එළවළු තෙල් සහ පොල් තෙල් අවශ්‍යතාව ‘මී තෙල්වලින්‘ සපුරා ගත නොහැකිද ?

අතීතයේ මුතුන් මිත්තෝ පොල්තෙල් මෙන්ම මීතෙල් භාවිත කළහ. කාලයාගේ ඇවෑමෙන් එය අමතක වී ගොස් ෆාම්, සෝයා හා බඩඉරිඟු වැනි තෙල්වලට අපි අවතීර්ණ වී සිටින්නෙමු. මීතෙල් ඵලදාව පොල්තෙල් මෙන් තුන් ගුණයක්වත් වැඩි වන බව ඉන්දියානු පර් යේෂණ පෙන්වන අතර එහි මේද සංයුතිය ඉතා සෞඛ්‍යහිතකාරී වේ. තවද සිංහල රජකාලයේ මී ගස් කැපීම තහනම් වග ඉතිහාසය වාර්තා කරයි.  

ගිය වසර මුල භාගයේ, ගැඹුරින් කරුණු සොයා බැලීමකින් තොරව පාම් තෙල් ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ පොල් වගාව හා පොල්තෙල් නිෂ්පාදනය මඟින් මෙරට තෙල් අවශ්‍යතාව සපුරා ගැනීමයි. එපමණක් නොව දැනට වගා කොට ඇති හෙක්ටයාර් 12,00 ක ඇති කටුපොල් වගාව ද උදුරා දැමීමටයි. ඇත්තෙන්ම මෙවැනි තීරණයක් ගැනීමට ප්‍රථම ජනාධිපති තුමා අදාල ආයතනය වන පොල් පර් යේෂණ ආයතනය හා අන් විද්වතුන්ගෙන් උපදෙස් ගතයුතුව තිබුණි. මෙතෙක් පාම් තෙල් කෑම පිළිකා රෝගයට පාදක වේයැයි පිළිගත හැකි පර් යේෂණ දත්ත නොමැත.  

කෙසේ වෙතත් එම තීරණයෙන් සති කීපයකින් පසු මැලේසියානු හා ඉන්දුනීසියානු තානාපතිවරුන්ගේ විරෝධතාව මත එම තීරණය හා අදාල ගැසට් පත ඉල්ලා අස්කර ගැනීමට සිදුවිය. අප පාම්තෙල් ආනයනය කරනු ලබන්නේ මෙම රටවල් දෙකෙන්ය. ඒවා ලෝකයේ ප්‍රධාන පාම් තෙල් නිෂ්පාදනය කරන රටවල් බැවින් එවැනි විරෝධතාවක් ප්‍රකාශ කරන්නට යෙදුණේ එම තහනම මඟින් ලොවට දෙන වැරදි ආකල්පය නිසා විය හැකිය.

මක්නිසාද ලොව භාවිතාවන ප්‍රධාන එළවළු තෙල පාම් තෙල්ය. ලොව එළවළු තෙල් නිෂ්පාදනයෙන් සියයට47 පමණ පාම්තෙල් වේ. පාම්තෙල් සෝයා හා අනිත් එළවළු තෙල් වලට අතිශය තරඟ කාරකයක් වේ. තවද මෙම තහනමට විරෝධයක් වශයෙන් එම රටවල් දෙකට  මෙරටින් අපනයනය කරන නිෂ්පාදිත රෙදිපිළි තහනම් කළානම් එය අප ආර්ථිකයට ප්‍රශ්නයක් වීමට තිබුණි.

 පාම්තෙල් අප ආර්ථිකයට වැදගත් වන්නේ බේකරි හා වෙනත් බොහෝ නිෂ්පාදනවලට එය බහුලව භාවිත කරන බැවිනි. ආනයනික පාම් තෙල් මෙරට තෙල් අවශ්‍යතාවෙන් සියයට74 පමණ වන අතර, අප පොල්තෙල් නිෂ්පාදනය ඉන් සියයට13 ක් පමණය. එපමණක් නොව මෙරට අවශ්‍යතාවෙන් සියයට 11ක් පමණ  ආනයනික පොල් තෙල් වේ. (1 වැනි වගුව) කෙටියෙන් කියතොත් මෙරට ජාතික පොල් නිෂ්පාදනය ව්‍යාප්ත වුවද එමගින් ජාතික තෙල් අවශ්‍යතාව සහමුලින්ම සැපයීමට කෙසේවත් කළ නොහැකිය. 

