යුක්රේන-රුසියානු අර්බුදය සහ මාධ්‍ය අතර තොරතුරු යුද්ධය

දින ගණනාවක් පුරා යුක්රේනියානුවන් මැදිව සිටින්නේ, ආක්‍රමණයක් අත ළඟබව පවසන නේටෝ රටවල් සහ තමාට එවැනි කිසිදු අදහසක් නැතිබව පවසන රුසියානු රජය අතර තොරතුරු යුද්ධයකට ය. යුක්රේන දේශසීමා ආසන්නයේ රුසියානු හමුදා විශාල වශයෙන් එක්රැස් වෙමින් පැවතිය ද, යුක්රේන නායකයින් එරට ජනතාවට සන්සුන්ව සිටින්නැ යි නිවේදන නිකුත්කර තිබේ.

බටහිර ‘හිස්ටීරියාව’

රුසියාව පවසන්නේ ඔවුන්ගේ ඇතැම් ඒකකයන් යුද අභ්‍යාස අවසන්කර ඇති අතර බෙලරුස් සහ යුක්රේන දේශසීමාවෙන් ඔවුන් ඉවත්කර ගැනීමට නියමිත බව යි.

නමුත්, දශක කිහිපයක් තුළ සිදුවූ විශාලතම රුසියානු මිලිටරි එක්රැස්වීම මෙය බවත්, ජනාධිපති පුටින් ඉක්මනින් ආක්‍රමණයක් දියත් කිරීමට ඉඩ ඇති බවත් එක්සත් ජනපද සහ නේටෝ නායකයින් අනතුරු අඟවයි.

රුසියාව මෙය “රුසියානු-විරෝධී හිස්ටීරියාව” ලෙස හඳුන්වනු ලැබුණි.

බොහෝ රුසියානුවන් සමාජ මාධ්‍ය හරහා, බටහිර රටවල් පවසන “ආක්‍රමණයක් ගැන කතන්දර” පිළිබඳව අවඥාසහගත ලෙස මත පළකර තිබේ.

රුසියානු රජයට පක්ෂපාතී මාධ්‍ය ආයතනවල (විශේෂයෙන් රූපවාහිනී නාලිකාවල) ප්‍රවෘත්ති නිවේදකයන්ගෙන් සහ මාධ්‍ය විවේචකයන්ගෙන් අසන්නට ලැබුණේ නේටෝවේ ව්‍යාප්තිය රුසියාවට තර්ජනයක් වූ බවත්, ප්‍රහාරයක් සැලසුම් කරන්නේ යුක්‍රේනයේ “නව-නාසි” හෝ “ෆැසිස්ට්” ආණ්ඩුව බවත් ය.

නේටෝවට ඇතුළුවීම

ජනප්‍රිය සතිපතා ප්‍රවෘත්ති වැඩසටහනක් වන වෙස්ටි නෙඩෙලිහි එක් සිරස්තලයකින් පවසා ඇත්තේ යුක්‍රේනයට ආයුධ සහ පතොරම් “පොම්පකර” ඇති අතර “පොදු සයිකෝසියාවකට” පත්ව ඇති බව යි.

දැඩි වචනයෙන් මාධ්‍යකරණයේ යෙදෙන්නෙකු වන දිමිත්‍රි කීසල්යොව් එම වැඩසටහන මෙහෙයවන අතර, ඔහු පැවසුවේ යුක්රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි “යුද්ධයට සූදානම්” බව යි.

“මෙතන තියෙන්නේ යුක්රේනය නේටෝවට ඇතුළු වීම හෝ යුක්රේන භූමිය මිලිටරිකරණයෙන් අත්පත් කරගැනීමක් නම්, අපි අපේ තුවක්කුව එල්ල කරන්නේ එක්සත් ජනපදයට යි,” ඔහු දෙසැම්බර් මාසයේ දී පැවසීය.

2014 දී ඔහු ප්‍රේක්ෂකයන්ට මතක්කර දුන්නේ “ඇමරිකා එක්සත් ජනපදය ‘විකිරණශීලී අළුබවට’ පත් කළ හැකි ලොව එකම රට රුසියාව” බව යි. ඔහු පසුගිය සතියේ දී නැවත වරක් එය යුරෝපය සම්බන්ධයෙන් ද පැවසුවේ ය.

රුසියානු නායකයින්ගේ ප්‍රකාශයන් රුසියානු ප්‍රවෘත්තිවලින් බොහෝවිට උපුටා දැක්වෙන නමුත් ඒවා ප්‍රශ්න කෙරෙන්නේ කලාතුරකිනි.

