චීනය දිළිඳු රටවලට ඔරොත්තු නොදෙන ණය බර පටවනවා ද?

චීනය, දිළිඳු රටවලට ණය ලබාදෙන පිළිවෙත බොහෝ විවේචනයන්ට ලක්ව ඇති අතර, චීනයෙන් ණය ගන්නා රටවලට එම ණය ආපසු ගෙවීම සඳහා බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවන බවත්, එනිසා එම රටවල් චීන රජයෙන් එල්ලවන පීඩනයන්ට ගොදුරුවීමේ ඉඩක් පවතින බවත් චෝදනා එල්ල වේ.

එහෙත් චීනය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, ඇතැම් බටහිර රටවල් තම ප්‍රතිරූපයට හානි කිරීම සඳහා මෙම මතය ප්‍රවර්ධනය කරන බවට ආපිට චෝදනා කරයි.

“චීනයෙන් ණය ගැනීම නිසා ඊනියා ‘ණය උගුලකට’ වැටුණු එකදු රටක්වත් නැතැ”යි ඔවුන් පවසයි.

චීනයේ ණය දීම ගැන අප දන්නේ කුමක්ද?

චීනය යනු ලොව විශාලතම තනි ණය දෙන රටවලින් එකකි.

එය, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට ලබාදුන් ණය පසුගිය දශකය තුළ තුන් ගුණයකින් වැඩිවී ඇති අතර, 2020 වසර අවසන් වන විට එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 170ක් පමණ විය.

Chart shows China's over lending has been growing over the past decade.
ඡායාරූප ශීර්ෂ වැකිය,චීන ණය වර්ධනය වූයේ මෙසේ යි

කෙසේ වෙතත්, චීනය ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය මෙම සංඛ්‍යාලේඛනවලට වඩා සැලකිය යුතු ලෙස වැඩිවීමේ සම්භාවිතාවක් ඇත.

එක්සත් ජනපදයේ විලියම් සහ මේරි විශ්වවිද්‍යාලයයට අයත් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයක් වන AidData විසින් කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබා දෙන ණයවලින් අඩක්ම නිල ණය සංඛ්‍යාලේඛන මඟින් වාර්තා නොකෙරෙන බව යි.

මෙම “සැඟවුණු ණය” බොහෝවිට රජයකින් රජයකට සෘජුව ලබා නොදී, චීන රජයේ ශේෂ පත්‍රවලින් ද බැහැරව, එම රජය සතු සමාගම් සහ බැංකු, හවුල් ව්‍යාපාර හෝ පෞද්ගලික ආයතන වෙත යොමු කෙරේ.

AidData ආයතනයට අනුව, මේ වන විට මෙම “සැඟවුණු ණය” හේතුවෙන්, සිය වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයෙන් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් ණයට හිලව් කරන්නට සිදුවන අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් හතළිහකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබේ.

ජිබුටි, ලාඕසය, සැම්බියාව, සහ කිර්ගිස්තානය චීනයට ණයව ඇති මුදල, එම රටවල වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 20%ට සමාන ය.

චීනයට ගෙවිය යුතු ණයවලින් වැඩි ප්‍රමාණයක්, ජනාධිපති ෂී ජිංපින්ගේ ‘එක් තීරයක්, එක් මාවතක්’ ව්‍යාපෘතිය යට‍තේ ක්‍රියාත්මක වන මහා මාර්ග, දුම්රිය මාර්ග, සහ වරාය වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සහ පතල් හා බලශක්ති කර්මාන්තය හා බැඳී පවතියි.

‘ණය උගුලක්’ යනු කුමක් ද ? ඒ සම්බන්ධ සාක්ෂි තිබේ ද?

BBCය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍යයේ විදේශ ඔත්තු සේවා ආයතනය වන MI6හි ප්‍රධානියා වන රිචඩ් මුවර් පැවසුවේ, චීනය අනෙකුත් රටවල් පාලනය කිරීම සඳහා මෙම “ණය උගුල්” භාවිතා කරන බව යි.

මෙහිදී ඉදිරිපත් වන චෝදනාව වන්නේ, චීනය වෙනත් රටවලට මුදල් ණයට දී, එම ණය ආපසු ගෙවීමට අපොහොසත් වන විට එරට ප්‍රධාන වත්කම්වල පාලනය අත්හැර චීනය වෙත ලබාදීමට ඔවුන්ට සිදුවන බව යි. මේ චෝදනාව චීන රජය විසින් දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප වන්නකි.