වගුව 01 
ලාංකික එළවළු තෙල් වාර්ෂික අවශ්‍යතාව 2016 මෙ.ටොන් 

ලංකාවේ හදිසි පාම්තෙල් තහනම ගැන යොමුවුණු සාමාජිය කටයුතු සම්බන්ධ සොලිඩැරිඩැඩ් (Solidaridad) නැමැති ජාත්‍යන්තර සංගමය හේතු සොයා බැලීමට ඉදිරිපත් විය. එම ආයතනය සාධාරණ වෙළඳාම, කෘෂිකාර්මික හා ගොවිජන ප්‍රශ්න ගැන සොයා බලා අවශ්‍ය විසඳුම් නිර්දේශ කරන ආයතනයකි. තෙල් ප්‍රශ්නය හා එයට විසඳුම් සෙවීම ඇතුළත් වාර්තාවක් (පොතක්) ජාතික හා විදේශීය විශේෂඥයන් ලවා සම්පාදනය කොට රජයට හා ගොවියාට ඉදිරිපත් කිරීමට අපි කටයුතු යොදා ගෙන ඇත්තෙමු. 
  
ලංකාවේ පොල් වගාව  පුළුල් කිරීමේ විභවය 

ලංකාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට ඇති ඉඩම් සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් මෙතෙක් සිදුවී නොමැත. පොල් පර් යේෂණ ආයතනය විසින් පාංශු සිතියම් පමණක් මත කරන ලද නොගැඹුරු අධ්‍යයනයකින් පෙනී යන්නේ දැනට ඇති වගා බිම් ද ඇතුළත්ව හෙක්ටයාර් මිලියන1.8 පමණ පොල් වගාවට සුදුසු වගයි. එහෙත් මෙම බිම් ප්‍රමාණයෙන් අන් වගා හා වෙනත් කටයුතු සඳහා භාවිත කළ ඇති බිම් හැරුණු විට කෙතරම් ප්‍රමාණයක් පොල් වගාවට ඇති දැයි අධ්‍යයනය කර නොමැත. එපමණක් නොව පොල් සඳහා සුදුසු බිම් තිබුණ ද ඒවා පොල් වගාවට පමණක් භාවිත කිරීමට ඉඩම් අයිතිකරුවන් කැමතිදැයි ද දැනගත යුතුය.

තවද කාලගුණික විපර්යාස හේතුකොට ගෙන වියළි කලාපයේ ජල හිඟයට අමතරව උෂ්ණත්වය වැඩිවීමත් පොල් ඵලදාවට බලපා ඇත. එබැවින් වියළි කලාපයේ සමහර පළාත් වල එවැනි උෂ්ණත්වය වැඩිවී ඇති කාලවල පරාග ප්‍රරෝහණය සැලකිය යුතු අඩුවීමත් සමඟ ගෙඩි හට ගැනීමේ අඩුවීමක් ඇතිවන වග පොල් පර් යේෂණ ආයතනය පෙන්වා දී ඇත. කරුණු මෙසේ හෙයින් වියළි කලාපයේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට බාධා ඇති වග පැහැදිලිය. 

තෙත් කලාපයේ කුඹුරු බිම් හෙක්ටයාර් 158,000 සෙන් 57,000 ක් පමණ පුරන් වී ඇත. මෙයට හේතුව අඩු ඵලදාව හා අඩු ආදායමයි. (වගුව 2) කරුණු මෙසේ හෙයින් එම ඉඩම්වලට අමතරව තෙත් කලාපයේ තවත් කුඹුරු ඉඩම් වල ද පොල්, කටුපොල් හා වෙනත් බෝගවලට විවිධාංගීකරණය කිරීම නුවණට හුරුවේ. තෙත් කලාපයෙන් ලබා ගන්නා අස්වැන්න ජාතික වී නිෂ්පාදනයට හා ආහාර සුරක්ෂිතතාවට ඇත්තේ ඉතා සුළු බලපෑමකි.

ආහාර සුරක්ෂිතතාව මෙන්ම ගොවියාගේ ආදායම ද වැදගත් වේ. එබැවින් හැකි තරම් එම ඉඩම්වල ජලවහනය දියුණු කොට සුදුසු බෝගවලට යෙදිය යුතු ය. මෙවැනි ඉඩම් ඉන්දුනීසියාවෙන් ‘සෝජාන්’ නැමැති ක්‍රමය මත පොල් වගාවට යොදා ඇති ආකාරය මෙහි ඇති පින්තූරයෙන් පෙනේ. ක්‍රමවත් ජල වහනය මගින් බෑවුමේ පහළ කොටසේ විල් තුළ ජලය එකතු කිරීමෙන් මත්ස්‍යයන් ඇති කිරීමටත් සුදුසුය. තවද පාම් හෝ පොල් වගාව මගින් වී වගාවට වඩා ගොවීන්ගේ ආදායම බෙහෙවින් වර්ධනය කළ හැක. 
 
