කාබනික ගොවිතැනේ අවුල: ‘දැන් ගොවීන්ට වඩා සැලකිලිමත් විය යුත්තේ නාගරික ජනතාව ගැනයි‘

  • තම භෝග සඳහා සම්පූර්ණ කාබනික පොහොර භාවිතා කරන ගොවීන් ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ය
  • මේ තහනමට පෙර පොහොර මිල රුපියල් 3000ක් පමණ වූ අතර දැන් එය රුපියල් 9000කි.
  • අපේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයට ලක්වුවහොත් එය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වේ
  • ගොවියාට අයිති දේවල අයිතිය සහ ආරක්ෂාව තිබෙන තත්ත්වයට කෘෂිකර්මාන්තය වෙනස් කළ යුතුයි 
  • රට තුළ නිපදවන මෙම පොහොර සඳහා තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියක් හෝ රෙගුලාසි නොමැත, එබැවින් ඒවා බෝග නිෂ්පාදනයට වැඩි දායකත්වයක් නොදක්වයි.

කාබනික කෘෂිකර්මාන්තය පමණක් සිදු කරන පළමු රට බවට පත්වීම සඳහා, 2021 අප්‍රේල් 29 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ පරිසරය සුරක්ෂිත කිරීම මෙහි අරමුණ විය.  

රසායනික පොහොර භාවිතය නිසා පාංශු සාරවත් බව පිරිහී ඇති බවත්, පසෙහි ආම්ලිකතාවය වැඩි වී ඇති බවත්, ජෛව විවිධත්වය අඩු වී ඇති බවත්, සියල්ලටමත් වඩා අස්වැන්න සහ අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩිදියුණු වී නොමැති බවත් රජය ප්‍රකාශ කරයි. රසායනික පොහොර භාවිතය හේතුවෙන් ජලය දූෂණය වී ආහාරවල විෂ එකතු වී ශ්‍රී ලංකාව තුළ පිළිකා සහ නිදන්ගත වකුගඩු රෝග ඇතිවී ඇති බව ද රජය ප්‍රකාශ කරයි.  නමුත් රසායනික පොහොර භාවිතය තහනම් කළ දා සිටම රසායනික පොහොර භාවිතයෙන් තොරව බෝග වගා කිරීම අභියෝගාත්මක බැවින් ගොවීන්ට එය හිතකර බවක් පෙනෙන්නට නැත.   

කාබනික ගොවිතැන ලංකාවේ සාමාන්‍ය ගොවියාට නුහුරුය. මාතලේ, කෝන්ගහවෙල ගොවිජන සේවා කොට්ඨාසයේ ගොවියෙකු වන වයි.එම්.එස්. බණ්ඩාර මහතා මේ ගැන සිය අදහස පැවසුවේය, “ඔවුන් ලබා දුන් කාබනික පොහොර වගාවට භාවිතා කළ හැකි ඒවා නෙමෙයි. ඒවායේ බෝගයට අවශ්‍ය පෝෂණයත් නැහැ‘‘

රසායනික පොහොර තහනම සාමාන්‍ය ගොවියාට මහත් පීඩාවක් ගෙන දී ඇතත්, බොහෝ ගොවීන් කාබනික කෘෂිකර්මාන්තය සලකන්නේ සම්පූර්ණයෙන්ම විදේශීය හා එක රැයකින් අනුවර්තනය වීමට අපහසු දෙයක් ලෙසය. මේ අතර ගොවීන්ගේ දුක තවත් වැඩි කරමින් පොහොර මිල අහස උසට ඉහළ ගොස් තිබේ. 

