ඩොලර් 200ක කොස් ගෙඩියක් ලන්ඩන් වෙළඳපොළේ

මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය. “ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් යූරෝ 160කට (රු. 36,600කට පමණ) විකිණීමට තබා ඇත,” යන මැයෙන් පළකෙරුණු එය 100,000 වාරයකට වඩා ෂෙයා විය.

කොස් ගෙඩියේ ඉහළ මිල සටහන දුටු ට්විටර් පරිශීලකයින් තිගැස්මට පත්වූ අතර, බොහෝදෙනෙකු කොස් විකිණීමෙන් “කොස් කෝටිපතියන්” බවට පත්වීම සඳහා බ්‍රිතාන්‍යයට පියාසර කළ යුතු බවට විහිළු කළහ.

බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවල දී නැවුම් කොස් ගෙඩියක් ඩොලර් 1.10ට සමාන මිලකට (රු. 230ක පමණ මිළකට) සොයාගත හැකි අතර අනෙකුත් බොහෝ නිවර්තන රටවල ද ඒ හා සමානව දැරිය හැකි මුදලකට මිලට ගත හැකි ය.

බොහෝ තැන්වල බහුලව පිහිටා ඇති කොස් ගස්වලින් නොමිලේම ගෙඩියක් නෙලාගත හැකි නමුත්, ඵලදාවෙන් අති බහුතරය බ්‍රසීලයේ වීදි අයිනේ වැටී, නරක් වී යනු දක්නට ලැබේ.

එබැවින් ඇතැම් පාරිභෝගිකයින් “විදේශීය” ලෙස සලකනු ලබන කොස්වලට මෙතරම් ඉහළ මිලක් අයකෙරෙන්නේ ඇයි? එසේම, කොස්වලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම මෑතක දී වර්ධනය වී ඇත්තේ කෙසේ ද?

මෙහිදී වැදගත් මූලික රීතියක් සිහිපත්කර ගනිමු. එනම්, නිෂ්පාදනය විකුණන ස්ථානය එහි මිලට බලපාන බව ය. මෙය ඕනෑම නිෂ්පාදනයක් සඳහා අදාල වන්නකි.

“බ්‍රසීලයේ පවා කොස්වල මිල වෙනස් වෙනවා. නොමිලයේ ගසෙන් නෙලාගත හැකි තැන් තියෙනවා. තවත් තැන්වල දී ඒවා ගොඩක් මිල යි,” සාඕ පෞලෝ ප්‍රාන්තයේ පිහිටි, පලතුරු විශේෂ 3000ක් වගා කරන ‘ඉස්ටන්සියා දස් ෆෘතස්’ නමැති පලතුරු වත්තේ ප්‍රධාන විධායක නිලධාරිනී සබ්‍රිනා සාටෝරි BBCයට පවසා සිටියා ය.

එසේම, එක්සත් රාජධානිය වැනි ශීතල රටවල වාණිජමය වශයෙන් කොස් වගාකළ නොහැකි ය.

නමුත්, මෙහි අධික මිලට තවත් හේතු තිබේ. විශේෂයෙන්ම, කොස් ජාත්‍යන්තර වෙළඳාම තරමක් සංකීර්ණ සහ අවදානම් සහගත බව විශේෂඥයින් පවසන්නේ කොස් ගෙඩියේ ඇති ඉක්මණින් නරක්වන ස්වභාවය, ඒවා වසරේ එක් වාරයක දී පමණක් ඵලගැනීම, සහ ඒවායේ විශාලත්වය ඇතුළු හේතු කිහිපයක් නිසා ය.

“කොස් ගොඩක් බරයි, ඉක්මනින් ඉදෙනවා. ගොඩක් අය ආසා නැති අමුතු සුවඳක් තියෙනවා,” සාටෝරි වැඩිදුරටත් පැවසීය.

ආසියාවෙන් ආනයනය කෙරෙන මේ කොස් ගෙඩියක් කිලෝග්‍රෑම් 40ක් දක්වා බරින් යුක්ත වන අතර, ඉතා ඉක්මනින් ඉදීගොස් නරක්වන බැවින් සුපිරි වෙළඳසැල්වල පවතින්නේ කෙටි කාලයකි.

කොස් වැවෙන බොහෝ රටවල ස්වදේශිකයින් ඒවා ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වනු දකින්නට ලැබේ. එහෙත් සංවර්ධිත රටවල දී නිර්මාංශිකයින් විසින් එය මස් සඳහා විකල්පයක් ලෙස සලකන නිසාවෙන් ඉල්ලුම ඉහළ යමින් පවතියි.

පිසූ විට, එහි ස්වභාවය හරක් මස් හෝ ඌරු මස්වලට සමානයැ යි සැලකෙන අතර, එය ටෝෆු, ක්වෝන්, සහ ග්ලූටන් රහිත සෛටාන් වැනි ජනප්‍රිය මස් ආදේශකයක් ලෙස ද සැලකේ.

එක්සත් රාජධානිය තුළ පමණක් වෙසෙන නිර්මාංශිකයින්ගේ සංඛ්‍යාව මිලියන 3.5ක් ලෙස ගණන් බලා ඇත.