වගුව 2 
 
තෙත් කලාපයේ 2015 යල කන්නයේ වී ඵලදාව හා ආදායම (අක්කරයකට) 

 
තේ  සමග පොල් වගාව 

මීට අමතරව තෙත් කලාපීය තේ ඉඩම් තුළ ද අතුරු බෝගයක් මෙන්ම සෙවණ සැපයීම සඳහා පොල් වගා කළ හැකිය. දැනටමත් සමහර පළාත් තුළ මෙය කරනු ලැබේ. කෙසේ වුවද පොල් සිටුවිය හැක්කේ තේ අලුතින් හෝ නැවත වගා කරන බිම් වලය. නැවත වගාව සිදු වන්නේ වසරකට තේ බිම්වලින් සියයට එකක පමණ වන බැවින් හෙක්ටයාර් 2000 පමණ ඉඩම් ප්‍රමාණයක් වාර්ෂිකව පොල් වගාවට භාවිත කළ හැක. 
 
පොල් වගාව පුළුල් කිරීම තෙල්වලට පමණක් සීමා විය යුතු ද?  

1980 දශකය තෙක් ජාතික පොල් නිෂ්පාදනය එදිනෙදා කෑමට සහ මෙරට තෙල් අවශ්‍යතාව මෙන්ම කොටසක් අපනයනය සඳහා හා පොල් මදයෙන් නිෂ්පාදිත අන් භාණ්ඩ සඳහා ද ප්‍රමාණවත් විය. එහෙත් ගිය දශක කිහිපය තුළ ජනගහනය වැඩිවීමත් සමඟ පොල් නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු නොවූ බැවින් සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වූ අතර නැවුම් පොල් තෙල්, දිසිඳි පොල්, පොල් ක්‍රීම්, කිරි හා පොල් ‘පවුඩර්’ යන භාණ්ඩ සඳහා හා ඉල්ලීම වැඩි වෙමින් පවතී.(වගුව 3) 

අද පොල් ක්‍රීම්, දිසිඳි පොල් ද අභිබවා ගොස් ඇත. කරුණු මෙසේ හෙයින් රජය පොල් වගාව වර්ධනය කරන අතරම පොල් කර්මාන්තකරුවන්ට වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අත හිත දීම මිස පොල් තෙල් නිෂ්පාදනයට පමණක් දිරි ගැන්වීම තර්කාන්විත නොවෙයි. 

වගුව 03 


සාමාන්‍ය වාර්ෂික (2018-2020) පොල් මද භාණ්ඩ ආනයන ප්‍රමාණය

මදුකා (මී ගස ) විවිධ අවශ්‍යතා සහිත එහෙත් අඩු භාවිත ශාකයකි 

Madhuca longifolia නොහොත් මී ගස ලංකාවේ වියළි ප්‍රදේශවල වැවෙන අඩු භාවිත සහිත ගසක් වේ.  මෙතෙක් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට හැකි වී නොමැත. එයට ‘පැණි ගස’, මෙන් ම ‘බටර් ගස’ කියා වෙනත් රටවල ව්‍යවහාර වන අතර තෙල් සහ ආයුර්වේද බෙහෙත් සඳහා ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ බොහෝ රටවල් භාවිත කරනු ලබයි.

එහි මල් කැස්සට හා ඇස් රෝග සඳහා භාවිත කරනු ලැබේ. කිරි සමග මල් භාවිතය පුරුෂ ශක්තිය හීන වීම සහ බෙලහීන වීම සඳහා භාවිත වන ඖෂධයකි. තවද මල් මද්‍යසාර නිපදවීමට සහ වෙනත් ආහාර වර්ග නිපදවීමට භාවිත කරයි. කොළ, ඇට සහ කඳෙහි පට්ටය නොයෙක් ඖෂධ සෑදීමට භාවිත වේ. ඇට තෙල් කෑමට ගන්නා අතර මළ බද්ධයට අර්ශස් රෝගයට ඖෂධයක් වේ.  

මී ගස උෂ්ණ කලාපීය ගසකි. එය ආසියානු සහ ඕස්ට්‍රේලියානු කැලෑවල වැවෙන අතර ඉන්දියානු ගම්මු වගා කරති. එහෙත් ඉන්දියාවේ වැඩිය වගා කරනු ලබන්නේ මදුකා ඉන්දිකා (Madhuca Indica) නැමැති මී ගසට ඉතා සමීප ගස් වර්ගයකි. එහි ඇට තෙල් ඖෂධ සඳහා භාවිත කළ ද ආහාරයට නොගනී. එම තෙල් ඉන්ධනයක් සේ භාවිතයට ගැනීම ද වැඩිවෙමින් තිබේ.  

