හෂීෂ් වල තිඹිරි ගෙය සොයා හිමාලයට ගිය සුන්දර සංචාරය

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි ‘නිධානයක්’ සොයාගත හැකි ය.

හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් වටවී පවතියි. 1700කට ආසන්න ජනගහණයක් වෙසෙන මෙම ගම්මානයට සංචාරකයින් ඇදී එන්නේ දිගු කලක් තිස්සේ ය.

ඔවුන් සීතල සුළං ප්‍රවාහයන් ද නොතකා තද කොළ පැහැ දේවදාර වෘක්ෂයන් මධ්‍යයේ දින ගණනාවක් එහි රැඳී සිටින්නේ, එහි ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙසත්, බාහිර පුද්ගලයින් මනස නිදහස් කිරීමේ මඟක් ලෙසත් දකිනා දෙය – කීර්තිමත් සහ සම්මානලාභී මලානා ක්‍රීම් – පරිභෝජනය කිරීමට ය.

මෙම ගංජා රෙසිනය හෙවත් ‘හෂීෂ්’, එය නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන ‘අත් ඇතිල්ලීමේ තාක්ෂණය’ සහ වාර්තාගත අන්දමේ විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප්‍රසිද්ධ ය. නමුත් මා මලානා ගමට පැමිණියේ ඒ වටා ගෙතී ඇති මිථ්‍යාවන් වටහා ගැනීමේ අරමුණෙනි.

ජනප්‍රවාදයන්හි කියැවෙන පරිදි, ක්‍රි.පූ. 326 දී එකල ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පාලකයා වූ පෝරස් රජුට එරෙහිව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සිදුකළ සටනේ දී තුවාල ලැබූ ඔහුගේ ඇතැම් භට පිරිස් මෙම හුදෙකලා ගම්මානයේ රැකවරණය ලබා තිබේ.

මලානි ජනයාගේ මුතුන්මිත්තන් ලෙස බොහෝකොටම සැලකෙන්නේ මේ භට පිරිස යි. එසමයට අයත් කෞතුක වස්තූන් මෙම ගම්මානයෙන් හමුව ඇති අතර, එවන් අසිපතක් ගම්මානයේ පිහිටි කෝවිල තුළ තැන්පත්කර ඇතැ යි කියැවේ.

කෙසේ නමුත්, ගම්වැසියන්ට එම භටයින් සමග ජානමය සම්බන්ධයක් ඇත්ද යන්න තවමත් අධ්‍යයනයකර හෝ තහවුරුකර නැත. ඇත්ත වශයෙන්ම, මා හා කතාබහ කළ බොහෝ ප්‍රදේශවාසීහු ද මෙම පුරාවෘත්තය උපත ලද්දේ කෙසේදැ යි නොදත්තෝ ය.

“මලානි ජනතාව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගෙ හමුදා භටයින්ගෙන් පැවත එනවා කියන ප්‍රකාශය සත්‍යයක් කියලා පුළුල් පිළිගැනීමකට ලක්වෙලා තියෙනවා වුණත්, ඒක ඔප්පු කෙරෙන සැබෑ සාධක මට හම්බවෙලා නැහැ. මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියන්න හේතු වුණු ආයුධ කීපයකුත්, තවත් සමහරක් වස්තූනුත් තියෙනවා තමයි. නමුත් මට විශ්වාස යි, මේ කතාවට නම් කිසිදු සාක්ෂියක් නැහැ,” දශකයක පමණ කාලයක් මලානාහි සිට සිය වැඩකටයුතුවල යෙදුණු සිනමාකරුවෙකු වන අම්ලාන් දත්තා පැවසුවේ ය.

එනමුත් මලානිවරුන්ගේ රූප ලක්ෂණ සහ භාෂාව වෙනත් ප්‍රාදේශීය ගෝත්‍රයන්ගෙන් බොහොකොටම වෙනස්වීම මත මෙම න්‍යායයන් පෝෂණය වන අතර, එය මලානිවරුන් සහ ඔවුන්ගේ අනන්‍යතාව වටා ගොඩනැගී ඇති ප්‍රහේලිකාවට තවත් ගැටලු එක්කරයි.

පාරිශුද්ධයැ යි සැලකෙන ‘කනාෂි’ නම් භාෂාවක් වහරන ඔවුන් එය පිටස්තරයින්ට ඉගැන්වීමෙන් වැලකී සිටියි. එය ලෝකයේ වෙනත් කිසිදු තැනක භාවිතා කෙරෙනා භාෂාවක් නොවේ.