“මේ තහනමට පෙර රුපියල් 3000ක් පමණ වූ පොහොර මිල දැන් රුපියල් 9000යි. අපිට මේක දරාගන්න බැහැ. අවශ්‍ය අස්වැන්න ලබාගැනීමට නම් 50%ක රසායනික පොහොර සහ 50% කොම්පෝස්ට් පොහොර සහනදායී මිලට ලබාදීම අවශ්‍යයි. මේ තහනමත් එක්ක අස්වැන්නෙන් 75%ක් විතර අඩු වුණා. අපි මහා පරිමාණයෙන් රටට භෝග නිෂ්පාදනය කරනවා. ඒ වගේම මෙය අපටත් අපේ භෝග මිලදී ගන්නා ජනතාවටත් විශාල පහරක්. මෙය දිගටම පැවතුනහොත්, අපිට සිංහල දෙමළ අලුත් අවුරුද්දට කන්නවත් නැතුව යාවි‘.” බණ්ඩාර ගොවි මහතා පැවසුවේය.


රජය ගොවීන්ට අලුතින් කාබනික පොහොර හඳුන්වා දෙන්නේ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ කිසිදු උපදෙස් නොමැතිව බවත් එය කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුවක් බවත් බණ්ඩාර මහතා පැවසීය. “මෙම ගොවීන් බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපන සුදුසුකම් නැහැ. එබැවින් කාබනික පොහොර තම භෝගවලට කාර්යක්ෂමව ඇතුළත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවීන්ට මඟ පෙන්වමින් නිසි උපදෙස් ලබා දිය යුතුයි. නමුත් ඔවුන් එවැනි කිසිවක් නිසියාකාරව කර නැහැ. එනිසා ගොවීන් තුළ මෙම වෙනස පිළිගැනීමට කිසිදු අදහසක් නැහැ.

අවශ්‍ය අස්වැන්න ලබා ගැනීමට නම් 50% කොම්පෝස්ට් පොහොර සහිත පොහොර 50%ක් දැරිය හැකි මිලකට අවශ්‍යයි. මෙම තහනමත් සමඟ අස්වැන්නෙන් 75%ක් පමණ අඩු වුණා.  – වයි.එම්.එස්. බණ්ඩාර 

චින්තක රාජපක්ෂට අනුව, රජය කාබනික පොහොර සමඟ යාමට සැලසුම් කළ නමුත් ඒ සඳහා ඵලදායී ක්‍රමවේදයක් නොතිබුණි. “කාබනික පොහොර වලට මාරු වෙනවා කියන්නේ කොම්පෝස්ට් වලට මාරු වෙනවා කියලා හිතන එකත් එයාලට වැරදුනා. මෙය ගොවීන් බියට පත් කළේ කොම්පෝස්ට් සම්බන්ධයෙන් ගත් විට අවශ්‍ය අස්වැන්න ලබා ගැනීමට විශාල ප්‍රමාණයක් එකතු කළ යුතු නිසයි.


“රජය, චීන කාබනික පොහොර ගෙන්වීමට මුදල් වියදම් කරනවා වෙනුවට, එම මුදල් යොදවා ගොවීන්ට හුරුපුරුදු කෘත්‍රිම පොහොර ලබා දී, ඒවා නැවත අවභාවිතය නොකිරීමට, ඒවා නියාමනය කිරීමට යෝජනා කළ යුතුයි. ” යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අංශ ප්‍රධානී ආචාර්ය වර්ෂි දන්දෙණිය ප්‍රකාශ කළාය. 

“සම්පූර්ණ කාබනික පොහොර තම භෝග සඳහා භාවිත කරන ගොවීන් ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභයි. අනික මේ ගොවීන්ට හදිස්සියේම රසායනික පොහොර භාවිතය නවත්වන්න කිව්වම ඒ අය අසාර්ථක වෙන එක සාධාරණයි. තවත් කරුණක් වන්නේ කාබනික පොහොර අපේ රටේ පහසුවෙන් ලබා ගත නොහැකි වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අඩු ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ඉහළ මිල ගණන්වලට සෑම තැනකම අලෙවි කිරීම සිදු වුණා. මිනිසුන් යමක් එකතැන පල් කර, බෝතල් කර විකුණන අයුරු අපට නිරීක්ෂණය වුණා, ”ආචාර්ය දන්දෙනිය වැඩි දුරටත් පැවසුවාය.

