‘දිළිඳුකම පිටුදැකීමේ චීන ආශ්චර්යය‘ : ඔබ දැන ගත යුතුම කතාව

ලෝක දේශපාලන චෙස් පුවරුව මත චීනයේ භූමිකාව බොහෝ විවාදාපන්න වුවත්, චීනය සිය පොළොව මතින් ආන්තික දිළිඳුභාවය මුලිනුපුටා දැමූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා කිසිදු සැකයකින් තොරව පිළි ගන්නා සත්‍යයකි. මේ ආශ්චර්යය කුමක් ද? එය සිදු වූයේ කෙසේ ද? මෙම ලිපිය මගින් ගවේෂණය කෙරෙන්නේ එයයි.

“මම චීනයේ සංචාරය කරන හැම අවස්ථාවක දීම චීනයේ ආර්ථිකය, සංවර්ධනය වන වේගය සහ එහි ප්‍රගතිය දැක ඇත්තටම විස්මයට පත් වුණා. ඔවුන් ඒ තරමටම ඉතාම වේගවත් ලෙසත්, ඉතාම සැලැසුම්සහගත ලෙසත්, ප්‍රගතිශිලී ලෙසත් තමන්ගේ රට සංවර්ධනය කරනු ලබමින් සිටිනවා. මම මෙතෙක් ලෝකයේ කිසි තැනක දැක නොමැති අතිශයින්ම ගතික ආර්ථිකයක් ඔවුන් විසින් ඉතා වේගයෙන් ස්ථාපනය කරමින් සිටිනවා. ඒ සියල්ලටම වඩා මිලියන 800ක් ඉක්ම වූ ජනතාවක් අන්ත දිළිඳුකමින් මුදවා ගැනීම  සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද වැඩපිළිවෙළ ඇත්තෙන්ම ආශ්චර්යයක් වගෙයි. ඇත්තටම මෙතෙක් මානව ඉතිහාසයේ ක්‍රියාත්මක වූ අතිවිශාලතම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයට ඔවුන් විසින් සැබැවින්ම පණ දී තිබුණා. ඔව්… ඒක මම ඇස්පනා පිටම දැක්කා”.

මේ චීනයේ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් විසින් 2019 වසරේ දී ප්‍රසිද්ධ හමුවක දී දක්වන ලද අදහසක්. දිළිඳුකම පිටුදැකීම සඳහා චීනය අනුගමනය කර ඇති ක්‍රියාවලිය පිළිබඳව පරිපූර්ණ චිත්‍රයක් මෙම ප්‍රකාශයෙන් ගම්‍යමාන වනවා. මේ වන විට සමස්ත ලෝකයම විවාදයකින් තොරව පිළිගන්නා සත්‍යයක් බවට පත්ව ඇත්තේ, චීනය විසින් සිය රටේ වැසියන් ආන්තික දිළිඳුකමින් මුදා ගැනීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන අත්‍යයන්තයෙන්ම කැපීපෙනෙන එකක් බවයි. එබැවින්, ඒ පිළිබඳව වන ඇතුළාන්ත දැනුම සොයා යෑම මෙම ලිපි පෙළේ අරමුණයි. ආන්තික දිළිඳුබව සහ චීන දර්ශනය ආන්තික හෝ අන්ත දරිද්‍රතාව නැත්නම් extreme poverty ලෙස ලෝක බැංකුව හඳුන්වන්නේ දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90ක් හෝ ඊට අඩුවෙන් ලබන පිරිස් ඇතුළත් සමාජ තත්ත්වයක්. නමුත්, චීනය මෙම නිර්ණායකය මඳක් වෙනස් කර එය දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2.50ක් දක්වා ඉහළ අගයක රඳවා තිබෙනවා.


එසේත් නැතිනම් චීන යුවාන් 16ක අවම දෛනික ඒකපුද්ගල ආදායමක් ලෙස එය නම් කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 500.00කට ආසන්න අගයක්. මෙහි අර්ථය වන්නේ චීනය ආන්තික දිළිඳුකම ලෙස සලකන්නේ පුද්ගලයකුගේ දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 2.50ක් හෝ ඊට අඩුවෙන් ලබන පිරිස්. එමෙන්ම වෙනත් රටවලට වඩා මෙහි දී සලකා බලන තවත් ප්‍රධාන නිර්ණායක 03ක් ද තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ජීවන තත්ත්වයයි. සුදුසු වාසස්ථානයක්, බීමට පිරිසිදු පානීය ජලය, රැකියාවක් හෝ ස්වයං නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මූලික අවශ්‍යතා මෙම ජීවන තත්ත්වය යන්නට ඇතුළත්. දෙවැන්න අත්‍යවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් සහ අවශ්‍යතාවන් ලබා ගැනීමට ඇති හැකියාවයි. තෙවැන්න වන්නේ ප්‍රමාණවත් සහ නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා ඇති පහසුකම්වල තත්ත්වයයි. මනා ජීවන තත්ත්වය, මූලික සෞඛ්‍ය පහසුකම් සහ මූලික අධ්‍යාපන පහසුකම් සහිතව දිනකට අවම ආදායම ඩොලර් 2.50ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා අය පමණක් චීනය ආන්තික දිළිඳුකමින් මිදුණු ජන කොටස් ලෙස පිළිගන්නවා. නමුත්, බටහිර නිර්ණායක තුළ එවැන්නක් නොමැති අතර, එහි ඇති එකම නිර්ණායකය වන්නේ පුද්ගලයකුගේ දිනක ආදායම ඩොලර් 1.90ක් වීම පමණයි. ඒ අනුව පැහැදිලි වන්නේ බටහිර අර්ථයෙන් වන ආන්තික දිළිඳුකම සහ චීනය සලකන ආන්තික දිළිඳුකම අතර පැහැදිලි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වෙනසක් තිබෙන බවයි. කොටින්ම චීනය ආන්තික දරිද්‍රතාවෙන් මිදුණා යැයි පිළිගන්නේ ජනතාවට අවශ්‍ය කරන මූලික මිනිස් අවශ්‍යතාවන් සපිරුණු තත්ත්වයක් මිස හුදු මුදල් ප්‍රමාණයක් පමණක් ම නෙමෙයි. ඒ දරිද්‍රතාව පිළිබඳව වන බටහිර දර්ශනය සහ චීන භාවිතය දෙකක්.