මාගේ සංචාරය අතරතුරේ දී, මා මට හමුවූ ඇතැම් පිරිමින් ඇමතුවේ “භායිජී” (‘සහෝදරයා’ ලෙස ඇමතීමේ ආචාරශීලි ක්‍රමයක්) යනුවෙනි. හිමාචල්හි පිරිමින් ඇමතීමේ සාමාන්‍ය ක්‍රමය එය යි. මාගේ හින්දිය අවබෝධකර ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වුණත්, ඔවුන් කනාෂි භාෂාවෙන් දැක්වූ ප්‍රතිචාරයන් වටහාගැනීමට මට නොහැකි විය.

Residents of Malana
මලානාහි වැසියන් මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවෙන් පැවත එන්නන්බව පැවසේ

ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයයේ වාග් විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන අංජු සක්සේනා කනාෂි භාෂාව පිළිබඳ අධ්‍යයනයක් සිදුකරමින් සිටින්නී ය.

“කනාෂි ඇත්තෙන්ම නැතිවී යමින් පවතින භාෂාවක්. අලිඛිත, ලෝකය නොදන්නා භාෂාවක්,” සක්සේනා මා හා පැවසුවා ය. “ඒක චීන-ටිබෙට් භාෂා පවුලට අයිති වුණාට, අසල්වැසි ගම් සියල්ලේම කතා කෙරෙන්නේ කනාෂිවලට කොහෙත්ම සම්බන්ධ නැති ඉන්දු-ආර්ය පවුලේ භාෂා. මේකෙන්, ඒ භාෂාවේ ප්‍රාග් ඉතිහාසයත්, ඒකෙ භාෂාමය සංස්ථිතියත් ගැන සිත්ගන්නාසුළු ප්‍රශ්න මතු කරනවා.’

මලානාවට ළඟාවීම ද නොදන්නා ප්‍රදේශයකට සිදුකළ ගමනකි. වාහන ගමනට සුදුසු මාර්ගයන් මෙම ගම්මානය කරා නොදිවෙන අතර, පාර්වතී මිටියාවත පතුළේ පිහිටි ජාරි ගම්මානයේ සිට පා ගමනින් මලානා වෙත පැමිණීමට මට පැය හතරක් පමණ ගතවුණි.

ගමන්මඟ බෑවුම් සහිත වුව ද ඉතාමත් දර්ශනීය විය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මලානි මිනිසුන් එකා දෙන්නා මඟ දී මුණගැසීම ඇරඹුණි.

පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි අන්දමේ ලා දුඹුරු පැහැ කෙස්, ලා දුඹුරු පැහැ ඇස්, දිගු නාස්, සහ සුවිශේෂී ලා දුඹුරු හෝ රන්-දුඹුරු පැහැ සමකින් යුතු වූ ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සම්ප්‍රදායික ලා දුඹුරු පැහැ ලෝගුවලින්, තොප්පිවලින් හා ගංජා ශාකයේ කෙඳිවලින් තැනූ පාවහනින් සැරසී සිටියේ ය. මට ඔවුන් පෙනුනේ හිමාචල් ප්‍රාන්තයට වඩා මධ්‍යධරණී ප්‍රදේශයන්ට ආවේනික පෙනුමෙන් යුත් පිරිසක් ලෙස යි.

මා ගමට පිවිසෙද්දී මට හමුවුණු ගැටවරයෝ පිරිසක්, මා හෂීෂ් ස්වල්පයක් මිළට ගනු රිසිදැ යි ඉතා සාමාන්‍ය අයුරින් විමසා සිටියහ. බොහෝ කලෙක පටන් මේ කුඩා ගම්මානයේ ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ගංජා වුව ද, එමඟින්, කුඩා දරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදවීම වැනි සමාජ-සංස්කෘතික ගැටලු රැසක් ඇතිකර තිබුණි.

ඇතැම්විට මීට වසරකට පෙර, හින්දු පුරාණෝක්තිවල සඳහන් ශ්‍රේෂ්ඨ මුනිවරයෙකු වන ජම්දාග්නි රිෂි (ප්‍රාදේශීය ව්‍යවහාරයේ ‘ජම්ලු දේව්තා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ) ඔහුගේ අධ්‍යාත්මික ප්‍රකාශකයා (‘ගුර්’ යනුවෙන් හැඳින්වේ) හරහා, ගම පුරා ඇති සියලුම නවාතැන්පොළ වසා දමන ලෙස නියෝග කළේ මෙනිසා විය හැකි ය.