ගොවීන් අඳුරේම ගියා

“මෙම තීරණ ගන්නා විට ඔවුන් ගොවීන් සහ කෘෂිකාර්මික සංගම් සම්බන්ධ කර ගත්තේ නැහැ” චින්තන රාජපක්ෂ පැවසීය. 

“මෙම වෙනස ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, මෙම තීරණ ගැනීමේදී ඔවුන් ගොවීන් සහ කෘෂිකාර්මික සංගම් සම්බන්ධ කර ගත යුතුයි. මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධ්‍යාපනය, තාක්‍ෂණය සහ සුදුසු සහන වැඩසටහනක් ඔවුන් ගොවීන්ට ලබා දිය යුතුයි. ඔවුන් මේ සඳහා විවිධ ආකාරයේ කමිටු ඇති කළ නමුත් මේ කිසිවකට සැබෑ ගොවීන් හෝ කෘෂිකාර්මික සංගම්වල නායකයින් සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් සියල්ලන්ම පාහේ ව්‍යාපාරිකයන් පමණයි‘ චින්තන රාජපක්ෂ වැඩි දුරටත් පැවසුවේය.


ගොවීන් අඳුරේ සිටින බවත්, ඔවුන්ට ඉතිරිව ඇති එකම විකල්පය මත යැපෙන්නට ඉඩ හරින බවත් රාජපක්ෂ චෝදනා කළේය. 

“ගොවීන්ට ඔවුන්ගේ සහනාධාරය ලබා ගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හැකි ඉක්මනින් ඔවුන්ගේ කෘෂිකාර්මික ක්‍රමය වෙනස් කිරීමට වැඩසටහනක් යෝජනා කරමු.” ඔහු යළි පැවසුවේය. 

“කිසිදු වියදමකින් තොරව මෙය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය අප සතුව තිබෙනවා. එය කිරීමට ගොවීන්ට නිදහස ලබා දිය යුතුයි. දැන් තහනම ඉවත් කර ඇතත් රජය ඔවුන්ට සහනාධාර ලබා නොදෙන බව පවසනවා‘  


කෘතිම පොහොර වැනි පොහොර ආනයනය කරන විට එහි තත්ත්ව පාලනය සහතික කෙරෙන සංකීර්ණ ක්‍රියා පටිපාටියක් තිබේ. නමුත් රට තුළ නිපදවන මෙම පොහොර සඳහා තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියක් හෝ රෙගුලාසියක් නොමැති බැවින් ඒවා බෝග නිෂ්පාදනයට ද වැඩි දායකත්වයක් නොදක්වයි. “මෙම පොහොරවල ආයු කාලයද ඉතා කෙටියි,” වෛද්‍ය දන්දෙණිය වැඩිදුරටත් පැහැදිලි කළාය.

මෙහි ඇති ප්‍රශ්නය නම් රසායනික පොහොර මහා ව්‍යාපාරයක් ලෙස සැලකීමයි. එනම් කෘෂි ව්‍යාපාරයයි.ඒ වගේම රජය උත්සාහ කළේ අරගල කරන ගොවීන්ට මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට කාබනික පොහොරවලින් ව්‍යාපාරයක් කරන්නයි. – චින්තක රාජපක්ෂ 

පාරිසරික ගොවිතැනට පරිවර්තනය 

කාබනික කෘෂිකර්මාන්තය තාක්ෂණය මත පදනම් වූ අතර මෙම තාක්ෂණය නිරන්තරයෙන් වර්ධනය වේ. කාලයත් සමඟ මෙම ගොවිතැන් ක්‍රමය ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ හා මිල අධික වනු ඇතැයි චින්තන රාජපක්ෂ පැහැදිලි කළේය. අවසානයේ කාබනික ගොවිතැන කුඩා පරිමාණ කෘෂිකාර්මික ප්‍රදේශ ඇති සාමාන්‍ය ගොවියාට ඇතුළු විය නොහැකි කර්මාන්තයක් බවට පත්වන නමුත් මහා පරිමාණ සමාගම්වලට එය වාසිදායකය.