දිළිඳුකම පිටුදැකීමේ චීන වැඩපිළිවෙළ

1990 වසර වන විට චීන ජනතාවගෙන් මිලියන 850ක් නැත්නම් සමස්ත ජනගහනයෙන් 98%ක් සිටියේ ආන්තික දිළිඳුකමින් පහළ මට්ටමකයි. නමුත්, මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. 2013 වසරේ දී වේගවත් කරන ලද දිළිඳුකම පිටුදැකීමේ දැවැන්ත අරගලය නිමාවට පත් කරමින් 2021 පෙබරවාරි 25දා චීනය ප්‍රකාශයට පත් කළේ සිය රට මුළුමනින්ම ආන්තික දිළිඳුකම සිය රටෙන් මුලිනුපුටා දැමූ බවයි. ඒ අනුව බිලියන 1.4ක් වන චීන ජනතාවගෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 2.50ට අඩුවෙන් ආදායම් ලබන කිසිවකුත් මේ වන විට චීනය තුළ නැහැ. එමෙන්ම ලෝකයේ සෙසු ආන්තික දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් මෙන් නොව මූලික මිනිස් අවශ්‍යතාවන් සියල්ල සපුරාලන තත්ත්වයක් සිය රටේ ජනතාවට සම්පාදනය කර තිබෙනවා. 1979 වසරේ දී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිය ආර්ථිකය ලෝකයට කොන්දේසි සහිතව විවෘත කරනු ලැබුවා. එය හඳුන්වන්නේ Reform and opening-up කාල පරිච්ඡේදය ලෙසයි. මේ වන විට සැලැකෙන්නේ 1980 වසරෙන් පසුව ලෝකයේ සිදු වූ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වලින් 70%ක් සඳහා දායකත්වය ලබා දී තිබෙන්නේ චීනයයි. 2013 වසරේ සිට 2020 වසරේ අග දක්වා මෙම ව්‍යාපෘතිය සඳහා චීනය විසින් ඩොලර් බිලියන 250ක් පමණ වියදම් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජාතික ආදායම මෙන් තුන්ගුණයකට ආසන්න අගයක්. එම කාලය තුළ පමණක් පුද්ගලයන් මිලියන 100ක් අන්ත දරිද්‍රතා කඩඉමෙන් මෙපිටට රැගෙන විත් තිබෙනවා.

දිළිඳුකම පිටුදැකීමේ චීන කාර්යසාධනය

මෙම වසර 07ක කාලය තුළ චීනය විසින් සිය රටේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් මිලියන 1.1ක් කාපට් අතුරා අංග සම්පූර්ණ මාර්ග බවට පත් කර තිබෙනවා. 100%ක් ග්‍රාමීය ජනතාව වෙත අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. 100%ක් ගම්මාන සඳහා විදුලිය ලබා දී තිබෙනවා. 100%ක් ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබා දී තිබෙනවා. අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන සියලු ම පහසුකම් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ද අවශ්‍ය කරන සියලුම මූලික යටිතල පහසුකම් ඉදිකර ලබා දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජනතාව වෙනත් සුදුසු ස්ථානවල නැවත පදිංචි කරන අතර, ඇතැම් අවස්ථාවල පවතින නිවාස හෝ වාසස්ථාන නවීකරණය කරනු ලබනවා. එම දිළිඳු ජනතාව සුදුසු ස්ථානවල නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පුද්ගලයන් මිලියන 9.6ක් මෙම වසර 07ක කාලය තුළ පදිංචි කර තිබෙන අතර, ඒ සියලු දෙනාට අංගසම්පූර්ණ නිවාස ඉදි කර ලබා දී තිබෙනවා. එමෙන්ම පවතින නිවාස අලුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති ශ්‍රේණිගත වැඩසටහන යටතේ මිලියන 26ක් දෙනාට ප්‍රතිලාභ බෙදා දී තිබෙනවා. මේ ආකාරයට චීනයේ අතිශය දුෂ්කර ගම්මාන 1,28,000ක් මෙලෙස දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළකට ලක් කිරීම විශේෂත්වයක්.

ගම ගැන තීන්දු ගමෙන්ම

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගන්නා ලද තීරණයකට අනුව දිළිඳුකමින් පීඩාවිඳින සෑම ගමක් සඳහාම කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාධරයකු පත් කර සිටිනවා. එලෙස පත් කරන ලද තැනැත්තා අනිවාර්යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලද, විශේෂයෙන් සංවර්ධනය සහ ආර්ථිකයට අදාළ ප්‍රාමාණික දැනුමක් සහිත පුද්ගලයකු වන අතර, ඔහු හෝ ඇය කෙළින්ම වගකියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයටයි. එමෙන්ම අදාළ ගමේ භෞතික පිහිටීම, එහි ඇති සම්පත්, මූලික අවශ්‍යතාවන්, ජනතාව පිළිබඳව වන විද්‍යානුකූල හැදෑරීමක්, සංවර්ධනයට අදාළ ප්‍රමුඛතා ලේඛනයක්, විකල්ප සංවර්ධන ප්‍රවේශයන්, මූලික අවශ්‍යතාවන් පිළිබඳ ප්‍රමුඛතා ලේඛනයක් ඇතුළු සම්ප්‍රයුක්ත සංවර්ධන සැලැස්මක් මෙම විශේෂඥයා විසින් සම්පාදනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික හා විශේෂඥ ඥානය වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ව්‍යුහයන් වෙතින් ලබා ගැනීමට අදාළ නියෝජිතයාට බලය තිබෙනවා.

එමෙන්ම මාසිකව ඔහු හෝ ඇය විසින් සිය ප්‍රගතිය පක්ෂයට වාර්තා කළ යුතුයි. අදාළ නියෝජිතයා බොහෝ දුරට අදාළ ගමේම නවතින අතර, එසේ නොවන්නේ නම්, අවශ්‍ය පරිදි එහි පැමිණ අදාළ මැදිහත් වීම සිදු කරයි. මෙම සංයුක්ත ග්‍රාමීය සංවර්ධන සැලැස්ම සකස් කිරීම, ක්‍රියාවේ යෙදැවීම මෙන්ම අඩුපාඩු සොයාබැලීම සහ නැවත සකස් කිරීම වැනි අවස්ථා සඳහා ගමේ වෙසෙන සියලුම වැඩිහිටියන් සම්බන්ධ කර ගනු ලබනවා.

වෙනත් වචනයකින් පවසන්නේ නම් සැබෑ ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් (Community Participatory Development Approach) එහි දැකිය හැකියි. ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය 1970 දශකයේ සිටම බටහිර බලවතුන්, උගතුන් හා වියතුන් විසින් භාවිත කරන ලද සංවර්ධන ප්‍රවේශයක් වුවත්, එමඟින් ලෝකයේ කිසිදු රටකට තවමත් දිළිඳුකම පිටුදැකීමට හැකි වී නැහැ. නමුත්, මෙහි භාවිතය චීනය තුළ පමණක් මුළුමනින්ම වෙනස් වී තිබෙනවා.

අවසානයේ දී ආන්තික දිළිඳුකමින් අදාළ ගම මුදාගැනීම පත් කර සිටින කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයාගේ වගකීමයි. එයින් මිදීමට හෝ නිදහසට කරුණු කීමට ඔහුට හෝ ඇයට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අදාළ කාලය තුළ ඔහු හෝ ඇය අදාළ ඉලක්කය සපුරා ගත යුතුයි. ඉතාම කෙටි කාලයක් තුළ එකවර චීනය තුළ තිබූ ආන්තික දිළිඳුකම ඉවත් කිරීමට හැකි වූයේ මෙම බිම් මට්ටම දක්වා විහිදුණු ප්‍රායෝගික හා විද්‍යානුකූල සංවර්ධන යාන්ත්‍රණය නිසයි.