පොල් තෙල් මෙන්ම ඉහත සඳහන් පරිදි මී තෙල් ආහාරයක් මෙන් ​ඖෂධයක් සේ අතීතයේ භාවිතයට ගන්නා ලදී. පහන් දැල්වීමට ද එය ලංකාවේ එවකට ගම්මු පාවිච්චි කර ඇත. ලංකාවේ තැනින් තැන වගා කර තිබුණ ද විධිමත් වගාවක් මෙතෙක් ස්ථාපිත කොට නොමැත. වියළි කලාපයේ බොහෝ පළාත්වල දක්නට ලැබෙන අතර ඇළ, දොළ අද්දර මී ගස් බහුල වේ. ඉහත සඳහන් කළ පරිදි පොල් මෙන් තුන් ගුණයකටත් වඩා මී තෙල් ඵලදාවක් ලබාගත හැකි වේ. යථා කාලයේදී අභිජනන  පර් යේෂණ මගින් ඵලදාව  තව තවත් වැඩි කර ගත හැකි විය යුතුය. ඵලදාව මෙන්ම අතිශයින් වැදගත් කරුණක් වනුයේ මී තෙල් වල මේද සංයුතියයි.

එය පොල් හා පාම් තෙල් වලට වඩා ඔලිව් තෙල්වලට ළං වන අතර එහි ඇති ඒක සන්තෘප්ත මේද්‍ ප්‍රමාණය ඔලිව් තෙල් හැර අන් අප කෑමට ගන්නා සියලු තෙල් වලට වඩා වැඩිය. මෙම මේද වර්ගය ශරීරයෙහි නරක නොහොත් ඇල්.ඩී.ඇල් කොලෙස්ටරෝල් (LDL Cholesterol) අඩු කරන අතර හොඳ නොහොත් එච්.ඩී.එල් කොලොස්ටරෝල් (HDL Cholesterol) වැඩි කරනු ඇත. මේ අනුව හෘද ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව අඩු කර ගැනීමට මී තෙල්  භාවිතය ඉතා යෝග්‍යවිය යුතුය. 
 
වගුව 04  


ඵලදායීතාව හා මේද සංයුතිය 

 එබැවින් වියළි කලාපයේ පොල් වගාව පුළුල් කිරීමට ඇති බාධා සැලකිල්ලට ගෙන මී ගස් වගාව ප්‍රචලිත කළ යුතු වේ. ඒ සඳහා රජය අදාල පර් යේෂණ කටයුතු සඳහා පොල් පර් යේෂණ ආයතනය හරහා ව්‍යාපෘතියක් දියත් කළ යුතුය. 


අවසන් සටහන 

රජයේ පොල් වගාව පුළුල් කිරීමේ ප්‍රතිපත්තිය වැදගත්ය. මක්නිසාද පොල් ලාංකික ආහාර රටාවේ වැදගත් කොටසක් වන අතර එය බහු භාවිත සහිත බෝගයකි. එහෙත් එහි වගා සංවර්ධනය පොල් තෙල් නිෂ්පාදනයට පමණක් සීමා නොවී සියලු පොල් මද හරහා නිෂ්පාදිත භාණ්ඩවලට විය යුතුය. නිෂ්පාදනය තීරණය විය යුත්තේ වෙළඳපොළේ ඉල්ලීම මෙන්ම තරඟකාරීත්වය හා ලාභය මතය. 

එමෙන්ම වසරකට පාම් තෙල් ආනයනය සඳහා රුපියල් බිලියන තිස් හතක් වැය වේ. එබැවින් කටුපොල් මෙහි වගා කොට එම තෙල් නිෂ්පාදනය කර ගැනීම ද නුවණට හුරුය. නොයෙක් අවිද්‍යාත්මක තර්ක නිසා ඇති වූ එම ආනයනය සහ වගා කිරීම අත්හිටුවීමේ තීරණය හකුළාගෙන අවම වශයෙන් දැනට ඇති හෙක්ටයාර් 12,000කට අමතරව තවත් හෙක්ටයාර් 50,000 පමණ වගා කිරීම ආර්ථිකයට අතිශයින් වැදගත්ය.

මේ සඳහා වෙනත් රටවල මෙන් කුඩා ගොවීන්ට ද ඉදිරිපත් වීමට කටයුතු සැලසිය යුතුය. ලෝකයේ වැඩිම ඵලදාවක් හා ලාභ ගෙන දෙන තෙල් බෝගය මෙයයි. ඒ සඳහා අඩු ඵලදායී තේ හා රබර් ඉඩම් මෙන්ම ඉහත සඳහන් පරිදි මුඩු කුඹුරු බිම් ද යොදා ගත හැකිය. එමෙන්ම වියළි කලාපයට අතිශයින් සුදුසු මි ගස් වගාව හා අදාල ඖෂධ හා තෙල් කර්මාන්ත දියුණු කළ යුතුය. 
 

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ විසිනි

Recommended For You

About the Author: Thusal