ගම පිටස්තරයින්ට විවෘත වන්නේ දිවා කාලයේ දී පමණි.

Residents of Malana
මලානිවරුන් කතා කරන “කනාෂි” නම් භාෂාව පූජනීයයැ යි සැලකෙන අතර, ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක භාවිතා නොවෙන භාෂාවකි

ගම පාලනයේ දී ජම්ලු දේව්තා ඉතා වැදගත් චරිතයක් වන අතර, එය මේ හුදෙකලා වූ සුන්දර හිමාල ගම්මානයේ මෙතරම් දියුණු පාලන ක්‍රමයක් පවතින්නේ කෙසේදැ යි යන්න වටහාගත නොහැකි වූ පර්යේෂකයන් සහ අමුත්තන් දිගු කලක් තිස්සේ ව්‍යාකූල කළ දේශපාලන ස්ථාපිතයකි.

මලානාහි අද්විතීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලොව පැරණිතම දේශපාලන ක්‍රමයක් ලෙස සැලකෙන අතර, පුරාණ ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට සමාන එය ද පහළ මන්ත්‍රණ සභාවකින් සහ ඉහළ මන්ත්‍රණ සභාවකින් සමන්විත වේ.

කෙසේ වෙතත්, මලානාහි ක්‍රමයට එයටම අනන්‍ය වූ අධ්‍යාත්මික වෙනසක් ද ඇත: අවසාන තීරණය රඳා පවතින්නේ ඉහළ මන්ත්‍රණ සභාව මත ය. එයට වැදගත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුළත් වන අතර, ප්‍රාදේශීය දේවතාවා වන ජම්ලු දේව්තාගේ නියෝජිතයා ද මේ තිදෙනා අතර සිටියි.

“අවසන් වචනෙ දේව්තාගේ. අපට කවුන්සලේකුත්, දේශපාලකයො තුන්දෙනෙකුත් ඉන්නවා. ඉන් එක්කෙනෙක් ගුර්, ඒ කියන්නේ ජම්ලු දේව්තා එයාට වැහිලා ඉන්නේ, එයා ජම්ලු දේව්තාගේ තීරණ අපට කියනවා,” මට හෂීෂ් විකුණන්නට තැත්කළ ගැටවර කණ්ඩායමෙන් එකෙකු වූ රෝහන් පැහැදිලිකර දුන්නේ ය.

Residents of Malana
මලානින්ගේ සුවිශේෂී රූප ලක්ෂණ, මධ්‍යධරණී ජනතාවගේ රූප ස්වභාවය සිහිපත් කරයි

පෙර කලෙක ජම්ලු දේව්තා මලානාහි වාසය කළබව පැවසෙන ප්‍රාදේශීය පුරාවෘත්තයක් දත්තා මා සමග පවසා තිබුණි. දේවතාවාට මෙගම ප්‍රදානයකර තිබුණේ ශිව දෙවිඳුන්බව කියයි. ජම්ලු දේව්තාටත්, උන්වහන්සේගේ බිරිය වන රේණුකා දේවීටත් කැපකළ දේවස්ථානයන් ද්විත්වයක් ගම්මානයේ පිහිටුවා ඇත.

දැවමුවා සහ ගඩොලින් තැනූ නිවෙස් බහුල වූ පෞරාණික ගම්මානයේ පටු මංපෙත් හරහා ඇවිද ගිය මම, ජම්ලු දේව්තා වෙනුවෙන් කැපකළ සිද්ධස්ථානය හා පිහිටි විශාල මැද මිදුලකට පිවිසුනෙමි. පහළ මන්ත්‍රණ සභාව රැස්වන්නේ ද මෙහි ය. හිමෙන් වැසීගිය කඳුකරය පසුබිමෙන් දිස්වූ හෙයින් එය නෙත්කළු දර්ශනයක් විය.

පළල් දැව කණු, කැටයම් කළ ද්වාරයන්, සහ අස්ථින්, හිස්කබල් සහ බිලිදුන් සතුන්ගේ අනෙකුත් විවිධාකාර සිරුරු කොටස් සවිකර තිබූ බිත්තියකින් සමන්විත වූ දේවස්ථානය කුතුහලය දනවන ස්වරූපයක් ගත්තේ ය.

නමුත්, ‘ජම්දාග්නි සෘෂිගේ සිද්ධස්ථානය ස්පර්ශ කරන්නන්ට’ ඉන්දියානු රුපියල් 3500ක (ලංකාවේ මුදලින් රු. 9500ක් පමණ) දඩයක් ගසතැ යි අනතුරු හඟවන පුවරුවක් පිටත සවිකර තිබුණි.