පළමු මූලෝපායික සැලැස්ම දිළිඳුකම මුළුමනින්ම පිටුදැකීම සඳහා චීනය අනුගමනය කළ වැඩසටහන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. එලෙස මෙම වැඩපිළිවෙළ කොටස් දෙකකට බෙදිය හැක්කේ ඔවුන් අනුගමනය කළ ආර්ථික උපායමාර්ග සමඟ සංවර්ධන උපායමාර්ග ගැළපීමෙන්. ඒ අනුව 1949 – 1979 කාලසීමාව සහ 1979 සිට මේ දක්වා කාලසීමාව ලෙස අදාළ කාල බෙදා වෙන් කළ හැකියි. මෙම කාලපරිච්ඡේදවල දී චීනය විසින් අනුගමනය කරන ලද සංවර්ධන මූලෝපායයන්වල පැහැදිලි සහ කැපී පෙනෙන වෙනස්කම් දැකිය හැකියි. විශේෂයෙන් 1949 වසරේ දී රාජ්‍ය බලය අත්පත් කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයට තිබූ ප්‍රධානතම අභියෝගය වූයේ ඒ වන විටත් මිලියන 550ක් වූ සමස්ත චීන ජනතාවගේ ජීවන තත්ත්වය පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්නේ කෙසේ ද යන්නයි. ඒ අවස්ථාව වන විට චීනය බරපතළ ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබිණ.

එක් පසෙකින් ජපාන අධිරාජ්‍යවාදය විසින් මිනිස් ජීවිත මිලියන ගණනක් බිලිගෙන තිබුණ අතර, වසර 14කට අධික කාලයක් පැවැති මෙම සිවිල් යුද්ධය හේතුවෙන් රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවැටී තිබුණා. එහි බලපෑම ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික වැනි සෑම ක්ෂේත්‍රයක් පුරාම කිඳාබැස තිබුණා. මෙම තත්ත්වය කෙතරම් ප්‍රබල වී ද යත්, 1949දී චීන කොමියුනිස්ට් පක්ෂය රටේ බලය අල්ලා ගන්නා විට ලෝකයේ දිළිඳුම රටවල් අතර චීනය පැවැති අතර, චීනයේ ඒක පුද්ගල ආදායමට වඩා පහළින් තිබුණේ ආසියාවේ රටවල් දෙකක් සහ අප්‍රිකාවේ රටවල් 08ක් පමණයි. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය බලය ගන්නා මොහොතේ එය ලෝකයේ 11 වැනි දුප්පත්ම රටයි.

සියලු ඉඩම්, ව්‍යාපාර රාජ්‍ය පාලනයට

රාජ්‍ය බලය ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සුවහසක් ජනී ජනයාගේ අභිලාෂයන් වූයේ ජීවත් වීමට හැකි රටක්, මූලික මිනිස් අවශ්‍යතාවන් සැපිරෙන රටක් සහ මූලික අයිතීන් සුරක්ෂා වන රටක් තමන්ට දායාද වේ යැයි කියායි. මිලියන 550ක මෙම ජනතා අභිලාෂයන් ඉතා ප්‍රබලයි. රට දිළිඳුකමින් මුදාගැනීමේ වගකීම බැර වී තිබුණේ කොමියුනිස්ට් පක්ෂය වෙතයි. කාලාන්තරයක් තිස්සේ බලපා තිබුණු දිළිඳුකම සහ සමාජ සැකැස්ම තව දුරටත් කඩාවැටීම වැළැක්වීම මූලික අරමුණ වුණා. එමෙන්ම පවතින තැනින් එය ඉහළට ඔසවා තැබීම දෙවැනි අභියෝගය වුණා. ඒ අතර මිනිසුන්ගේ මූලික මිනිස් අවශ්‍යතාවන් සම්පාදනය කිරීම ඊ ළඟ ඉලක්කය වුණා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සහ වැඩ කරන ජනතාව ඒ වන විටත් විශාල වශයෙන් පීඩාවට පත්ව සිටි අතර, ඔවුන් එයින් මුදාගැනීම විශාල අභියෝගයක් වුණා. මෙම අභියෝගය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අනුගමනය කළ මූලෝපායයික වැඩපිළිවෙළ වූයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පෞද්ගලික අයිතිය ඉවත් කර එය පොදු අයිතිය බවට පරිවර්තනය කිරීමයි. ඒ අනුව සමාජයේ බලවත් පුද්ගලයන් අත තිබූ පමණ ඉක්ම වූ සියලු ඉඩම් ජනසතු කරන ලද අතර, පිටිසරබද ගොවීන් වෙත ඒවා බෙදා දෙනු ලැබුවා. ඒ යටතේ රටේ සමස්ත ජනගහනයෙන් 90%කට පමණ ඉඩම්වල වගා කිරීමේ හිමිකාරීත්වය හිමි වුණා. සාමුහික ගොවිබිම් හිමිකාරීත්වයක් නිර්මාණය කරනු ලැබුවා. එමෙන්ම මිලියන ගණනක් ගොවීන් කෘෂි සමුපකාර ව්‍යාපාරය වටා සංවිධානය කරනු ලැබුවා. ඊට සමාන්තරව පෞද්ගලික ව්‍යාපාරය ක්‍රමයෙන් අහෝසි කරනු ලැබුවා. 1956 වසර වන විට මෙම තත්ත්වය සම්පූර්ණ කරනු ලැබු අතර, තව දුරටත් පෞද්ගලික අයිතියේ මහා පරිමාණ ගොවිබිම් හෝ ව්‍යාපාර පැවැතියේ නැහැ.

සාමුහික කෘෂි නිෂ්පාදන මාදිලිය

චීනයේ බහුතරයක් ජනතාව ගොවීන්. නමුත්, ඒ වන තෙක් ඔවුන්ට ඉඩම්වල අයිතිය හිමිව තිබුණේ නැහැ. එහෙත්, එම අයිතියක් නැති ඉඩම්වල ගොවීන් විසින් වගා කරනු ලැබුවා. ඒ ඉඩම් හිමියන් වෙනුවෙන්. එහි ආදායමින් සොච්චමක් ගොවීන්ට ලැබුණ අතර, විශාල කොටස ඉඩම් හිමියන් විසින් අත්පත් කර ගනු ලැබුවා. ඒ ඉඩම්වල අයිතිය පදනම් කොට ගෙන. මෙම තත්ත්වය 1956 වසර වන විට වෙනස් වූ අතර, මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ සියලුම ඉඩම් රජයට පවරාගෙන ඒවා පිටිසරබද ගොවීන් වෙත බෙදා දෙනු ලැබුවා. එමෙන්ම සාමුහික ගොවිපොළ ක්‍රමය හඳුන්වා දෙමින්, කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගොවීන් පොළඹවනු ලැබුවා. එමෙන්ම අස්වැන්න සම්බන්ධයෙන් ද පොදු සාමුහික වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවා. අතිරික්ත නිෂ්පාදනය සමුපකාර ක්‍රමය හරහා රජය අත්පත් කර ගත් අතර, කෘෂිකාර්මික නිෂ්පාදනයේ අතිරික්ත නිෂ්පාදනයෙන් උපයන ධනය, කාර්මික අංශයේ නැතිනම් කර්මාන්ත අංශයේ ආයෝජනය කිරීම සහ ඒ හරහා රටේ දිළිඳුකම පිටුදැකීම රජයේ සංවර්ධන උපායමාර්ගය බවට පත් වී තිබුණා. මෙහි දී සිදු වූයේ එතෙක් පැවැති පෞද්ගලික ඉඩම් හා මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරවල අයිතිය ජනසතු කිරීමයි. එතෙක් අතිරික්ත නිෂ්පාදනය පෞද්ගලික හිමිකරුවන් විසින් අත්පත් කර ගත් ක්‍රමවේදය වෙනුවට එය රජය අත්පත් කරගෙන ජනතාවට සමාන අවස්ථා ලැබෙන පරිදි ප්‍රතිබෙදාහැරීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් විශාල විවේචනයක් මුල් අවස්ථාවේ දී චීනයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ මධ්‍යම පාන්තිකයන්ගෙන් එල්ල වුණත්, එය වෙනස් වුණේ නැහැ.