“මෙහි ඇති ප්‍රශ්නය නම් රසායනික පොහොර දැවැන්ත ව්‍යාපාරයක් ලෙස සැලකීමයි, එනම් කෘෂි ව්‍යාපාරයයි. ඒ වගේම රජය උත්සාහ කළේ අරගල කරන ගොවි ජනතාවට මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට කාබනික පොහොරවලින් ව්‍යාපාරයක් කරන්නයි. කෘෂිකාර්මික ව්‍යාපාරික පෙරමුණ කෘෂිකර්මාන්තය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැහැ,. එබැවින් කළ යුත්තේ රසායනික කෘෂිකර්මාන්තයෙන් කාබනික කෘෂිකර්මාන්තයට වෙනස් නොවී රසායනික කෘෂිකර්මයෙන් පාරිසරික ගොවිතැනට වෙනස් වීම. ඒ කියන්නේ ගොවීන්ට තමන්ගේ ඉඩම්, ඔවුන්ගේ ජීවනෝපාය, ඔවුන්ගේ බලය, වෙළඳපොළ, නිෂ්පාදනය යනාදිය තිබෙනවා. කෘෂිකර්මාන්තය ගොවියාට අයිති දේවල අයිතිය සහ ආරක්ෂාව තිබෙන තත්ත්වයට පත් කළ යුතුයි. මේ පරිවර්තනය සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. ගොවිතැන, නිෂ්පාදනය සහ එය පාලනය කිරීමේදී ඔවුන්ට වැඩි බලයක්. තීරණ ගැනීමේදී ඔවුන්ට වැඩි බලයක් සහ වෙළඳපොලේ ඔවුන්ට වැඩි බලයක්. ගොවිතැනේ මෙම පරිවර්තනය සිදු වුවහොත් පමණක් අපගේ ආහාර, සෞඛ්‍ය, පාරිසරික, දේශගුණික, ආර්ථික හා දරිද්‍රතාවයේ ගැටලු විසඳා ගත හැකි වේවි”රාජපක්ෂ පැවසීය.   


“කර්මාන්තයට අවශ්‍ය නම් පොහොර ගේන්න දුන්නත් රජය දෙන්නේ කාබනික පොහොර විතරයි. ඉතින් දැන් වෙන්න යන්නේ දෙමුහුන් ක්‍රමයයි. කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙකම අපේ භෝගවලට එකතු කළ විට අපට හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. නමුත් ඒ තීරණය ප්‍රමාද වැඩියි.” ආචාර්ය වර්ෂි දන්දෙණිය ප්‍රකාශ කළාය. 

පවතින අර්බුදයට කෘත්‍රිම පොහොර අවශ්‍යයි. මේ කන්නය දැනටමත් බලපෑමට ලක්ව ඇති අතර මෙය ඉදිරි අස්වනු නෙළන කාලය දක්වාද පැවතිය හොත් මුළු රටම දරුණු තත්ත්වයකට පත් වනු ඇත. –  වෛද්‍ය වර්ෂි දන්දෙණිය

ගොවීන් සූරාකෑම ජාතික ආරක්ෂාවට තර්ජනයකි

“අර්බුදකාරී තත්ත්වය සඳහා කෘත්‍රිම පොහොර අවශ්‍ය වේ. මේ කන්නය මේ වන විටත් බලපෑමට ලක්ව ඇති අතර මෙය ඉදිරි අස්වනු නෙළන කාලය දක්වාද පැවතිය හොත් මුළු රටම බරපතළ තත්ත්වයකට පත් වනු ඇතැයි ආචාර්ය වර්ෂි පැවසුවාය. ඇයට අනුව රජයේ තීරණය නිසා සිදුවූයේ අඩු ගුණාත්මක හා මිල අධික කාබනික පොහොර අලෙවි කිරීමෙන් ව්‍යාපාරිකයන් ලාභ ලැබීම පමණි. 

“කොම්පෝස්ට් සමඟ වුවද, මිනිසුන් ඒවා සෑදීමේදී රොන්මඩ සහ මඩ භාවිතා කරනවා, එබැවින් මෙය ඇත්ත වශයෙන්ම මාෆියාවක් සහ ගොවීන් බරපතල සූරාකෑමක්.” 

