යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?

මාස කිහිපයක් පුරා පැවති අවිනිශ්චිතතාව බිඳ හෙලූ රුසියාව යුක්‍රේනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් උතුර, නැගෙනහිර, සහ දකුණු දිශාවන්ගෙන් යුක්‍රේනයට පහර දෙමින් සිටියි.

රුසියාවේ මෙම ආක්‍රමණය යුරෝපීය යුද්ධයක ආරම්භය විය හැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ ය.

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පැවසූවේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” බවයි.

“අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි හිතුවේ ඉතිහාසයට අයිතියි එකක් කියලා.” යැයි ඔහු පැවසීය.

මෙම යුද ගැටුම ශ්‍රී ලංකාවට ද කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් එල්ල කරනු ඇතැ යි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙම යුද ගැටුම සැබවින්ම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.

විදේශ විනිමය අර්බුදය

මේ වන විට ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට හා බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින බව නොරහසකි.

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසා සිටියේ මෙම යුද ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය, එසේම බලශක්ති අර්බුදයටද විශාල බලපෑමක් එල්ල කළ හැකි බව යි.

“අද වෙනකොට අපිට බලශක්ති ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. අද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක්. මේක තවත් දවස් කිහිපයක් ඇතුලත ඩොලර් 120 දක්වා වර්ධනය වෙයි. ඉතිහාසයේ ඉහළම මිල දක්වා වර්ධනය වෙයි. මේ අනුව ලංකාවට සිද්ධ වෙනවා. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් බලශක්තිය මිලදී ගැනීම සඳහා වැය කරන්න.”

විශේෂඥයින් පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීමට අවශ්‍ය විදේශ සංචිත නොමැති කම නිසා මේ වන විට ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීමට ඩොලර් මිලියන 400ක ණයක් ලබාගෙන ඇති අතර එය මාස එකහමාරකට සෑහෙන තෙල් තොග ලබාගැනීමට බලාපොරොත්තු වූවත් මේ වන විට ලෝක වෙළඳපලේ මිල ඉහළ යෑම හේතුවෙන් එසේ බලාපොරොත්තු වූ තෙල් තොග ප්‍රමාණය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අනතුරු අඟවා සිටියේ, පවතින තත්ත්වය හමුවේ දේශීය වෙළෙඳපොලේ දැනට පවතින ඉන්ධන මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ දැමීමට සිදුවිය හැකි බව යි.

“මේක ලංකාවේ සමස්ථ ආර්ථික පද්ධතියට බලපෑමක් වෙන්න පුළුවන්. මේක ලංකාව මුහුණ දී සිටින, අපි මුහුණ දී සිටින ඩොලර් අර්බුදය මැද තවත් වැඩිපුර ඩොලර් ගෙවන්න වුණාම මේක මහ බැංකුවට දරා ගන්න නොහැකි වෙන්න පුළුවන්,” ඔහු පවසා සිටියේ ය.

නැගී එන සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2022 වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 82,327කි.

ඒ අතරින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය 13,478කි. ප්‍රතිශතයක් ලෙස 16.4%කි.

සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණි සෙසු රටවල් වන්නේ, ඉන්දියාව, යුක්‍රේනය, එක්සත් රාජධානිය, සහ ජර්මනිය යි.

පසුගිය මාසය තුළ දිවයිනට පැමිණ ඇති යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 7,774 කි. සමස්ථ සංචාරක පැමිණීම්වලින් ප්‍රතිශතයක් ලෙස ගත්විට එය 10%කි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා ප්‍රකාශ කළේ, “මේ වෙනකොට ප්‍රධාන වශයෙන් මෙරටට සංචාරකයන් පැමිණෙන්න රුසියාවෙන් සහ යුක්‍රේනයෙන්. ඔවුන් තවදුරටත් පැමිණෙන එකක් නැහැ. දැනටමත් යුක්‍රේනය ගුවන් අවකාශය වසා තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් සේවා අත්හිටුවල තියෙන්නේ,” යනුවෙනි.