දුෂ්කරතා මැද ජීවන තත්ත්වය ඉහළට

1949 වසරේ සිට 1978 වසර දක්වා පුරා වසර 29ක් දිළිඳුකම පිටුදැකීම සහ යහපත් සමාජ තත්ත්වයක් ඇති කිරීම සඳහා චීනය අනුගමනය කළ සංවර්ධන මූලෝපාය වූයේ මෙයයි. මෙම කාලය තුළ චීන ජනගහනය 1949 ජනගහනයට සාපේක්ෂව ආසන්න වශයෙන් දෙගුණ වී මිලියන 940ක් බවට පත්ව තිබුණා. කෙසේ වෙතත්, චීනයේ ජනතාවගේ ආයු අපේක්ෂාව වසර 32කින් පමණ ඉහළ ගියා. වෙනත් විදිහකට පවසන්නේ නම්, චීන විප්ලවයෙන් පසුව සෑම වසරකම වැසියන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ ඉහළ ගියා. 1949 වසර වන විට චීන වැසියන්ගේ අකුරු ලිවීමේ සහ කියැවීමේ හැකියාව නැතිනම් සාක්ෂරතාව පැවැතියේ 20%ක තරම් පහළ අගයක වුවත්, එය මෙම කාලය තුළ නාගරික ප්‍රදේශවල 83%ක් ලෙසත්, ග්‍රාමීය ප්‍රදේශවල 65%ක් ලෙසත් වර්ධනය වුණා. එමෙන්ම මෙම කාලය තුළ ළමයින් පාසල්වලට ඇතුළු වීම 90%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගියා. එමෙන්ම රෝහල් ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි වුණා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබුණු පාසල් සහ සෞඛ්‍ය පහසුකම් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කරනු ලැබුවා. මධ්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් ඇති කරනු ලැබුවා. වෛද්‍යවරුන් විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල සේවයට අනිවාර්යය කර පිටත් කර හැරියා. ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා අවශ්‍ය පරිදි සහ ප්‍රමාණවත් පරිදි ජනතාවට ලබා දීම සඳහා ජවයක් ලබා ගත්තේ කෘෂිකර්මාන්තයෙන් ලද අතිරික්ත වටිනාකම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීම හේතුවෙන්. මෙම කාලය තුළ කෘෂි සංවර්ධනයේ අතිරික්තය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීම හේතුවෙන් 12%ක පමණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වාර්ෂික වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණා. මෙහි ක්‍රමානුකූල වර්ධනය සනිටුහන් කරන්නේ 1970දී. චීනය විසින් සිය රටේ නිපදවන ලද පළමු චන්ද්‍රිකාව වූ The Dongfanghong කක්ෂගත කිරීමත් සමඟයි.

ලොව මවිත කළ සංවර්ධනයේ දෙවැනි ඉනිම

1949-78 මෙම වසර 29ක කාලය තුළ චීනයේ සමස්ත ජනතා අවශ්‍යතාවන් සියල්ල තෘප්ත කිරීමට නොහැකි වුවත්, 1979න් පසුව චීනය ලෝකය තුළ ලබා ගත් බලවත් ආස්වාදජනක සංවර්ධන පිම්මට පදනම සැපයුවේ එම දශක 03ක කාලයේ රට තුළ ඇති කරන ලද කෘෂිකාර්මික ආර්ථික පදනමයි. ඉතාම නොදියුණු තැනක සිටි චීන සමාජය ගුණාත්මකව ඉහළට ඔසවා තැබීම මාඕ සේතුංගේ නායකත්වයෙන් යුතු කොමියුනිස්ට් පක්ෂයේ අරමුණ වී තිබුණා. විවිධ ප්‍රශ්න සහ පසුබෑම් මැද වුව ද, කෘෂිකාර්මික අතින් ශක්තිමත් රටක් ලෙස චීනය 1970 දශකය මැදභාගය වන විට ගොඩනැඟී තිබුණා.

Dim Sums: Rural China Economics and Policy: Rural Revitalization With  Chinese Characteristics

විශේෂයෙන් ලෝකයේ සහල්, එළවළු සහ අනෙකුත් ආසියානු ධාන්‍ය වර්ග සඳහා ලෝකයේ ප්‍රමුඛතම ස්ථානය චීනයට හිමිව තිබුණා. එම නිෂ්පාදන සිය හිතවත් රටවල් වෙත අපනයනය කිරීමෙන් විශාල සැලැකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගනිමින් තිබුණා. කෙසේ වෙතත්, ආර්ථිකය සංතෘප්ත තැනක හිර වීමට (Stagnation) පටන් ගැනීමත් සමඟ තාක්ෂණය සහ ප්‍රාග්ධනය චීන ආර්ථිකයට අත්‍යවශ්‍ය බව ඉස්මතුව පෙනෙන්නට වුණා. ඒ වගේම ලෝක වෙළෙඳපොළෙන් හුදෙකලාව තව දුරටත් ගමන් කිරීම චීනයට අභියෝගයක් වුණා. මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක නිරත වුණු චීන කොමියුනිස්ට් පක්ෂය ‘ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම’ නැත්නම් Reform and Opening- up නමැති ආර්ථීක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට හඳුන්වා දුන්නා. ඒ සඳහා නායකත්වය ගත්තේ ඩෙන් ෂියාඕපින්ග් (Deng Xiaoping) යි. ඔහුගේ ප්‍රකට කියමනක් වන්නේ “Pauperism is not Socialism. Still less Communism’’ එහි අර්ථය “දරිද්‍රතාව යනු සමාජවාදය නොවේ. දිළිඳුකමින් පීඩා විඳින්නේ නම්, අප තවමත් කොමියුනිස්ට්වාදයට බොහෝ පසුපසිනි” යනුයි. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විශ්වාස කරන්නේ, සිය රටේ කුමන හෝ දරිද්‍රතාවක් ඇත්නම්, එය කඩිනමින් මුලිනුපුටා දැමිය යුතු බවයි. 1979 ආර්ථීක ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේම දරිද්‍රතාව මුලිනුපුටා දැමීම මූලික එක් ඉලක්කයක් කරගෙනයි. අවසන් ඉලක්කය චීන ලක්ෂණ සහිත සමාජවාදී රටක් නිර්මාණය කිරීමයි.

1979න් පසුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලෝපායික තේමාව බවට පත් වුණේ ‘චීන ලක්‍ෂණ සහිත සමාජවාදය’ (Socialism with Chinese Characteristics) යන්නයි. චීනයේ සංවර්ධන මූලෝපායයේ දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟයි.

ලෝක ජනගහනයෙන් 20%කට චීනයෙන් ආහාර

චීනයේ ජනගහනය ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක්. නමුත්, චීනය සතු භූමියේ ප්‍රමාණය ලෝකයේ ඇති සමස්ත භුමි ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණයෙන් ද කෘෂිකාර්මික කටයුතු හෝ වගා හෝ වාසස්ථාන වැනි මානව අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි ඉඩම් ප්‍රමාණය 10%ක් පමණයි. ඉතිරි 90%ම කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත නොහැකි ඉඩම්. චීනය මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වූයේ ලෝක ජනගහනයෙන් පහෙන් එකක් සඳහා අවශ්‍ය කරන ආහාර ඉතාම සුළු භූමිභාගයක් තුළ නිපදවන්නේ කෙසේ ද යන්නයි.

