසා ගනී. වගාවේ වැලක කරලක් හෝ කරල් කිහිපයක ගෙඩි කීපයක් කහ පැහැ ගැහෙන විට හා කරලේ අවසන් ඇට අතින් තද කළ විට තැලී නොයන්නේ නම් කළු ගම්මිරිස් සකස් කිරීම සඳහා අස්වනු නෙළීම සුදුසුය.

නෙළා ගත් ගම්මිරිස් කරල්වලින් ඇට වෙන් කර හිරු එළියේ පිරිසුදුව වියළා ගත යුතුය. වඩා ඒකාකාරී කළු ගම්මිරිස් නිෂ්පාදනය කිරීමට උණු වතුර ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කළ හැකිය. ඒ සඳහා පිරිසුදු විශාල බැරල් භාගයකට වතුර පුරවා නටවා ගන්න. ගම්මිරිස් ඇට ගෝනියකට දමා එම නටන ජලයේ විනාඩි 1-2ක් ගිල්වා ඉවත් කර ගෙන වියළන කමතක තුනී කර වියළා ගන්න. අමු ගම්මිරිස්වලින් ලබා ගත හැකි වියළි කළු ගම්ම්රිස් ප්‍රමාණය 30-33 %ක් පමණ වේ.

සුදු ගම්මිරිස් – ඉඳුණු ගෙඩිවලින් සකසා ගැනේ. ඉදුණු ගෙඩි කිහිපයක් සහිතව නෙළා ගත් කරල් දිනක් පමණ ගොඩ ගසා තැබීමෙන් ඉදවා ගත හැකිය. එම ඇට ගෝනිවල බහා, ගලා යන දිය පහරක දින 3-4 ක් ගිල්වා තැබිය යුතුය. ජලය මාරු කළ හැකි නම් ටැංකි වුව ද යොදා ගත හැකිය. මින් පොත්ත ඉවත් කිරීම පහසු වේ.පසුව රළු පෘෂ්ඨයක අතුල්ලා හෝ අතින් පොඩි කර පොත්ත ඉවත් කර හොඳින් සෝදා වියළා ගත යුතුය.

වියළි ගම්මිරිස් – පිරිසුදු වියළි ස්ථානයක ගබඩා කර තබන්න.

ඒ.පී.ගුණරත්න

Recommended For You

About the Author: Thusal