“කොරෝනා වසංගතයෙන් පස්සේ නැගී එන සංචාරක ව්‍යාපාරය තවත් බිඳ වැටෙනවා. ඒකම බලපානවා නැවැතත් විදේශ විනිමය අර්බුදයට. ඩොලර් අපිට එන්නේ නැහැ. රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් පමණක් නොවේ, යුරෝපයෙනුත් අපිට එන සංචාරකයින් අඩුවෙන්න පුළුවන්. මොකද මේක ලෝක යුදමය තත්ත්වයක් දක්වා ඇදී යන ප්‍රවණතාව නිසා ටික කාලයක් යනකන් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර වෙනවා. මෙන්න මේ නිසා සංචාරක කේෂත්‍රයට විශාල බලපෑමක් වෙනවා,” ඔහු පවසා සිටියේ ය.

අපනයන අංශයටත් බලපෑම්

ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉදිරි පෙළ ගැණුම්කරුවන් වන්නේ රුසියාව සහ යුක්‍රේනය යි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ප්‍රකාශ කළේ මෙයින් අපට විදේශ විනිමය ලැබෙන තවත් මාර්ගයක් කෙටිකාලීනව හා දිගුකාලීනව අහිමිවෙන බව යි.

“යුද්ධයක් පවතින වේලාවක ඔවුන් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා මිසක් තමන්ගේ පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙන්නැති වෙන්න පුළුවන්. මේකෙ දී අපිට විදේශ විනිමය ලැබෙන තවත් මාර්ගයක් කෙටිකාලීනව හා දිගුකාලීනව අහිමි වෙනවා. ලංකාවේ නිශ්පාදන අපනයන වෙළෙඳපොළවල් ලෙස, රුසියාව, යුක්‍රේනය වගේම යුරෝපයෙනුත් අපට මෙම ගැටලුවට මුහුණ දෙන්න වෙනවා,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා ඉහළ නැංවීමට දෙරටේ බලධාරීන් 2020 වර්ෂයේ දී එකඟතාවට පැමිණියේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2017 වසරේ රුසියාවේ සංචාරය කළ අවස්ථාවේ දී ඩොලර් මිලියන 700ක ඉලක්කය ස්ථාපිත කෙරිණ. 2018 වසරේ දී දෙරටේ වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 388.98ක් විය.

රුසියාව ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළ වන අතර 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළ වේ.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් රුසියාවට තේ අපනයනය කරන අතර, රුසියාවෙන් ප්‍රධාන වශයෙන් ආනයන කරනු ලබන්නේ තිරිඟු බව ආර්ථික විශේෂඥවරියක් වන සුභාෂිණී අබේසිංහ පැවසුවා ය.

රත්රන් සහ බොරතෙල් මිලත් වාර්තාගත ලෙස ඉහළට

රුසියාව යුක්‍රේනයට පහරදීමෙන් පසු ජාත්‍යන්තර වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගියේ ය.

Wounded Ukrainian woman

බ්‍රිතාන්‍යය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 6.61කින් හෝ 6.8%කින් ඉහළගොස් ඩොලර් 103.45 ලෙස සටහන් වූයේ ඩොලර් 105.79ක ඉහළ මිලක් වාර්තා කිරීමෙන් අනතුරුව ය.

එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 100.54 දක්වා ඉහළ ගියේ ය.

බ්‍රෙන්ට් සහ WTI වෙළෙඳපොළවල බොරතෙල් බැරලයක් සඳහා මෙම ඉහළම මිල ගණන් වාර්තා වූයේ 2014 අගෝස්තු සහ ජූලි මාසයෙන් පසුව යි.

ජාත්‍යන්තර වෙළෙඳපොලේ රත්‍රන් මිල ද වසර එකහමාරකට පසු ඉහළම මිල වාර්තා කළේ ය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්රන් සහ පැලේඩියම් වෙත යොමුවීම මීට හේතුව යි.

2020 සැප්තැම්බර් මාසයට පසු වාර්තා වූ ඉහළම අගය ලෙස Spot Gold අවුන්සයක් ඩොලර් 1,973.96ට ළඟාවූ අතර, පසුව රන් අවුන්සයක මිල ඩොලර් 1,926.51ක් ලෙස සටහන් විය.

බල කඳවුරුවාදය ලංකාවටත් බලපායි ද?

“බල දේශපාලනය පැත්තෙන් මේක භයානක ගැටුමක්… මේ වෙනකොට චීනය ප්‍රකාශ කරලා ඉවරයි, යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාවන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ චීනය සහයෝගය දක්වන බව. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය එක් පාර්ශවයක ඉන්නකොට අනෙක් පැත්තෙන් අමෙරිකාව ඇතුලු සෙසු පාර්ශවයන්,” ආචාර්ය කන්දඋඩහේවා විස්තර කළේ ය.