China's 5 Most Beautiful Rice Terraces — Longji, Yuanyang...

මේ නිසාම සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා වන පළමු මූලෝපායික සැලැස්ම තුළ ඔවුන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වුයේ සිය ජනතාවට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමයි. එය තවත් බරපතළ අභියෝගයක් වූයේ වගා කළ හැකි සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත හැකි භූමිභාගවල පැවැති බරපතළ හිඟයයි. මුල් කාලයේ දී මෙම තත්ත්වය කෙතරම් ප්‍රබලව බලපෑවේ ද යත්, මිනිසුන්ට අවශ්‍ය ආහාර සඳහා විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වුණා. එය අතිශයින් ස්වාභාවික බලකිරීමක්. අද ද චීන වැසියන් අවමානයට ලක් කිරීම සඳහා බටහිර රටවල් භාවිත කරන “අහු වෙන ඕනෑම සතකු ආහාරයට ගන්නා” ජාතියක් බවට වන අපහාසාත්මක මතවාදය ස්ථාපනය කිරීම පිටුපස ඇති අතිශය ස්වාභාවික සත්‍ය එයයි.

පවුල මූලික කර ගත් කෘෂි නිෂ්පාදන මාදිලියක්

කෙසේ වෙතත්, පළමු මූලෝපායික සංවර්ධන සැලැස්ම තුළ මේ වන විටත් මිලියන 300ක් වන ග්‍රාමීය ජනතාව වෙත වගා කිරීම සඳහා ඉඩම් බෙදා දී තිබෙනවා. ඒ සාමුහික ඉඩම් භාවිතය යන මූලධර්මය තුළයි. 1960 දශකය මැද වන තෙක් සාමුහික ඉඩම් හිමිකාරීත්වය සහ කෘෂිකාර්මික සමුපකාර ක්‍රමය යටතේ ගොවීන් වගා කටයුතු සඳහා යොදවා තිබුණා. අතිරික්ත නිෂ්පාදනය රජය අත්පත් කර ගත්තා. මේ වන විට රට තුළ බරපතළ ආහාර අර්බුදයක් ඇතිව තිබූ අතර ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව සිටියා. එමෙන්ම සාමුහික ගොවිපළ ක්‍රමය සහ සමුපකාර ක්‍රමය පිළිබඳව විවේචන එල්ල වෙමින් තිබුණා. ඇතැම් වාර්තාවලට අනුව සාගතය හේතුවෙන් 1949 සිට 1960 දක්වා කාලය තුළ මිලියන 15ක් ජනතාව මිය ගිය බවට තොරතුරු හෙළි වී තිබෙනවා. සාමුහික ගොවිපොළ ක්‍රමයට චීන අවශ්‍යතාවන් සම්පාදනය කිරීම අපහසු බව දැනගත් චීන කොමියුනිස්ට් පක්ෂය සිය කෘෂි මූලෝපාය වෙනසකට ලක් කළා. ඒ අනුව මූලික සංවර්ධන මූලෝපයේ බරපතළ වෙනසක් ඇති කරමින් 1960 දශකයේ මැදභාගය වන විට ගෘහස්ථ ඒකක වෙත නිෂ්පාදනයේ වගකීම පවරමින් (Family Production Responsibility System) නීතියක් සම්මත කළ අතර, කෘෂි නිෂ්පාදන කටයුතු පවුල් ඒකක පදනම් කර නැවත සංවිධානය කරනු ලැබුවා.

ඒ අනුව නිපදවන අතිරික්ත නිෂ්පාදනය රජය විසින් සාධාරණ මිලක් යටතේ මිල දී ගනු ලැබුවා. ඒ වන විටත් සමුපකාර ක්‍රමය යටතේ සංවිධානගත කර සිටි සහ සාමුහික ගොවිපොළ ක්‍රමය යටතේ සංවිධානය වූ ගොවි ජනතාව නැවත පෞද්ගලිකව පවුල පදනම් කර ගත් නිෂ්පාදන රටාවකට හුවමාරු කරනු ලැබුවා. එහි ඉලක්කය වුණේ මිලියන 300ක් වන ගොවි ජනතාව පදනම් කරගෙන කෘෂිකාර්මික නිෂ්පාදන බලාගාර මිලියන 300ක් රට පුරා නිර්මාණය කිරීමයි. වැඩ කිරීම පෞද්ගලිකවත්, ප්‍රතිලාභ පොදුවේත් භුක්ති විඳින නව කෘෂි නිෂ්පාදන මාදිලිය ගොඩනැඟුණේ ඒ ආකාරයෙන්.

ඉල්ලා සිටි තාක්ෂණික දැනුම එන්නත්කරණය

ඉතාම අවම ඉඩම් ප්‍රමාණයක් යටතේ නිපදවන කෘෂිකාර්මික නිෂ්පාදන රටේ සමස්ත අවශ්‍යතාවට කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. කෘෂි නිෂ්පාදනය ඉහළ දැමීමට ඇත්තේ, විකල්ප දෙකක් පමණයි. එයින් පළමුවැන්න වගා කරන බිම් ප්‍රමාණය ඉහළ දැමීමයි. නැතිනම් ප්‍රමාණාත්මක වර්ධනයයි. නමුත්, එය සිදු කළ නොහැකි වූයේ චීනය සතු වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය සමස්ත චීන භූමියෙන් 10%කට සීමා වීමයි. දෙවැනි විකල්පය වුණේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ දැමීමයි.

ඒ අනුව චීන ආර්ථිකයට තාක්ෂණය සහ නව විද්‍යාත්මක දැනුම නොමැතිව පියවරක් හෝ ඉදිරියට යෑමට නොහැකි වුණා. මේ නිසාම පළමුව තාක්ෂණය සහ විද්‍යාව අවශ්‍ය වුණේ චීන කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයටයි. ඒ නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා විශේෂ අවධානයක් ගනු ලැබුවා. ඒ අනුව 1978න් පසුව වාණිජ කර්මාන්තයක් ලෙස ගොවිතැන වර්ධනය කිරීම ආරම්භ වුණා.

දියුණු තාක්ෂණය සහ විද්‍යාව ක්‍ෂේත්‍රයට හඳුන්වා දීම ආරම්භ වුණා. වැඩිදියුණු කරන ලද වගා ක්‍රම සහ බීජ හඳුන්වා දීම, කෘෂිරසායන සහ පොහොර භාවිතය, යාන්ත්‍රිකකරණය වැනි සංකල්ප මඟින් ඵලදායීතාව ඉහළ දැමීම ඉලක්කය වුණා. එමෙන්ම එතෙක් පැවැති ශ්‍රම සූක්ෂ්ම නිෂ්පාදනය වෙනුවට තාක්ෂණය මුලික කර ගත් නිෂ්පාදනයකට මාරු වුණා.

කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘති ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ සහ කෘෂි ව්‍යාපාරවල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීම වැනි වෙළෙඳපොළ ඉලක්ක කර ගත් තාක්ෂණික කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

Three Gorges Dam | Facts, Construction, Benefits, & Problems | Britannica

මෙම වැඩපිළිවෙළ යටතේ කෘෂිකාර්මික යෙදැවුම් සඳහා අවශ්‍ය කරන කර්මාන්ත විශාල වශයෙන් රට පුරා ඇති කර අදාළ කෘෂි යෙදැවුම් ඉල්ලුම සම්පාදනය කරනු ලැබුවා. ඊට සාපේක්ෂව රට තුළ කෘෂිකාර්මික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද ක්‍රියාත්මක වුණා. විශාල වශයෙන් මහා පරිමාණ වාරිකර්මාන්ත ආරම්භ වූ අතර, ලොව ප්‍රකට ‘දුර්ග තුනේ වේල්ල’ (Three Gorges Dam) වැනි දැවැන්ත ඉදිකිරීම් ආරම්භ වුණේ මෙම නව්‍ය ව්‍යාපාරය යටතේ. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ ද මහා පරිමාණයේ ගොවි බිම් විශාල ප්‍රමාණයක් ද තව දුරටත් ක්‍රියාත්මකව පැවැතියා.

ලෝකයේ විශාලතම කෘෂි නිෂ්පාදකයා

1984 පමණ වන විට චීනයේ සමස්ත සාමුහික ගොවිපොළවල කටයුතු කළ ගොවීන්ගෙන් 99%ක්ම පවුල පදනම් කර ගත් පෙර කී ගෘහස්ථ නිෂ්පාදන මාදිලියට මාරු කර අවසන් වුණා (Family Production Responsibility System). රට පුරා විසිරී සිටින ගොවීන් සහ රජය අතර අතිරික්ත නිෂ්පාදනය මිල දී ගැනීම සඳහා ස්වේච්ඡා වෙළෙඳ ගිවිසුම් ඇති වුණා. එමඟින් අතිරික්ත නිෂ්පාදනය අලෙවි කිරීම පිළිබඳ ගැටලු මඟහැරුණු අතර, ගම්බද ගොවීන්ට සැලැකිය යුතු විශාල ආදායමක් හිමි වුණා. රට පුරාම බිහි කරන ලද මෙම පවුල නැතිනම් ගෘහය පදනම් කර ගත් කෘෂි නිෂ්පාදන මාදිලිය හේතුවෙන් රටේ සෑම පවුලක්ම ආර්ථිකයේ කොටසක් හිමි නිෂ්පාදකයකු බවට පත් වුණා. සමස්ත රටේම ජනතාව අති දැවැන්ත නිෂ්පාදන කර්මාන්තයක ප්‍රායෝගික කොටස්කරුවන් බවට පත් කළේ ඒ ආකාරයටයි. වේගයෙන් ගොඩනැඟෙන ආර්ථිකයක සහභාගීත්ව කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීම මඟින් චීනය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ අතිදැවැන්ත ඉදිරි පිම්මක් තැබුවා.

චීනය ක්‍රියාත්මක කළ මෙම මූලෝපායික වැඩපිළිවෙළ පන්නයේ වැඩපිළිවෙළක් මෙතෙක් ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක කර නැහැ. චීනයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයේ පවුරු පදනම වුණේ මෙම ආර්ථික හා නිෂ්පාදන ප්‍රතිපත්තියයි. එමඟින් බලවත් කෘෂි නිෂ්පාදන ඒකක මිලියන 300ක් රට පුරා ඇති වු අතර, අතිවිශාල නිෂ්පාදනයක් නිර්මාණය වුණා. පෙර හා පසු අස්වනු තාක්ෂණය, සැලැසුම්සහගත නිෂ්පාදන උපදෙස්, නිෂ්පාදනය කළ යුතු බෝග හා කාල රාමු, වෙළෙඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීම, අගය එකතු කිරීම ආදිය සැලැසුම් කරන ලද්දේ මධ්‍යගතවයි. ඒ අනුව පළමුව රටේ අවශ්‍යතාව සඳහාත්, දෙවැනිව ලෝක වෙළෙඳපොළ අවශ්‍යතාව අනුවත් මෙම නිෂ්පාදන සිදු වුණා.

මේ ආකාරයට තමන් සතු ඉඩම් ප්‍රමාණයෙන් වගා කළ හැක්කේ 10%ක වුවත්, ලෝක ජනගහනයෙන් 20%ක් වන සිය රටේ ජනතාවට මෙන්ම ලෝකයේ අති විශාල රටවල් ප්‍රමාණයකට වාණිජ මට්ටමින් ආහාර සැපයීමට චීනයට හැකි වුණේ, කොමියුනිස්ට් පක්ෂය විසින් දියත් කරන ලද සැලැසුම් සහගත හා විද්‍යානුකූල ක්‍රියාවලිය හේතුවෙන්. අවසානයේ දී සහල්, තිරිඟු, සෝගම්, රටකජු, බාර්ලි, ඔලිව්, ඉරිඟු සහ සෝයා බෝංචි මෙන්ම මස්, මාංශ සහ කුකුළු නිෂ්පාදන මෙන්ම මිරිදිය මසුන් නිපදවන ලෝකයේ විශාලතම නිෂ්පාදකයා බවට චීනය පත් වුණා. 1980 දශකය වන විට චීනය මුළුමනින්ම කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වූ අතර අතිරික්තය ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් උපයන ආදායම කර්මාන්ත ක්‍ෂේත්‍රයට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලැබුවා. ඒ අනුව චීනය අද තාක්ෂණික ලෙස ලබා ඇති වර්ධනයේ පදනම කෘෂිකර්මාන්තයයි.

තාක්ෂණය අත්පත් කර ගත් උපක්‍රමය

තාක්ෂණය රටේ ආර්ථිකයට ඇතුළු කිරීම සඳහා විශාල වැඩසටහනක් චීනය විසින් දියත් කරනු ලැබුවා. පළමුව රටේ පවතින දැනුම එක්රැස් කිරීම, වැඩිදියුණු කිරීම සහ ජනතාව අතර බෙදාහැරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් අධ්‍යාපන ආයතන ඇති කළා. විශ්වවිද්‍යාල බිහි කළා. ප්‍රාඥයන් බිහි කළා. අනෙක් පසින් විදේශ දැනුම සිය රටට ලබා ගැනීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුවා. ඒ සඳහා අනුගමනය කරන ලද ප්‍රධාන උපායමාර්ගයක් වූයේ විදේශ ආයෝජන සිය රටට ඇදගැනීමයි.

මෙම විදේශ ආයෝජන රටේ සෑම ක්‍ෂේත්‍රයකටම විවෘත කළේ නැහැ. ඒ වෙනුවට චීනයට අවශ්‍ය ක්‍ෂේත්‍රවලට නැතිනම් විද්‍යාව සහ තාක්ෂණය බහුලව ඉල්ලා සිටින ක්‍ෂේත්‍රවලට පමණක් ආයෝජන අවස්ථා විවර කරනු ලැබුවා. Four Modernizations සංකල්පය යටතේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ආරක්ෂක සහ විද්‍යා හා තාක්ෂණ යන ක්‍ෂේත්‍ර නවීකරණය සඳහා 1978න් පසුව පියවර ගනු ලැබුවා. එම ක්‍ෂේත්‍රවලට බලවත් ලෙස අධික්ෂණයට ලක් කරන ලද විදේශ ආයෝජන කැඳවනු ලැබුවා. එහි මූලික ඉලක්කය වුණේ ඒ වන විටත් බටහිර ඇති තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම සිය රටට ඇදගැනීමයි.