කෙසේ වෙතත්, කොස් හොඳින් ඉදුණු විට (මෙම ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවේ) එය පැණිරස රසයක් ලබා ගනියි. එවිට ඒවා අතුරුපස සඳහා පමණක් භාවිතා කළ හැකි ය.

එබැවින් පාරිභෝගිකයින් සඳහා වඩාත් දැරිය හැකි මිලැති විකල්පයක් වන්නේ ටින්කළ කොස් මිල දී ගැනීම යි.

බ්‍රිතාන්‍ය සුපිරි වෙළඳසැල්වලින් කොස් ටින් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 4කට පමණ ලබාගත හැකි නමුත් බොහෝදෙනා පවසන්නේ එහි රසය වෙනස් බව යි.

කොස් ඉතා විශාල පළතුරක් බැවින් ප්‍රවාහනය අපහසු වන අතර එහි අස්වැන්න වසරේ එක් කාලයකට සීමා වේ. අසමාන හැඩය, ප්‍රමාණය, සහ බර නිසා ඇසුරුම් කිරීම ද අපහසු ය. එය අනෙකුත් පලතුරු මෙන් සම්මත ප්‍රමාණයේ පෙට්ටිවල දැමිය නොහැකි ය. එහි බාහිර පෙනුම දෙස බලා අභ්‍යන්තරය හොඳ තත්ත්වයේ තිබේදැ යි දැන ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් ද නොමැත.

ඊට අමතරව, එය වගාකර අපනයනය කරන ප්‍රධාන රටවල, උදාහරණ ලෙස දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල (කොස් යනු බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික පලතුර යි), බොහෝදුරට අලෙවි දාමයන් දුර්ලභ අතර, අස්වනු නෙලීමෙන් පසුව පළතුර හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදයන් ද භාවිතාවට නොගැනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත නිෂ්පාදනයෙන් 70%ක් අහිමිවන බවට ගණන් බලා ඇත.

නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ දී කොස් කෑම නොකළ යුතු ක්‍රියාවක් ලෙස සලකනු ලබන අතර, ග්‍රාමීය ප්‍රදේශවල දී ‘දුප්පතුන්ගේ කෑමක්’ ලෙස අපකීර්තියට පවා පත් වේ.

විශේෂඥයන් පවසන්නේ දැනුවත්භාවයක් නොමැතිකම ද අමතර හේතුවක් බව යි. කොස් වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇතත්, බොහෝ පාරිභෝගිකයින් කිසි විටෙකත් එය රස බලා නැති අතර ඔවුන් කොස් සකසන ආහාර වට්ටෝරු කිසිවක් ද නොදනියි.

නෙදර්ලන්තයේ විදේශීය පලතුරු ආනයනකරුවෙකු වන ටොරෙස් ට්‍රොපිකල් BVහි හිමිකරු ෆැබ්‍රිෂියෝ ටොරෙස් පවසන්නේ කොවිඩ්-19 වසංගතය සමග ගුවන් මඟින් භාණ්ඩ ආනයනය සඳහා වැයවෙන වියදම සැලකිය යුතු ලෙස ඉහළගොස් ඇති බව යි.

“ආසියාව සහ දකුණු ඇමරිකාව වගේ ප්‍රදේශවලින් එන බොහෝ පලතුරු යුරෝපයට එන්නේ මඟී ගුවන් යානාවලින්. ගුවන් සමාගම් දැන් ප්‍රවහනයා සඳහා ඉහළ අගයෙන් යුත් නිෂ්පාදන සොයමින් ඉන්නේ. කොස් ඉක්මනින් නරක්වෙන නිසාත්, වෙළඳපොළ කුඩා නිසාත් විශාල වශයෙන් ආනයනය කිරීම පාඩු යි. ඉතින් අවසානයේ මිල ඉහළ යනවා,” ඔහු පවසයි.

Jackfruit on sale for £160 at Borough Market

අනාගතය සුබයි

සියලු බාධක මධ්‍යයේ වුව ද, මෑතකාලීන අධ්‍යයනයන් මඟින් කොස් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ වර්ධනයක් සිදුවන බවට ඇස්තමේන්තුගතකර ඇත.

උපදේශන ආයතනයක් වන IndustryARCහි ඇස්තමේන්තුවලට අනුව, 2026 වන තෙක් එය 3.3%ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වී ඩොලර් මිලියන 359.1 දක්වා ළඟාවනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

2020 දී, ආසියා-පැසිෆික් කලාපය කොස් වෙළඳපොළේ විශාලතම කොටස වූ 37%කට හිමිකම් කීය. යුරෝපය 23%ක්, උතුරු ඇමරිකාව 20%ක්, ලෝකයේ අනිත් රටවල් 12%ක්, සහ දකුණු ඇමරිකාව 8%ක් වශයෙන් සෙසු අවශ්‍යතාව සපිරෙයි. මින් පෙනී යන්නේ දකුණු ඇමරිකානුවන්, විශේෂයෙන්ම බ්‍රසීලියානුවන්, කොස්වලින් වැඩක් ගන්නේ නැති බව යි.

bbc sandesaya

Recommended For You

About the Author: Thusal