රුසියාව එහි විපක්ෂය, ස්වාධීන මාධ්‍ය ආයතන, සහ මාධ්‍යවේදීන් දැඩි ලෙස මර්දනයකර ඇති අතර, බොහෝ “විදේශ ඒජන්තයින්ගේ” ක්‍රියා කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා කරමින්, ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා කරන නීති ප්‍රකාශයට පත් කර තිබේ.

President Vladimir Putin's address to the nation as seen from a TV control room
ජනාධිපති පුටින්ගේ අදහස් රුසියාවේ දී අභියෝගයට ලක්වන්නේ කලාතුරකිනි

එහෙත් ඊට වඩා දැඩි අදහස් හෝ, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ප්‍රශ්න කරන අය ද ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ.

බියවන්නේ කවුද?

උදාහරණයක් ලෙස, කොමර්සන්ට් පුවත්පතේ විවරණයකින් රුසියාව “බටහිර රටවලට යොදන මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික පීඩනයේ” ඍණාත්මක ප්‍රතිවිපාක ගෙනහැර දැක්වීය. කියෙව් වෙත ආයුධ සැපයුම වැඩි කිරීම, කලාපය තුළ නේටෝ හමුදාව ගොඩනැගීම සහ රුසියාවේ යුක්රේන-විරෝධී බව ඉන් පෙන්වා දිනි.

රුසියාව මේ සතියේ ව්‍යාජ ප්‍රහාරයක් සහ ආක්‍රමණයක් සැලසුම් කරමින් සිටින බවට එක්සත් ජනපදය කළ අනතුරු ඇඟවීම්වලට බොහෝ මාධ්‍ය ආයතන සමච්චල් කරමින් සිටිය ද, එක් විදේශ ප්‍රතිපත්ති විචාරකයෙකු මෙසේ සඳහන් කළේ ය:

“[මෙය] ධවල මන්දිරයේ විශිෂ්ට උපායමාර්ගයක්. රුසියාව ආක්‍රමණය කළහොත් [ඔවුන් කලින්ම] ලෝකයට අඟවා තිබෙනවා. [ආක්‍රමණය] නොකළහොත්, පුටින් බියගැන්වූ නායකයා බවට බයිඩන් පත්වෙනවා.”

මාධ්‍ය නිදහස

2021 ලෝක නිදහස් දර්ශකයේ, මාධ්‍යවේදීන්ට ඇති නිදහස මනින ‘දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ වාර්ෂික ලැයිස්තුව’ අනුව, රටවල් 180කින් රුසියාව 150 වැනි ස්ථානයේ සිටියි.

අනෙක් අතට, යුක්රේනය එම ලැයිස්තුවේ 97 වැනි ස්ථානයේ පසුවෙයි.

එරට මාධ්‍ය රුසියාවට වඩා නිදහස් නමුත්, මාධ්‍ය නිදහස පිළිබඳ ආයතනය පවසන්නේ රුසියාවට එරෙහිව පැවැත්වෙන “තොරතුරු යුද්ධය” නිසා රුසියානු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තහනම්වීම ඇතුළු ඍණාත්මක ප්‍රතිවිපාක ඇති වූ බව යි.

මුල දී, රුසියාවේ මිලිටරි කටයුතු කෙරෙහි බටහිර ලෝකයේ ප්‍රතිචාර බොහොමයක් යොමුව තිබුණේ යුක්රේනය වෙනුවෙනි.

රුසියානු හමුදාවේ වර්ධනය සම්බන්ධයෙන් බටහිර අනතුරු ඇඟවීම් නිකුත් වුණත්, යුක්රේනයේ ප්‍රතිචාරය නිහඬ එකකි.

රුසියාව, ආක්‍රමණයක ඉඟි පළකරමින් ව්‍යාජ ප්‍රහාරයක් සැලසුම් කරන බවට එක්සත් ජනපදය අනතුරු ඇඟවීමෙන් පසුව යුක්රේනයේ නායකයින් උත්සාහ කළේ, විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා “අලෝකාවසාන අනාවැකි” ලෙස හැඳින්වූ දේ සුළුකොට පෙන්වීමට ය.

නමුත් එක් රූපවාහිනී නාලිකාවක් මෙසේ අදහස් දැක්වීය:

“යුක්රේනය කෙරෙහි ලැබුණු ලෝකයේ ඉහළ අවධානය පුටින්ව වළකන බව පෙනේ… එය තවදුරටත් ඉදිරියට නොයනු ඇතැ යි ඔහු අපේක්ෂා කළා විය හැකිය. දැන් ඔහුගේ එක් එක් උමතු සැලසුම් ඉහළම තැන්වලින් එසැණින් අසන්නට ලැබේ.”

