‘රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF එකටත් අත තියන්න යනවා‘

‍රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF  අරමුදල් වලට ද අත තියන්නට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (පෙබරවාරි 08) පැවැති මාධ්‍ය හමුවක දී වැඩි දුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ රට තුළ මූල්‍ය අර්බුදයත් බලශක්ති අර්බුදයත් ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇති බවය.

“මේ දවස් වල ඉන්ධන මිලේ යම් ඉහළ යාමක් ලෝක වෙළඳපොලේ තිබුණත් විශේෂ පෙට්‍රල් වලින් රු. 60-80 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඩීසල් ලීටරයකින් රු.20-30 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඩීසල් සහ අනෙකුත් දැවි තෙල් වල මිල ගණන් එක්ක බලනකොට, අද ලංකා විදුලිබල මණ්ඩලය ඉතාම දරුණු මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඒ වගේම, කොහොමහරි විසිහතර පැයම විදුලිය දෙන්න දැන් දීලා තියෙන නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා, 85% තිබුණු ජලවිදුලි තත්වය 50% ට වැටිලා තියෙනවා.”

නිරිත දිග මෝසම අනුව වැසි බලාපොරොත්තු විය හැක්කේ මැයි මාසයේදී ය. නමුත් මාර්තු අග වනවිට  අතිශය බරපතළ ලෙස ජල විදුලි අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. කිසිම දෙයක සැලසුමකින් තොරව ලංකාව ගමන් කරමින් තිබේ.

බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරකය. තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබේ. අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණි. රාජ්‍ය බැංකු පද්ධතිය, පතුලටම හූරා කෑමෙන් නොනැවතී

ආණ්ඩුව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වලට ද අත තැබීමට කටයුතු කරගෙන යයි.

“EPF, ETF වලින් 25% ක බද්දක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කියනවා. ඒකටත් අත තියන්න යන්නේ. කොහොමත් EPF, ETF අරමුදල ඉතාමත්ම පහළ මට්ටමෙන් යොදා ගත්තා මහ බැංකුව විසින්. තමන්ට ඕන ආකාරයට රටේ පොලී අනුපාතය හසුරුවන්න. ඒ නිසා EPF, ETF වලට දායක වෙලා ඉන්න දස ලක්ෂ සංඛ්‍යාත පිරිස් වලට විශාල අසාධාරණයක් දැනටමත් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අඩු පොළි පවත්වාගෙන යන්නේ EPF, ETF අරමුදල් පාවිච්චි කරපු නිසා. දැන් ඒකට කොරේ පිටට මරේ කිව්වා වගේ ඒ ජනතාව මත්තේම තවත් බදු ප්‍රමාණයක් ඇතුළත් කරගැනීම තමයි මෙයින් සිදුවෙන්නේ.”

රටේ භාවිත කළ හැකි, ඩොලර් බවට පත් කළ හැකි සංචිත ප්‍රමාණය භයානක ලෙස පහත වැටී තිබේ. ඉතිරිව ඇත්තේ  ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයකි. කිසිම විසඳුමකින් තොරව අතමාරු හරහා ගමන් කරමින් සිටින අතරේ වැඩ ලක්ෂයක් කියමින් බිලියන සිය ගණනක් වියදම් කරමින් පවතී. අධිවේගී මාර්ග පද්ධතිය සඳහා දේශීය ආයෝජකයින්ට ණය ලබාදීමට යයි.

“මේවා ඇත්තටම අද මේ රටේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි.  පෙබරවාරි 3 දා මහ බැංකුවේ රුපියල් හිඟය රු. බිලියන 579 ක්. මහ බැංකු වාර්තා අනුව මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9 ක්. සමස්ත බැංකු පද්ධතිය  සෘණ ඩොලර් බිලියන 4.5 ක්.”

මාර්තු මාසය වන විට අස්වැන්න පිළිබඳව තියෙන යථාර්ථය එළිවනු ඇති බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඉන් පසු සල් මිල මීටත් වඩා විශාල වශයෙන් ඉහළ යනු ඇත. ඊට පිළියමක් ලෙස දැන් කරන්නේ අතේ තිබෙන ඩොලර් ටික පාවිච්චි කොට මියන්මාරයෙන් ඉන්දියාවෙන් හාල් ගෙන්වීමට යාමය.

 “ශ්‍රී ලාංකීය ගොවියා වට්ටලා විදේශ ගොවියාට සහන දෙන මට්ටම තමයි අපට අද පේන්න තියෙන්නේ. ඉතින් මේ ඉදිරියේ ආණ්ඩුව දැන් බොහොම බලගතු ආකාරයට වියරු වැටිලා තියෙනවා. තමන්ගේ බලය අහිමි වීම පිළිබඳව.හිතනවා මේ ගම්වලට ආයෝජනය කරලා ගම්වල ජනමතය උදුරා ගන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියා ගත යුතුයි. ඉදිරි මාස කිහිපය ඇතුලත ලංකාව බරපතල ආර්ථික අර්බුදයකින් මූල්‍ය අර්බුදයකින් බිඳ වැටෙන්න යන්නේ. ඒ තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා වහාම අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු පහකින් යුතු ඒ කොළ එළි පහ; ඒ සැලසුම ක්‍රියාත්මක කළ යුතුයි” පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

Recommended For You

About the Author: Thusal