චීනයේ විවේචකයින්ගේ නිතර සඳහන් කරන උදාහරණයක් වන්නේ, වසර ගණනාවකට පෙර චීන ආයෝජන මඟින් හම්බන්තොට දැවැන්ත වරාය ව්‍යාපෘතියක් ආරම්භ කළ ශ්‍රී ලංකාව යි.

චීන ණය සහ කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින් සිදුකළ ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපෘතිය මතභේදයට තුඩුදුන් අතර, එහි සාර්ථකත්වය ඔප්පු කිරීමට දුෂ්කරව පවතින අතරේ ශ්‍රී ලංකාව වැඩෙන ණය බරින් මිරිකී ගියේ ය.

අවසානයේ 2017 වසරේ දී, තවදුරටත් ලබාදෙන චීන ආයෝජන සඳහා හිලව් වශයෙන්, චීන රජයට අයත් චයිනා මර්චන්ට් සමාගමට 99 වසරක බදු පදනම මත වරායේ 70%ක කොටස්වල පාලනය ලබා දීමට ශ්‍රී ලංකාව එකඟ විය.

Sri Lankan police stand guard during a protest against the proposed sale of a stake in a loss-making port to a Chinese company in Colombo
හම්බන්තොට වරායේ කොටස් චීන සමාගමට ලබාදීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ විරෝධය පළ කරති (2017 වසරේ ඡායාරූපයකි)

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති නිර්මාපක ආයතනයක් වන ‘චැතම් හවුස්’ වරාය ව්‍යාපෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, එම සිදුවීමට “ණය උගුල” යන ආඛ්‍යානය එලෙසින්ම අදාල වන්නේදැ යි ප්‍රශ්න කරයි. මක්නිසාද යත්, මෙම ගනුදෙනුව ලාංකික දේශපාලන අරමුණු විසින් මෙහෙයවන ලද්දක් වන අතර, චීනය කිසි විටෙකත් වරායේ හිමිකාරිත්වය විධිමත්ව ලබාගෙන නොමැත.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් විශාල ප්‍රමාණයක් චීන නොවන ණය දෙන්නන්ගෙන් ලබාගත් ණය බවත්, වරායෙන් උපායමාර්ගික යුධමය වාසි ලබා ගැනීම සඳහා චීනය තම ස්ථාවරය ප්‍රයෝජනයට ගත් බවට කිසිදු සාක්ෂියක් තවමත් හමුවී නොමැති බවත් ය.

කරුණු එසේ තිබියදීත්, පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ චීනයේ ආර්ථික මැදිහත්වීම වර්ධනය වී ඇති බවට සැකයක් නොමැති අතර, කලාපය තුළ සිය දේශපාලන අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට මෙය යොදාගනු ඇතැ යි යන සැකය තවදුරටත් ඉතිරිව පවතියි.

චීනයේ ණය දීම මතභේදාත්මක බව පෙන්නුම් කරන වෙනත් රටවල් ද තිබේ. ඔවුන් සිය රටවල වැදගත් වත්කම්වලට චීන බලපෑම් එල්ලවන ලෙස චීනය සමග ගිවිසුම් හරහා බැඳී සිටියි.

එහෙත් AidData සහ තවත් සමහර පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලද සිය ගණනක් වූ ණය විධිවිධාන අතර, චීන රජයට අයත් ණය දෙන්නන් විසින් ණය පැහැර හැරීමක දී ප්‍රධාන වත්කමක් සිය භාරයට ගන්නා ලද අවස්ථාවන් වාර්තා වී නො මැත.

චීනයේ ණය දීම අනෙක් රටවල් සමග සසඳන්නේ කෙසේ ද?

චීනය සිය විදේශ ණය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් නොකරන අතර, ණය ගැනුම්කරුවන්ට විසින් කොන්ත්‍රාත්තුවල අන්තර්ගතය හෙළි කිරීම වළක්වන රහස්‍යභාවය පිළිබඳ වගන්ති ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවලින් බහුතරයක අඩංගු වේ.

ජාත්‍යන්තර ණය ගිවිසුම් සඳහා එම මට්ටමේ රහස්‍යභාවය සාමාන්‍ය බවට චැතම් හවුස් තර්ක කරයි.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ලී ජෝන්ස් පවසන්නේ, “ජාත්‍යන්තර වාණිජ ණය හුවමාරු අතරේ රහස්‍ය ගිවිසුම් ඉතා සුලබ” බව යි.

