පඩිපත ලොකුකර ගන්න සෞඛ්‍ය සේවකයෝ ‘රෝගීන් ඇපයට ගැනීමට‘ යළි සැරසෙයි !

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවත් හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ දැමීම, ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය” ස්ථාපිත කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් එම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට තීරණය කර තිබේ.

නමුත් වැඩවර්ජනය සිදුකරන කාලය තුළ පිළිකා, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලේ, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුළ වැඩවර්ජනය සිදුනොවන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය හෙට සිදුවන වැඩවර්ජනය ගැන මෙසේ පැහැදිලි කළේය. “එම ඉල්ලීම්වලට පිළිතුරක් දෙන්නේ නැත්නම්, ඒ තාක් මේ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ආණ්ඩුව අවධාරණය කරගත යුතුයි. ආණ්ඩුව හෙට විසඳුමක් දුන්නොත් හෙට නතර කරන්න පුළුවන්. දෙන්නේ කවද්ද එදාට අපිට තීරණයක් ගන්න පුළුවන්.”

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තම සංගමය මේ සඳහා සහයෝගය ලබානොදෙන බවය. “7 වනදින පවත්වන වැඩ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සම්බන්ධ නෑ. අපිට විශ්වාසයක් තියෙනවා ඉල්ලීම් 7න් 4ක් ලැබිලා තියෙන්නේ. අපට තව 3ක් දිනාගන්න තියෙන්නේ. සති තුනක් ඇතුළත එම ඉල්ලීම් තුන ක්‍රියාත්මක නොවුණොත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට ද මෙයට විරෝධය දක්වන සිදුවන බවට ලිඛිතව ජනාධිපතිතුමාටත්, ජනාධිපති ලේකම්ටත් ලිඛිතව යැව්වා.”

Recommended For You

About the Author: Thusal