ගුවන් හමුදා ඉතිහාසයේ නව සනිටුහනක් තබමින් නිලධාරීහු 153 දෙනෙක් එකවර විසිර යති

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපති මේ බව සඳහන් කළේය. 

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව  ජනාධිපති කියා සිටී. 

වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේ දී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී කළ මෙහෙවර ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ. හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතුය. නිලධාරීන්ගේ අවංකභාවය සහ විනය තුළ ඇති වටිනාකම පෙන්වා දුන් ජනාධිපති තම නායකත්වය යටතේ සිටින සෙසු නිලයන් කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල මත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම නිලධාරීන් වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපති පෙන්වා දුන්නේය. 

පාඨමාලා කාණ්ඩ 06ක් යටතේ වසර තුන හමාරත්, හතර හමාරත් අතර කාල පරාසයක් තුළ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153 ක් අධිකාරියට පත්ව අද විසිර ගියහ. ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙස  මෙය සනිටුහන් කෙරේ. 

ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිතුමා විසින් පියාසර නිල ලාංඡනය පැළඳවිණ. සියලුම පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු  14 දෙනෙක් ජනාධිපති අතින් සම්මාන ලබා ගත්හ.

ගුවන් හමුදා තූර්ය වාදන කණ්ඩායම ඉදිරිපත් කළ සංදර්ශනය නැරඹූ ජනාධිපති විසිර යන නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනැමූ අතර අනතුරුව ජනාධිපති විසින් ගුවන් හමුදා කඳවුරේ තබා ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබිණ.

Recommended For You

About the Author: Thusal