ඇය පවසන පරිදි කාබනික පොහොර ප්‍රචලිත කරන අතරම හොඳ නියාමනයකට යටත්ව ගුණාත්මක කාබනික පොහොර දේශීයව නිපදවා ගොවීන්ට ලබාදීමට කටයුතු කළ යුතුය. 

අපේ ගොවීන් කාබනික ද්‍රව්‍ය පසට දැමීම වැදගත්. ඒ වගේම කුඩා පරිමාණයෙන් තමන් විසින්ම ගුණාත්මක පොහොර නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සහ එය නඩත්තු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම පිළිබඳවද අපට මඟපෙන්වීම සහ දැනුවත් කළ හැකියි. නමුත් කාබනික පොහොර ප්‍රවර්ධනය කරන ගමන්ම කෘත්‍රිම පොහොරත් එකතු කරන්න වෙනවා. එසේ නොවුවහොත් අපට අවශ්‍ය භෝග ලබා ගැනීමට නොහැකි වන අතර එය අපේ ආහාර සුරක්ෂිතභාවයට විශාල තර්ජනයක් වේවි‘‘  

“අපගේ ප්‍රමුඛතාවය වන්නේ අපගේ නිෂ්පාදන මට්ටම පවත්වා ගැනීමයි. අපගේ ආහාර සුරක්ෂිතතාවය තර්ජනයට ලක්වුවහොත් එය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එය අප දැන් අත්විඳිමින් සිටිනවා. එබැවින් කාබනික සහ කෘතිම පොහොර දෙමුහුන් පද්ධතියට ඇතුල් වීම වැදගත්යි. අපගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවල දැනටමත් මෙම ප්‍රතිපත්ති තිබෙනවා. නමුත් ඔවුන් උපාය මාර්ග සාදා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි‘

බොහෝ ගොවීන් දැන් ගොවිතැන වෙනුවට තම ඉඩම් කුලියට දෙන බව ද චින්තන රාජපක්ෂ සඳහන් කළේය. මේ අස්වනු අසාර්ථක වීම තවත් කන්න කිහිපයක් සිදු වුවහොත් මිනිසුන් ගොවිතැන නවතා මේ ඉඩම් සියල්ල විකුණා දමනු ඇත. අනෙක් අතට රජය සිතන්නේ මිනිසුන්ට අවශ්‍ය ආහාර ආනයනය කළ හැකි බැවින් ගොවිතැනක් කිරීමට අවශ්‍ය නැති බවයි. දැනටමත් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනවලින් 60% ක් පමණ ආනයනය කරන බව ද රජය කියයි. 

මෙම කන්නය දැනටමත් බලපෑමට ලක්ව ඇති බවත්, වල් පැලෑටි සහ බීජ පැල සහිත තණබිම් මෙන් කෙත්වතු පෙනෙන බවත් ආචාර්ය වර්ෂි දන්දෙණිය පෙන්වා දුන්නාය. 

“ගොවීන්ට වඩා සැලකිලිමත් විය යුත්තේ නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව ගැනයි. මොකද ගොවීන් පුරුද්දක් ලෙස තමන්ගේ පාරිභෝජනයට අවශ්‍ය වී ගබඩා කර තබා ගන්නවා. ඒ නිසා මේ වන විටත් ඔවුන් සතුව ප්‍රමාණවත් වී තොග තිබෙනවා. ඒ වගේම අසාර්ථක වූ මේ කන්නයේ අස්වැන්නත් ඔවුන් තමන්ගේ පුද්ගලික පාරිභෝජනයට තබා ගනීවි. එවිට වී වගා නොකරන නාගරික ජනතාව ද ඇතුළු සාමාන්‍ය ජනතාවට සහල් හිගයකට මුහුණදීමට සිදු වෙනවා. ඒත් වී ගොවීන්ට එවැනි අර්බුදයක් නැහැ‘‘ ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

ඩේලි මිරර් ඇසුරිනි

Recommended For You

About the Author: Thusal