“අන්න ඒ බල කඳවුරුවාදය ලංකාවටත් බලපාන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි චීනයත් සමග සම්බන්ධවීම නිසා අපට රුසියාවේ ක්‍රියාවලිය විවේචනය කරන්න බැහැ. මොකද අපේ ගොඩක් සබඳතාවයන් තියෙනවා රුසියාවත් එක්ක. ඉතින් මේ හින්ද ලංකාව රටක් විදිහට මේ බලතුලනයට මැදිහත් වෙන්න වෙනවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒකේ ප්‍රතිඵල භූක්ති විඳින්න වෙනවා. මගේ උපකල්පනය අනුව ලංකාව ලොකු විවේචන කරන එකක් නැහැ. අපි දැනට රුසියාවට පක්ෂව තමා ඉන්නේ,” ඔහු පවසා සිටියේ ය.

එදිරිවාදිකම් වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීම්

යුක්රේනයේ මෑත කාලීන ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදයකින් අර්බුදය විසඳා ගැනීමට අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කළේය.

පූර්ණ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකියි

“න්‍යෂ්ටික යුද ප්‍රවණතාවක් තියෙනවා, රුසියාවට තියෙනවා න්‍ය්ටික අවි. මේ අවි භාවිත කරන්න පුළුවන්,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අනතුරු අඟවයි.

ආචාර්යවරයා පවසන්නේ මෙය පූර්ණ වශයෙන් වර්ධනය විය හැකි න්‍යෂ්ටික යුද්ධයක්බවට අවතීර්ණ විය හැකි බව යි.

“නේටෝව ප්‍රකාශයට පත්කර තිබෙනවා, යුක්‍රේනයට එල්ලවන ප්‍රහාරයක් තමන්ගේ මිත්‍ර පාර්ශවයට එල්ලවන ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරනවා කියලා. මෙතන දී නේටෝ එක යම්කිසි විදහකින් මේ යුක්‍රේන අර්බුදයට සම්බන්ධ වුණොත් අමෙරිකාවත් නේටෝ සාමාජිකයෙක් විදිහට තමන්ගේ සහභාගීත්වය දක්වනවා. මේකෙ දී ප්‍රශ්නය තියෙන්නේ න්‍යෂ්ටික ශක්තිය තියෙන රටවල් කිහිපයක් එකවර යුදමය භූමිකාවකට අවතිර්ණවීම එක්තරා විදහකට සුබවාදී තත්ත්වයක් නොවේ කියන එක කියන්න ඕනේ.”

“2014 පූටින්ගේ ජෝර්ජියා අක්‍රමණයත් එක්ක බැලුවම මට පේන්නේ පුටින් මේ වෙලාවේ ගොඩක් වෙලාවට තමන්ගේ බලය පෙන්වීමක් කරන්නේ. මට මේක කරන්න පුළුවන් කියන එක. යුක්‍රේනය නේටෝ එකට ඇදී යන එක වලක්වන්න උත්සහ කරනවා. මම යි කලාපයේ බලවතා කියන එක පෙන්වන්න රුසියාව උත්සහ කරනවා. යම්කිසි විදිහකින් තොරතුරු හුවමාරුවේ ගැටලුවක් හරි, අනවබෝධයක් ඇතිවුණොත් මෙය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ක්ෂණිකවම යන්න පුළුවන්,” ඔහු ප්‍රකාශ කළේ ය.

“මේ ගැටුම බ්‍රිතාන්‍යයට බලපානවා වගේ 100 ගුණයක් ලංකාවට බලපානවා. අන්තිම ඩොලර් ටික තියාගෙන ඉන්නකොට තවත් ඩොලර් නැතිවුණාම ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට බලශක්තිය ගේන්න ලොකුම බලපෑමක් වෙනවා. අපිට ඩොලර් නැහැ. අපිට ගෑසුත් නැතිවෙන්න පුළුවන්.”

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කියෙව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත, විසිහතර පැය මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ක්ෂණික දුරකතන අංක +90 534 456 94 98 හෝ +90 312 427 10 32 ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර slemb.ankara@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද සම්බන්ධවී තොරතුරු ලබාගත හැකි බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

bbc sandesaya

Recommended For You

About the Author: Thusal