මෙම දැන්වීම මලනාවේ දී ඉතා පැහැදිලිව දැකගත හැකි තවත් සම්ප්‍රදායක බාහිර නිරූපණයකි: ඒ, ගම්මානයේ ‘පාරිශුද්ධත්වය’ රැකගැනීම යි. මලානින් පිටස්තරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකෙනබවට, විශේෂයෙන්ම සෘජු ශාරීරික ස්පර්ශයෙන් වැළකෙනබවට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පුරා වෙසෙන පුද්ගලයින් ඔබට පවසනු ඇත.

එදා උදෑසන මා ජාරි වෙත ප්‍රවාහනය කෙරුණු රථයේ රියැදුරා ද, මලානිවරුන් ස්පර්ශ නොකරන්නැ යි මට පුද්ගලිකවම අනතුරු හැඟවීය.

Residents of Malana
මලානාහි අද්විතීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලොව පැරණිතම එකක් බව පැවසේ

තරුණ පරම්පරාවේ ඇතැමුන් අමුත්තන් වැළඳගනු හා අතට අත දෙනු මා දැක ඇතත්, තවමත් මෙගම බොහෝ පුද්ගලයින් පිටස්තරයින් ස්පර්ශ කිරීමේ තහනම එලෙසින්ම පිළිපදියි.

මා පානීය ජල බෝතලයක් මිළට ගැනීමට ගිය අවස්ථාවේ, මුදල් තමා අතට දෙනු වෙනුවට වෙළඳසැලේ කවුන්ටරය මත තබන්නැ යි වෙළඳසැල් හිමියා මට දැනුම් දුන්නේ ය.

ආවාහ විවාහයන් සිද්ධවිය යුතු වූයේ ද ගම්වැසියන් අතරමබව ද මම උගත්තෙමි: මෙම චාරිත්‍රය කඩකිරීම, සමාජයෙන් කොන්වීමට හේතුවෙයි.

පිටස්තරයින් සාදරයෙන් පිළිනොගන්නා බැව් දැනසිටි නිසාම, ගම ගැන තොරතුරු අසමින් ගම්වැසියන්ගෙන් ප්‍රශ්න කරද්දී මට හැඟුනේ මා අනවසරයෙන් ගමට කඩාවැදුනියක ලෙස ය.

හිමාචල්හි ජනයා සාමාන්‍යයෙන් සුහදශීලී, කතාබහට බර පිරිසක් වන අතර, අමුත්තන් සමග ආගිය කතන්දරත්, ආහාරපානත් බෙදාහදා ගැනීමට ඔවුහු මහත් කැමැත්තක් දක්වති; එනමුත් මලානාහි දී නම් එවන් කතාබහ ඇතිවන්නේ කලාතුරකිනි.

Residents of Malana
මලානිවරුන් පිටස්තරයින් සමග සබඳතා සීමා කරනබව සුප්‍රකට කරුණකි

කඳුකරයෙන් පහතට බසිමින් මේ අමුතු ලෝකයෙන් පිටව යන අතරේ, සංචාරකයෙකු වන මා මේ කුඩා, අභිරහස් හිමාලයානු ගම්මානයට සදහටම පිටස්තරයෙකු වනු ඇතැ යි යන සත්‍යය අවබෝධකර ගන්නට මට සිදුවිය.

මා කැමැති වුණත් නැතත්, ගම්වැසියන් මා ඔවුන්ගේ ලෝකයට පිළිනොගත් අතර, මා ඔවුන්ගේ සංස්කෘතියට ගරුකළ යුතු විය.

නමුත්, ඉන් සති කීපයක් ගතව ඇති මේ මොහොතේ දී, මලානාහි පුරාවෘත්තයන් හෙළිකර ගැනීමට මා කළ ගමන දෙස හැරී බලන මට වැටහෙන්නේ මාගේ අත්දැකීම්වල සුන්දරත්වය රඳා පැවතුනේ ද ගම වටා බැඳි රහස්‍යභාවය හා නොදන්නා දෙය මතබව යි.

මලානාහි එම විශේෂ ගුණය රස විඳීම, ඒ ගුප්ත වැසියන්ගේ අපූර්ව, ශීතල භූමිය තවතවත් අගය කිරීමට මා පෙළඹවීය.

text byy bbc sandesaya

Recommended For You

About the Author: Thusal