සෘජු විදේශ ආයෝජන සමඟ තාක්ෂණය සහ විද්‍යාත්මක දැනුම රැගෙන ඒම මූලික කොන්දේසියක් බවට පත් වූ අතර, රට පුරා නිදහස් වෙළෙඳ කලාප ඇති කරමින් මෙම තාක්ෂණික අත්පත් කර ගැනීම්වලට අදාළ වැඩපිළිවෙළ දියත් කරනු ලැබුවා. එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල තරුණ තරුණියන් පිරිසක් විදේශගත කරමින්, විවිධ රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරවීමට චීනය සැලැසුම් සහගතවම කටයුතු කළා.

මෙලෙස තරුණ තරුණියන් තාක්ෂණයෙන් දියුණු රටවලට අධ්‍යාපනය සඳහා යොමු කිරීම හරහා එතෙක් ලෝකයේ පැවැති නූතන තාක්ෂණය අත්පත් කර ගත්තා. ඒ සියල්ල පෙරළා කෘෂිකාර්මික හා කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ආයෝජනය කරනු ලැබුවා. ඒ අතර පර්යේෂණ සහ සංවර්ධනය සඳහා රටේ ජාතික වියදමින් අතිවිශාල ප්‍රමාණයක් වෙන් කරමින් නව දැනුම නිර්මාණය කිරීම සදහා පියවර ගෙන තිබෙනවා. මේ වන විට ලෝකයේ තාක්ෂණික පේටන්ට්වල අයිතියෙන් තුනෙන් එකක් චීනය සතු වන අතර, සංවර්ධනය සහ පර්යේෂණ සඳහා ලෝකයේ වැඩිම වියදමක් දරන්නේ චීන රජයයි.

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම

චීනයේ දරිද්‍රතාව පිටුදැකීමේ වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ කෙළින්ම සම්බන්ධ වී තිබෙනවා. එය මෙම වැඩපිළිවෙළ තුළ දක්නට ලැබෙන විශේෂත්වයක්. 2030දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිඥා දී තිබෙන සංවර්ධන ඉලක්ක අතුරින් පළමු ඉලක්කය වන්නේ ‘Zero Poverty’ නැති නම් දිළිඳුකම මුළුමනින්ම සමාජයෙන් පිටුදැකීමේ ඉලක්කයයි. දෙවැන්න වන්නේ ‘Zero Hunger’ ලෙස හඳුන්වන ජනතාවගේ කුසගින්න නිවාදැමීමයි.

Chinese province: Just 17 of our 80m people now live in poverty - BBC News

තෙවැනි ඉලක්කය Good Health & Well Being නැතිනම් මනා සෞඛ්‍ය සේවයක් සහ යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීමයි. සිව්වැන්න Quality Education ලෙස හඳුන්වන සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. පස්වැන්න වන Gender Equality යනු ලිංගික සමානාත්මතාව හෙවත් ස්ත්‍රී, පුරුෂ ලෙස වෙනස් කොට සැලැකීම පිටුදැකීමයි. 06 වැනි ඉලක්කය Clean Water & Sanitation හෙවත් පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව ළඟා කර ගැනීමයි. 07 වැනි ඉලක්කය වන්නේ Affordable & Clean energy හෙවත් දැරිය හැකි මිලකට බලශක්තිය නැතිනම් විදුලි බලය ලබා දීමයි. 08 වැනි ඉලක්කය Decent Work & Economic Growth හෙවත් ශිෂ්ටසම්පන්න රැකියාවක් සහ පවුලේ ආර්ථීක වර්ධනයයි. 10 වැන්න Reduce Inequalities පරතරය අවම කිරීම හෙවත් අසමානතාව දුරු කිරීමයි. 11 වැනි ඉලක්කය වන්නේ තිරසර නගර සහ ප්‍රජාවන් නිර්මාණය කිරීමයි. මූලික වශයෙන් මෙම තිරසර සංවර්ධන ඉලක්ක 17කින් චීනයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළ ඉලක්ක 09 ක් හා කෙළින්ම බැඳී පවතිනවා.

ඉලක්කගත දිළිඳුකම පිටුදැකීමේ සැලැස්ම

ඉහත කී මෙම සියලු සංවර්ධන ඉලක්ක චීනයේ One Income” Two Assurances” and Three Guarantees යන දිළිඳුකම පිටුදැකීමේ ආශ්චර්යවත් උපායමාර්ගික සංකල්පය හා සහ සම්බන්ධිතයි. ඒ අනුව One Income යටතේ අවම මාසික හා වාර්ෂික ආදායමක් සහතික කිරීම සහ රැකියාවක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියක සක්‍රිය හවුල්කරුවන් බවට පත් කර පවුලේ ආර්ථිකය නඟාසිටුවීම රජයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනු ලැබුවා. දෙවැනියට ඇති Two Assurances යටතේ ප්‍රමාණවත් හා ගුණාත්මක ආහාර සහ ඇඳුම්-පැළඳුම් ලැබීම සහතික කිරීම සඳහා වු වැඩපිළිවෙළයි. Three guarantees යනු ප්‍රමාණවත් හා ගුණාත්මක සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම්, පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ සුරක්ෂිත නිවාස සඳහා වන අයිතිය තහවුරු කිරීමත්, දැරිය හැකි මිලකට පුනර්ජනනීය බලශක්ති හෝ විදුලි බලය වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය සහතික කිරීම සහ හතරවන කරුණ ලෙස සැමට ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම ඇතුළත්. චීනයේ සමස්ත දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළ ගොඩනැඟී තිබෙන්නේ මෙම පවුරු පදනම තුළ සිටයි. ඒ අනුව 193ක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතුරින් තිරසර සංවර්ධන ඉලක්ක වැඩිම ප්‍රමාණයක් මේ වන විට සපුරාගෙන තිබෙන රට බවට පත්ව තිබෙන්නේ චීනයයි. එබැවින්, බොහෝ විචාරකයන් මෙම සාක්ෂාත්කරණය ආශ්චර්යයක් ලෙස සලකනවා. එය හඳුන්වන්නේ චීනයේ ‘ඉලක්කගත දිළිඳුකම පිටුදැකීම’ (Targeted Poverty Alleviation – TPA) වැඩසටහන ලෙසයි. එය 2015 වසරේ ආරම්භ කර 2020 වසරේ දෙසැම්බර් 31 වැනි දින නිමා කර තිබෙනවා. ඒ එහි අරමුණු අවසාන ලෙස සාක්ෂාත් කර ගනිමින්.