“ඒ වගේම, චීනය සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ මූලික වශයෙන්ම වාණිජ මෙහෙයුමක් විදියට යි,” ඔහු පවසයි.

ප්‍රධාන කාර්මික රටවල් බොහොමයක්ම ‘පැරිස් සමාජය’ ලෙස හඳුන්වන සාමාජිකත්වය හරහා ඔවුන්ගේ ණය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු බෙදා ගනියි.

චීනය මෙම කණ්ඩායමට සම්බන්ධ නැති නමුත්, ලෝක බැංකු දත්ත භාවිතා කරමින් සසඳන විට, චීනයෙන් වාර්තා වූ ණය දීමේ වේගවත් වර්ධනය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය.

Chart shows China lends more than other official creditors.
ලොව ප්‍රමුඛතම ණය දෙන්නන්

චීන ණය ගෙවීම අසීරු ද?

චීනය, බටහිර රාජ්‍යයන් අය කරනවාට වඩා ඉහළ පොලී අනුපාතවලට ණය දීමට කටයුතු කර තිබේ.

4%ක් පමණ වන පොලී අනුපාතයක් ඇති මෙම ණය වාණිජ වෙළඳපොළ අනුපාතවලට ආසන්න වන අතර, සාමාන්‍ය පරිදි ලෝක බැංකුවෙන් හෝ, ප්‍රංශය හෝ ජර්මනිය වැනි තනි රටකින් ලබා ගන්නා ණයෙහි පොලී අනුපාතය මෙන් හතර ගුණයක් පමණ වේ.

අනෙකුත් ණය දෙන්නන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහනදායී ණය ආපසු ගෙවීම සඳහා වසර 28ක පමණ කාලයක් ලබාදෙන විට, චීන ණයක් ආපසු ගෙවීමට ලබාදෙන කාලය සාමාන්‍යයෙන් වසර 10කට වඩා අඩු ය.

China automated counting machine in bank
චීන ණය සඳහා වන පොලී අනුපාත, වෙනත් සමහර ණය දෙන්නන්ගේ පොලී අනුපාතවලට වඩා වැඩි ය

සාමාන්‍යයෙන් චීන රජයට අයත් ණය දෙන්නන් ද, තමාට ද ප්‍රවේශය ඇති අක්වෙරළ ගිණුමක අවම මුදල් ශේෂයක් පවත්වා ගැනීමට ණයගැතියන්ට අණවයි.

AidDataහි විධායක අධ්‍යක්ෂ බ්‍රැඩ් පාර්ක්ස් පවසන්නේ, “ණය ගැණුම්කරුවෙකුට තමන්ගේ ණය ආපසු ගෙවීමට නොහැකි වුණොත්, අධිකරණ ක්‍රියාවලියක් හරහා බොල් ණය එකතු කිරීමකින් තොරව චීනයට මේ අක්වෙරළ ගිණුම්වලින් මුදල් ලබාගත හැකියි,” යන්න යි.

බටහිර ණය දෙන්නන් ලබාදෙන ණයවල දී මෙම ප්‍රවේශය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

වසංගතයේ බලපෑම්වලට මුහුණ දීමට උපකාර කිරීම සඳහා දුප්පත් රටවලට ණය සහන ලබා දීමට, ලොව විශාලතම හා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් ඇති G20 ජාතීන්ට අයත් රටවල් දැනටම මුලපුරා තිබේ.

මෙයට සම්බන්ධ වී ඇති චීනය, ඒ සඳහා සහභාගී වූ අනෙක් ඕනෑම රටකට වඩා “ඉහළම ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමට” තමන් දායක වූ බව පවසයි.

ලෝක බැංකුව පවසන්නේ, 2020 මැයි මාසයේ සිට මෙම යෝජනා ක්‍රමය යටතේ G20 රටවල් විසින් ඩොලර් බිලියන 10.3කට වඩා වැඩි ණය සහන ලබා දී ඇති බව යි.

නමුත් එක් එක් රට අනුව මෙම තොරතුරු ලබාදෙන්නැ යි අප ලෝක බැංකුවෙන් ඉල්ලා සිටි අවස්ථාවේ, එම තොරතුරු ලබාදීම ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

bbc sandesaya

Recommended For You

About the Author: Thusal