ට්විටර් පුරා පැතිරුණු #GodSaveTheQueen

ආක්‍රමණයකට එරෙහිව බොරිස් ජොන්සන් රුසියාවට කළ දැඩි අනතුරු ඇඟවීම්වලට වඩා, ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිචාරය හාත්පසින් වෙනස් එකක් විය.

“බලවත් ප්‍රකාශයක්!” එක් ජනප්‍රිය ප්‍රවෘත්ති සේවාවක් එය හැඳින්වීය. ඇතැම් විවේචකයින් යුක්රේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවසා සිටියේ, එයට සාපේක්ෂව ගත්කල යුක්රේන ජනපති ගැන තමා ද “ලැජ්ජාවට” පත් වූ බව යි.

“ජොන්සන් කතා කරද්දි, ඔහු යුක්රේන ජනාධිපතිවරයා බව යි මට හිතුණේ,” එක් ෆේස්බුක් පරිශීලකයෙක් පැවසීය.

ට්විටර්හි පළ වූ #GodSaveTheQueen සහ #ThanksFriends වැනි හෑෂ්ටැග් හරහා, ආයුධ සැපයුම් සහ රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාදීම වෙනුවෙන් බටහිර මිත්‍ර පාර්ශවවලට ජනතාව සිය කෘතඥතාව පළකර ඇත.

‘අපි එහෙනම් පටන්ගමු ද?’

බටහිර රටවල් ගණනාවක් සිය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පැමිණීම නවතා දැමීමට, සහ යුක්රේනයේ සිටින බටහිර වැසියන්ට රටින් ඉවත්ව යන ලෙස උපදෙස්දීමට ගත් තීරණය විරෝධයකට තුඩු දුනි.

“මගේ එකම අපේක්ෂාව මේ ලෝකයේ මම වඩාත්ම ආදරය කරන නගරයේ, මම වඩාත්ම ආදරය කරන පුද්ගලයින් සමග රැඳී සිටීම යි,” කියෙව්හි ගුරුවරියක් ෆේස්බුක්හි සටහනක් තබමින් පැවසුවා ය.

“මැෂින් තුවක්කු හිරු එළියෙන් බැබළෙන්න තරම් ඔප දාලා, ලොකු ආක්‍රමණයකට සූදානම් වෙලා, හැමෝම රටින් යන්න බෑග් සූදා‍නම් කරගෙන නම් ඉන්නේ, අපි එහෙනම් පටන්ගමු ද?” එක් බ්ලොග්කරුවෙකු ඇසුවේය.

“බටහිර වැසියනි, බියගුල්ලන් සහ ද්‍රෝහීන් නොවන්න!” එක් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් ඉල්ලා සිටියේ ය.

යුක්රේනයේ පැවැත්ම තහවුරු කරන ලෙස ඔහු බටහිර බලවතුන්ගෙන් ඉල්ලා සිටි අතර බටහිර ආයතන සහ ජාතිකයන් ඉවත් කරගැනීම, ප්‍රහාර එල්ල කිරීමට රුසියාව දිරිමත් කිරීමක් බවට තර්ක කළේ ය.

පැනික් වෙන්නෙපා!

යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් ෆේස්බුක්හි වීඩියෝවක් හරහා ‘කලබල නොවීමේ වැදගත්කම’ පෙන්වා දුන්නේ ය.

“අපට එරෙහිව දියත් කෙරෙන යුද්ධය සොල්දාදුවන් සහ ආයුධ හරහා පමණක් සිදුවන්නක් නොවේ. යුරෝපයේ ගෑස් අර්බුදය, විනිමය අනුපාතය අස්ථාවර කිරීම, සයිබර් ප්‍රහාර, විශාල ගොඩනැගිලිවල බෝම්බ අටවා ඇතැ යි ප්‍රකාශ කිරීම, මුදල් ගෙවා කරන රැලි සහ ව්‍යාජ රැලි වැනි බොහෝ මානයන් එහි තිබෙනවා,” ඔහු පැවසීය.

“මේ හැම දෙයක්ම දෙමුහුන් යුද්ධයක මූලික අංග. ඒවායින් වඩාත්ම භයානක දේ තමයි වැරදි තොරතුරු සහ භීතිය අවුලුවාලන එක.”

text by – bbc sandesaya

Recommended For You

About the Author: Thusal