බලය සහ බලය ජනනය සහ නිෂ්පාදන බලාගාර

‘Blood transfusion’ and ‘blood generation’ යන්න චීනයේ දිළිඳුකම පිටුදැකීමේ න්‍යෂ්ටික න්‍යායාත්මක ස්ලෝගනයයි. රුධිරය යනු මිනිස් ශරීරයේ පැවැත්ම රඳාපවතින ප්‍රධාන සංඝටකයයි. නැතිනම් බලයයි. ඒ අනුව මෙම ස්ලෝගනයේ අදහස වන්නේ බලය බාහිරින් ඇතුළත් කර සහ පෙරළා නැවත ඒ තුළම බලය නිපදවීමයි. ඒ අනුව පළමු කොටසින් චීන සමාජයේ මිනිසුන්ගේ මූලික මිනිස් අවශ්‍යතාවන් සහතික කිරීම සහ සාමාජීය ආරක්ෂාව තහවුරු කිරීම අදහස් කරන අතර, දෙවැනි කොටසින් චීන සමාජ සංවර්ධනය ඉලක්ක කර ගත් ප්‍රවේශයක් වෙත ජනතාව යොමු කිරීම අදහස් කරනවා. ඒ අනුව බලවත් කරන ලද මිනිසා පෙරළා සමාජයේ සංවර්ධනය සඳහා සැලැසුම් සහගත ලෙස ඉලක්කගත කිරීම මෙහි අරමුණයි. ඒ අනුව මිලියන 800කට අධික ජනතාවක් මූලික මිනිස් අවශ්‍යතාවන්ගෙන් පරිපූර්ණ කරමින් ඔවුන් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සංවර්ධනය සමඟ බද්ධ කිරීම සිදු කර තිබෙනවා. චීනයේ මේ වන විට දක්නට ලැබෙන සමස්ත පවුල් ඒකක ප්‍රමාණය මිලියන 650ක්. මෙම පවුල් ඒකක අතුරින් මිලියන 400කට අධික පවුල් ප්‍රමාණයක් ආර්ථිකයේ සුළු නිෂ්පාදන බලාගාර (Mini Economic Power House) ලෙස සමස්ත චීනය පුරාම විසිරී ආර්ථිකය බලවත් කර තිබෙනවා. තවත් කොටසක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත අවතිර්ණ වී තිබෙනවා. සියලුම පවුල් ඒකක එක්කෝ නිෂ්පාදන ක්‍රියාවලියකට බද්ධ කර තිබෙනවා. නැතිනම් සේවා සම්පාදන ක්‍රියාවලියකට බද්ධ කර තිබෙනවා. මේ තරම් සැලැසුම්සහගත ලෙසත්, උපායමාර්ගික ලෙසත් පවුල් ඒකක රට පුරා නිෂ්පාදන ඒකක බවට පත් කර තිබෙන රටක් ලෝකයේ තවත් දක්නට නැහැ.

විදේශ ප්‍රාග්ධනය වෙනුවට දේශීය ප්‍රාග්ධනය සහ විදේශීය තාක්ෂණය

ඒ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විශාල ප්‍රමාණයක් රට පුරා නිර්මාණය වූ අතර, චීන ආර්ථිකයේ පවුරු, පදනම් වන්නේ මෙම කුඩා හා මධ්‍ය පරිමාණ (SMEs) නිෂ්පාදන ව්‍යවසායයන්. චීන ආර්ථිකයේ දක්නට ලැබෙන සමස්ත ව්‍යවසායයන්ගෙන් සියයට 95ක්ම මෙම සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වනවා. එමෙන්ම රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදනයට එමඟින් ලැබෙන දායකත්වය සියයට 60ක්. එසේම චීනයේ සේවා නිය ුක්තියෙන් සියයට 82කට දායක වන්නේ ද මෙම සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්. විදේශීය ප්‍රාග්ධනයෙන් සහ තාක්ෂණයෙන් පමණක් බලගන්වන ලද මහා පරිමාණ ව්‍යවසායයන් වෙනුවට දේශීය ප්‍රාග්ධනයෙන් බලගන්වන ලද, විදේශීය තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඇති කරන ලද මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් චීන ආර්ථිකයේ ප්‍රබලතම ශක්තියයි. එමෙන්ම මිලියන 50කට ආසන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs) ප්‍රමාණයක් මේ වන විටත් චීනය සතු වන අතර, සෑම වසරකම එය මිලියන 05 බැගින් වර්ධනය වනවා. එය වාර්ෂිකව සියයට 10ක වර්ධනයක්. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ Oxford Poverty and Human Development Initiative ආයතනයේ නිර්ණායකයන්ට අනුව දිළිඳුකම පිටුදැකීමට නම් පුද්ගලයන් ආදායමින් පමණක් බලගැන්වීම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා Multidimensional Poverty Index (MPI) නමින් නව දර්ශකයක් ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා. එහි ප්‍රධාන නිර්ණායක 03ක් යටතේ අනුසාධක 10ක් සැලැකිල්ලට ගනු ලබනවා. එහි ප්‍රධාන සාධක 03 වන්නේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන කරුණුයි. (Health” education” and basic infrastructural services’).

චීනය ක්‍රියාත්මක කරන ලද සමස්ත දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළම බද්ධ වී තිබෙන්නේ මෙම ප්‍රධාන නිර්ණායක 03 සමඟයි. නැතිනම් MPI දර්ශකය සමඟයි. මෙම දර්ශකයට අනුගත වෙමින් ලෝකයේ දිළිඳුකම මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු සහ එකම රට වන්නේ ද චීනයයි.

දිළිඳුම රටේ සිට බලවත්ම රට දක්වා

නාමික දළ දේශීය නිෂ්පාදනය (Nominal) අනුව සලකන විට මේ වන විට චීන දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 16ක් වනවා. එය දෙවැනි වන්නේ ට්‍රිලියන 21ක් වන ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. කෙසේ නමුත්, මිල දී ගැනීමේ හැකියාව හා ගැළපීමේ දී (PPP) චීනයේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 23ක අගයක් ගන්නා අතර එම ගණනය කිරීම අනුව ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි කර ගන්නේ චීනය විසින්. ඇමෙරිකාවේ එම අගය ට්‍රිලියන 21ක්. මේ වන විට සමස්ත ගෝලීය අපනයන වෙළෙඳපළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 19ක්.

එයින් මේ වන විට චීනය විසින් සියයට 16ක කොටසක් නැතිනම් ට්‍රිලියන 03ක පංගුවක් අත්පත් කර ගෙන සිටිනවා. අද ලෝකයේ වැඩිම අපනයන ඉපැයීම්කරුවා වන්නේ චීනයයි. ඇමෙරිකාව ගෝලීය අපනයන වෙළෙඳපළ තුළ අත්පත් කර ගෙන සිටින්නේ ඩොලර් ට්‍රිලියන 2.2ක් නැතිනම් සියයට 11ක් පමණයි. එසේම චීනය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 3.2ක්. ඔවුන් සතු රන් සංචිතවල පමණක් වටිනාකම ඩොලර් බිලියන 115ක්. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වටිනාකමටත් වැඩියි. මේ ආකාරයට අද ලෝකයේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රට බවට චීනය පත්ව තිබෙන අතර එහි පවුරු පදනම් වන්නේ චීනයේ ඇති කර තිබෙන සෛලගත නිෂ්පාදන මාදිලියයි (Cell Typed Production Mode). එමෙන්ම එය දිළිඳුකම පිටුදැකීම හා සම්බන්ධිතයි. මෙම නිෂ්පාදන මාදිලිය කෙතරම් ප්‍රබල ද සහ ආරක්ෂිත ද යත්, කොවිඞ් වසංගතය තුළ මුළු ලෝකයම බිඳවැටෙද්දී වුවද 2020 වසරේ දී ද සියයට 6.1ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා. මේ සියල්ල පිටුපස ඇති ආශ්චර්යය වන්නේ මධ්‍යගත දේශපාලන ක්‍රමයක සංවිධානාත්මක හා විද්‍යාත්මක ප්‍රවේශයයි. එනම් කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානගත පාලන ව්‍යුහයයි.

– අනුහස් බණ්ඩාර (ලංකා පුවත්පතේ පළවූ ලිපියකි)

Recommended For You

About the Author: Thusal